2017 ජුලි 29 වන සෙනසුරාදා

දෙවැනි ලෝක යුද්ධයේ සජීවී අත්දැකීම Dunkirk

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 217

දෙවැනි ලෝක යුද්ධය පසුබිම් කරගත් චිත්‍රපට බොහොමයක් තිබුණද දැන් ක්‍රිස්ටොපර් නෝලාන්ගේ නවතම සිනමාකරණය Dunkirk ඒ සියල්ල අතරින් අංක එක බවට පත්ව තිබේ. වසර 80කට පෙර සිදුවූ සැබෑ සිද්ධියක් ඒ ඇසුරින්ම ප්‍රතිනිර්මාණය කිරීමට ක්‍රිස්ට්‍රෝපර් නෝලාන් සමත්ව තිබේ. දෙවැනි ලෝක යුද්ධය තුළ තමන් සැබෑ ලෙස කොටු වී සිටින ආකාරය ප්‍රේක්ෂකයාට සජීවිව දැනෙන අයුරින් මේ චිත්‍රපටය නිර්මාණය කරන නෝලාන් එමගින් තමන්ගේ හොඳම චිත්‍රපටයත් ලෝකයේ හොඳම යුදමය චිත්‍රපටයත් ලියා අධ්‍යක්ෂණය කර නිෂ්පාදනය කරන ලද තැනැත්තා බවට පත්ව තිබේ. කොටින්ම ඩොලර් මිලියන 100ක් වැය කර තැනු Dunkirk පළමු ප්‍රදර්ශන වාරය තුළදී ඩොලර් මිලියන 107.4ක වාර්තාගත ආදායමක් ලබා හමාරය.

ප්‍රධාන ධාරා තුනක් ඔස්සේ මෙහි තිර කතාව දිග හැරේ. බ්‍රිතාන්‍ය ජාතික ආධුනික සෙබළ ටොමිගේ ගොඩබිම සටන් අත්දැකීම් සමඟ ඇරඹෙන කතාව රාජකීය නාවික හමුදාවේ මුහුදු සටන් හා රාජකීය ගුවන් හමුදා නියමුවන්ගේ ගුවන් සටන් අතරින් ඇදියන්නේ එදා ඩන්කර්ක් නගරයෙන් බ්‍රිතාන්‍ය හමුදා ඉවත් කර ගැනීමේ සිද්ධියේදී ඔවුන් සැබෑවටම මුහුණ දුන් ඛේදවාචකය කඳුළුලින් ලෙයින් නැවත සිතුවම් කරමිනි. 

නාසි හමුදාව ප්‍රංශයට කඩා වැදීමත් සමඟ මිත්‍ර හමුදා මුහුදුබඩ නගරයක් වන ඩන්කර්ක් තුළ කොටුවෙති. බ්‍රිතාන්‍ය හමුදා සේනාංක මෙහිදී දැඩි පීඩාවකට ලක්වන පිරිසය. ගුවනින් සහ මුහුදින් ඔවුන් ඉවත්කර ගැනීමට එන ආධාරක හමුදාවන්ටද ගොඩබිමින් සිරවූ සේනාංක වෙතද ජර්මන් හමුදා එල්ල කරන්නේ ඓතිහාසික මාරක ප්‍රහාරයකි. සංත්‍රාසය, දිවිගලවාගැනීමේ අපේක්ෂාව, හාත්පස දැවටෙන මරණයේ භීෂණය, නිජබිම කරා යාමේ අරගලය මේ සියල්ල අතිශූර අන්දමින් රූපරාමු අතරට කොටුකර තිබේ. ප්‍රේක්ෂකයා මුළුමනින්ම ඩන්කර්ක් යුද්ධය මැදට ඇද දමන අධ්‍යක්ෂ නෝලාන්, හාන්ස් ෂිචර්ගේ විශිෂ්ට සංගීතයත් මනාව සංකලනය කර ගනිමින් ඉතා කෙටි සංවාද ඇසුරෙන් මුළුමනින්ම සිනමාරෑපි සිත්තමක් ඇදීමට සමත්ව ඇත. 

මේ චිත්‍රපටයේ තවත් අපූරුවක් වන්නේ එය රටවල් 4ක එකතුවෙන් නිර්මාණය කෙරුණක් වීමය. බ්‍රිතාන්‍යය, අමෙරිකාව, ප්‍රංශය හා නෙදර්ලන්තය මෙහි නිෂ්පාදනයට හවුල් වී තිබේ. ප්‍රංශයේ ඩන්කර්ක් වෙතින් ඇරඹුණු තිරගත කිරීම අන්තිමේදි කෙළවර වුණේ ලොස්ඇන්ජලීස් වලිනි. ක්‍රිස්ටෝපර් නෝලාන්ගේ ප්‍රවීණ අධ්‍යක්ෂණය යටතේ ෆියෝන් වයිට්හෙඩ්, ටොම් ගිල්න්, ජැක් ලොව්ඩන්, සිලියන් මර්පි, කෙනත් බ්‍රානාග්, මාර්ක් රිලැන් සමග ටොම් හාර්ඩ් මේ ඛේදනීය ඉතිහාසය නැවත ප්‍රතිරෑපණයට එක්වෙති. 

 සුගත් පී. කුලතුංගආරච්චි