2017 ජුලි 29 වන සෙනසුරාදා

සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ ඇසළ මංගල්‍යය

 2017 ජුලි 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 650

ඓතිහාසික සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ 50 වැනි වාර්ෂික ඇසළ මංගල්‍යයේ කප් සිටුවීමේ මංගල්‍යය ජූලි මස 25 වැනි කුජ දින පෙරවරු 7.30ට යෙදෙන සුබ මොහොතින් සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාල ශුද්ධ භූමියේදී සිදු කෙරිණි. සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ භාරකාර තැන්පත් සරත් දිසෙන්තුවාහන්දි මහතා පවසන්නේ අගොස්තු මස 24 වන දින පෙරවරු 7.30ට බුද්ධ පූජාව පවත්වා පංච මහා දේවාලය, මුහුද මැද දෙවොල් මහා දේවාලයට පුද පූජා පවත්වා ආශිර්වාද ලබාගෙන පෙරවරු 9.30ට උදා සමුළුව මහනාහිමිවරු ඇතුළු මැති ඇමතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාල ශුද්ධ භූමියේදී පැවැත්වෙන බවය.

මෙහිදී සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාල පෙරහර මංගල්‍යයට වසර 50ක් පිරීම නිමිත්තෙන් සීනිගම දේවාලයේ මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම් කලාභූෂණ සීනිගම මහානාම මංගලසිරි මහතාගේ කර්තෘත්වයෙන් නිකුත් වන දෙවිඳුනි දෙවොල් සීනිගම නැමැති ග්‍රන්ථයත් එදිනට එළිදැක්විමට කටයුතු යොදා ඇත. 

එදින රාත්‍රි 8.00ට ගරුතර සංඝරත්නයයේ ප්‍රධානත්වයෙන් සර්ව රාත්‍රික පිරිත් දේශනා කිරීම පැවැත්වෙන අතර අගෝස්තු මස 25 වැනි දින සංඝගත සපිරිකර දක්ෂිණාවක් ඇතුළු පුද පූජා සහිත හීල මහා සාංඝික දානයක් පවත්වා මිය ගිය දේවාලයේ ආදි කර්තෘවරුන් ඇතුළු සියලුම සාමාජික සාමාජිකවක් සහ රණවිරුවන්ට පිං පැමිණීම සිදු කෙරේ.

එදින පස්වර් 1.00ට ප්‍රථම දිවා මහා පෙරහර සීනිගම දෙවොල් භූමියේ සිට තෙල්වත්ත පුරාණ තොටගමු රජමහා විහාරය පැදකුණු කොට සීනිගම දේවාලයට පස්වරු 6.00ට පැමිණීමට නියමිතය. අගොස්තු මස 27 වන දින පස්වරු 1.00ට සීනිගම දේවාලයෙන් පිටත්ව දෙවැනි දිවා මහ පෙරහර හික්කඩුව සංචාරක පුරය දක්වා ගමන් කොට රාත්‍රී 6.30ට පමණ සීනිගම දේවාල ශුද්ධ භූමියට පැමිණීමට නියමිතය.

අගොස්තු මස 28, 29 යන දිනයන් හිදී සීනිගම දේවාලයෙන් පිටත්වන රාත්‍රී මහා පෙරහර රාත්‍රී 8ට පමණ තෙල්වත්ත දක්වා ගමන් කොට ආපසු තොටගමුව මංසන්ධිය අසලින් හරවා නැවත දේවාල ශුද්ධ භූමියට රාත්‍රි 12ට පමණ පැමිණේ.

අගොස්තු මස 30 වැනි දින රාත්‍රි 7ට දෙවොල් මඩු ශාන්ති කර්මය සහිත පන්තිස් කෝල් මුර යාගය පවත්වා පසුවදා උදෑසන 5ට ගිනි මැල 7ක් තරණය කිරීම කපු පත්තිනි ඇදුරන් විසින් සිදු කරනු ඇත.

අගෝස්තු මස 31 වැනි දින පෙරවරු 7ට බැතිමතුන් වෙනුවෙන් පිරිනමන දෙවියන්ගේ කිරි දානයෙන් පසු උත්සවයේ වැඩ කටයුතු නිමාවේ.

අගොස්තු 24 වන දින සිට 31 වන දින දක්වා මුහුදු බඩ මාර්ගයේ ධාවනය වන සියලුම දුම්රිය සීනිගම උප දුම්රිය ස්ථානයේ නතර කරන අතර අම්බලන්ගොඩ ගාල්ල ලංගම ඩිපෝ මගින් දිවා රාත්‍රී බස් රථ සේවාවක්ද පැවැත්වේ. පෞද්ගලික බස් රථ සමාගම විසින් දිවා රාත්‍රී බස් රථ ධාවනය කෙරේ.

සීනිගම තරුණ කැළ ඉදිරිපත් කරනු ලබන විදේශ දෙවොල් දෙවි පූජෝපහාර මහා තොරණ 24 වන දින සිට 31 දින දක්වා සීනිගම මංසන්ධිය අසලදි ප්‍රදර්ශනය කෙරේ. 

මේ දින වලදී ශ්‍රී ලංකා ගුවන් විදුලිය විස්තර ප්‍රචාරය කරන අතර රූපවාහිනිය සියලුම තරංග ඔස්සේ විවිධ වැඩසටහන් විස්තර ඉදිරිපත් කරන බවද සඳහන්ය. 

 සීනිගම මහනාම මංගලසිරි