
එදා ලෝකයේ තිබුණු සම්ප්‍රදායික දෑ බොහෝමයක් අදවනවිට ඩිජිටල්කරණය වී මිනිස් ජීවිතය පහසු වී තිබේ. එනිසාම පැය විසිහතරක් තුළ බොහෝ දෑ කළ හැකි වටපිටාවක් නිර්මාණය වී ඇත. එය එසේ වුවද ඒ හා බැඳුණු සංකීර්ණතා රැසක් ද පැන නැඟී ඇතිබව නොරහසකි. සයිබර් අවකාශය හරහා මුළු මහත් ලෝකයම හා බද්ධ වී කටයුතු කරන අපට සයිබර් අවකාශය තුළ සිදුවන අපරාධ පිළිබඳවද මේ වනවිට ඇත්තේ තරමක අවබෝධයකි.
විශේෂයෙන්ම සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ සිදුවන කොල්ලකෑම්, පළිගැනීම් මෙන්ම ලිංගික අපරාධ පිළිබඳව ද තොරතුරු නිරන්තරයෙන් සමාජගත වී තිබේ. එනිසා සයිබර් අපරාධ පිළිබඳ එම අවකාශය භාවිත කරන බොහෝ පිරිසක් මේ වනවිටත් දැනුම්වත්ය. එහෙත් සයිබර් අපරාධයන්හි අඩුවීමක් නම් නොපෙනෙන තරම් ය.
ලිංගික වශයෙන් පුද්ගලයන් අපහසුතාවයට පත්කිරීමේ හා යම් යම් පුද්ගලයන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් අතිශය රහසිගත ලිංගික දර්ශන අන්තර්ජාලයට මුසුවුණු අවස්ථා කිහිපයක්ම පසුගිය කාලයේදී දක්නට ලැබුණි. උණු කැවුම් සේ සමාජ මාධ්‍ය ජාලා මෙන්ම වට්ස්ඇප්, වයිබර් වැනි සන්නිවේදන මාධ්‍ය හරහාත් ඒවා ප්‍රචාරය වූයේ ගෝත්‍රික සමාජයක ලක්ෂණ ඉස්මතු කරමිනි. අතිශය පෞද්ගලික එවැනි දර්ශන නැරඹීමට යාම තුළ පවා ප්‍රකට වන්නේ අනිකක් නොව සමාජය තුළ ඇති නොපැසුණු බව යැයි කීම නිවැරදි ය. එය පසෙක තිබියදී එවැනි දර්ශන අන්තර්ජාලයට එකතු කිරීම යනු චරිත ඝාතනයට උත්සාහ දැරීමක් යැයි කීමෙහි ද වරදක් නැත. පසුගිය කාලයේ පිටවූ බොහෝ ආන්දෝලනාත්මක වීඩියෝ පට මුදාහැරීමේ අරමුණ වී තිබුණේ ද එවැනි පෞද්ගලික වශයෙන් චරිත ඝාතනය කිරීම් බව වාර්තා විය.
වැඩිහිටි දෙදෙනකු අතර වන මෛථුන ක්‍රියාවලියක් ඔවුන් දෙදෙනාටම පෞද්ගලික වූ රහසිගත දෙයකි. එවැනි ක්‍රියාකාරකමක දර්ශන සමාජගත කිරීම හුදෙක් අපරාධමය චේතනාවක් වන්නේ, එවැනි පෞද්ගලික හා සංවේදී දර්ශනයක් මුදාහැරීම තුළ අදාළ පුද්ගලයින් අපහසුතාවයට පත්කිරීමම අරමුණු කරගනිමින් එය සිදුකෙරෙන නිසාවෙනි.
මෙවැනි ලිංගික අපරාධවලට ගොදුරු වන්නන් අතර වැඩිවශයෙන්ම දක්නට ලැබෙන්නේ කාන්තාවන් බවද නොරහසකි. එහිදී ද විවාහක කාන්තාවන්ට හා නව යොවුන් තරුණියන් වැඩි වශයෙන් ඉලක්ක වී තිබේ. ලිංගික අල්ලස් ලබාගැනීම හෝ අපහාස කිරීම, කප්පම් ලබාගැනීම ආදිය අරමුණු කරගනිමින් ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට, ඡායාරූප මෙන්ම ජංගම දුරකථන කෙටි පණිවුඩ ආදිය අන්තර්ජාලයට මුදාහැරීම දක්නට ලැබේ.
ශ්‍රී ලංකාව යනු තවමත් ලිංගිකත්වය ගූඨ දහමක් ලෙස දකින මිනිසුන් බහුල සමාජයකි. නූතනත්වයට බර වර්තමාන පරම්පරාව තුළ පවා ලිංගිකත්වය පිළිබඳ වඩා ලිබරල් අදහසක් දක්නට නැත. පසුගිය කාලයේ සියදිවි නසාගැනීම් සිදුවීමට ප්‍රමුඛ හේතුවක් බවටද මෙවැනි සයිබර් අපරාධ විශේෂයෙන්ම ලිංගික හිංසනවලට පාත්‍ර වී පත්ව තිබුණි. එවන් පසුබිමක ලිංගිකත්වය පදනම් කරගත් සයිබර් අපරාධ යනු ශ්‍රී ලංකාව වැනි රටකදී පුද්ගල ඝාතනයකට ද වඩා වැඩි බරකින් යුතු අපරාධයක් යැයි කෙනකුට හැඟී යාම සාධාරණ ය.
මෑතකාලීනව සයිබර් ලිංගික අපරාධ වර්ධනය වීමත් සමඟ එවැනි ක්‍රියාකාරකම්වලට සම්බන්ධවන පිරිස් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විශේෂ මෙහෙයුමක් ආරම්භ කළ බව ද වාර්තා විය. ඒ සඳහා නවීන තාක්ෂණික උපාංගවලින් ශක්තිමත් කරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ පිළිබඳ විශේෂ ඒකකය යොමුකර තිබේ.
මේ අතර සයිබර් අපරාධ මැඬලීම සඳහාවන අතිශය වැදගත් ගිවිසුමකට ද ශ්‍රී ලංකාව 2015 සැප්තැම්බර් මාසයේදී අත්සන් කළේය. ඒ අනුව යුරෝපා සංගමය විසින් පිහිටුවාගත් බුඩාපේස්ට් සයිබර් අපරාධ මැඩලීමේ සම්මුතියට අත්සන් තැබූ පළමු දකුණු ආසියාතික රට බවට ශ්‍රී ලංකාව පත්විය. ශ්‍රී ලංකාවට පෙර ඊට අත්සන් තබා තිබූ එකම ආසියාතික රට වූයේ ද ජපානය යි. සයිබර් අපරාධ මර්දනය සඳහා ආරම්භ වුණු පළමු ජාත්‍යන්තර ගිවිසුම ලෙස සැලකෙන බුඩාපේස්ට් සම්මුතිය හරහා සයිබර් අපරාධ මැඩලීමේදී තාක්ෂණ ක්‍රමවේද හුවමාරු කරගනිමින් ජාතීන් අතර සහයෝගීතාව අරමුණු කරයි.
2005දී සංශෝධනයකට ලක්වුණු අසභ්‍ය ප්‍රකාශන පනත ඔස්සේ යම් පුද්ගලයකුට හානියක් සිදුවිය හැකි ආකාරයේ චිත්‍ර, සිතුවම්, පෝස්ටර්, සංඥා ඡායාරූප, චිත්‍රපට, වීඩියෝ දර්ශන බෙදාහැරීම හා ළඟතබාගැනීම, නිපදවීම හෝ ආනයනය අපනයනය කිරීම හා ප්‍රසිද්ධ කරවීම යනු දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස මෙරට නීතියෙන් පිළිගෙන තිබේ. ඒ අනුව එවැනි වරදකට හසුවූවෙකුට දණ්ඩ නීති සංග්‍රහයේ 285, 286 හා 287 වගන්ති ප්‍රකාරව මාස තුනක සිර දඬුවමක් හෝ දඩයක් හෝ ඒ දෙකම පැනවීමේ හැකියාව අධිකරණය සතුවේ. 1995දී දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනයට ලක්වීමෙන් පසු යම් පුද්ගලයකුට වචනයකින්, ක්‍රියාවකින් හෝ ඉඟියකින් ලිංගික හිංසා සිදුකිරීමක් හෝ නිරුවත්, අඩනිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හැරීම ද ලිංගික අපරාධයක් ලෙස සැලකීමට පටන් ගැනිණ. එවැනි වරදක් සිදුකරන අයකු වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමේ හැකියාව පවා පොලිසියට හිමිකර දී තිබේ. එසේ සයිබර් ලිංගික අපරාධයක් කළ අයකුට වසර පහක් දක්වා බන්ධනාගාරගත කිරීමට මෙන්ම හානියේ ස්වභාවය මත පිහිටා වන්දියකුත් අයකිරීමට නීතිමය අවසරය පවතී.
සයිබර් අපරාධකරුවන්ට එරෙහිව දැනටමත් සැලකිය යුතු මට්ටමක නීති ප්‍රතිපාදන ශ්‍රී ලංකාව තුළ පවතී. නමුත් එවැනි අපරාධවල නිරත වී සුදනන් සේ ජීවත්වන්නවුන් අල්ලා ඔවුන් දඬුවම් ක්‍රියාවලියට අනුගත කිරීම පිළිබඳ වහාම ක්‍රියාත්මකවිය යුතුව තිබේ.
♦ රජිත ජාගොඩ ආරච්චි