


අද වෙද්දී බතුත් එක්ක පොල් සම්බෝල කෑමත් පහළ මධ්‍යම පාන්තික සහ නිර්ධන පන්තියේ ජනයාට අසීරු දෙයකි. ඒ සාමාන්‍ය හාල් කිලෝවක මිල රුපියල් සීයකට ආසන්න වෙද්දී පොල් ගෙඩියක මිල රුපියල් හැත්තෑවත් පැනීමය. ලුණු කැටයේ සිට ලූණු බික දක්වාත් මිරිස් කරලේ සිට තුනපහ ටික දක්වාත් සියල්ල දවසින් දවස මිල වැඩිවෙද්දී තුන්වේල කෑමට අද වෙනමම මහන්සියක් ගතයුතුව තිබේ.
තුන් වේලටම බත් කා පුරුදු සිංහලයාට තුන්වේලටම තියා වේල් දෙකකට බත් කන්නවත් අද අතමිට සරු නැත. හාල් තුනපහ ගෙනත් ගෙදර උයාගෙන කනවාට වඩා ලාභයි දෙවේලක් කඩෙන් බත් කන එක. තනිව නේවාසිකව සිටින බොහෝ දෙනා අද ඒ අදහසේද එල්බ සිටිති. ලොරිවල, පෙට්ටි කඩවල පවා අද කෑම පැකට් එක එක මිලට විකිණෙද්දී රස ගුණ කෙසේ වෙතත් කඩෙන් කෑම ලාභයි පහසුයි සිතන අයද සිටිති. දවල්ට හා උදේට කඩෙන් කෑම පුරුද්දක් බවට පත්කරගත් පිරිසක්ද මේ අතර සිටිති. බත් කඩ සවාරියක යන්නට අප අදහස් කළේද එහෙයිනි.
පළමුව කොළඹ කොම්පඤ්ඤවීදියේ “මාතර බත් කඩේ” සොයාගෙන අපි ගියෙමු. “රුහුණු බත් කඩේ” ලෙසින් හැඳින් වූ එයට අපි ගොඩවැද්දේදීත් බොහෝ පිරිසක් ආහාර ගනිමින් සිටියෝය. ඇතැම්හු බත් පාර්සල් දෙනතුරු බලාගෙන සිටියෝය. බිත්තියට වන්නට ගැසූ ලෑල්ලක් මේසයක් හා කුඩා පුටු කීපයකින් සමන්විත “බත් කඩේ” හෝටලයක මෙන් ලොකු සැප පහසුවක් නොවීය. නමුත් එහි යාබද හෝටලයට වඩා වැඩි පාරිභෝගිකයින් පිරිසක් ආහාර ගනිමින් සිටියෝය.
දකුණු පළාතේ බෙලි අත්ත ප්‍රදේශයේ ජීවත් වූ දයාරත්න මේ වෙද්දී “රුහුණු බත් කඩේ” හිමිකරුවාය. සෑමදාකම කොළඹ මැනිං මාර්කට් එකෙන් සහ ටෙක්නිකල් හන්දිය කැලෑ පොළෙන් බත්පතට සරිලන එළවළු ඔහු රැගෙන එති. ගමේම ඥාති සොහොයුරන් හතර දෙනෙකු සමඟ එක්ක “රුහුණු බත් කඩේ” පවත්වාගෙන යන දයාරත්න සිය කාර්ය බහුලත්වය මැද්දේම අප හා කතාබහට එක්විය.
“මගේ ගම බෙලිඅත්ත. මුලින් මෙතන මේ බත් කඩේ කළේ මගේ පුංචි අම්මාගේ පුතා. එයාගෙන් මම දැන් මාස හයකට උඩදී කුලී පදනම මත මේ කඩේ ගත්තා. දැන් අපි පස්දෙනා තමයි මේ කඩේ කරන්නේ. කිසිම රසකාරකයක් අපි කෑමවලට දාන්නේ නෑ. තුනපහ සියල්ලම මෙතනම ගෙනත් බැදගන්නෙත් අපිමයි. සමහරදාට ගමෙන් අපි තුනපහ ටික හදාගෙන එනවා”
උදේ බත් පතට දයාරත්න බත්, පොල් සම්බෝලය, කිරිහොඳි සමඟ ලූණු තෙල් දමා හෝ මාළු කෑල්ලක් හෝ දෙයි. නමුත් මේ දවස්වල පොල්වල පවතින මිල හේතුවෙන් ඔවුන් පත්ව ඇත්තේ අසීරුතාවයකටය.
“පොල් ගණන් කියලා බෑනේ.. අපි හැමදාමත් දීපු දෙය නිසා අපෙන් කෑම ගන්න අය ඒ ගැන අහනවා. ඉතින් මොනව කරන්නද... පුළුවන් විදිහට අපි පොල් සම්බෝල දෙනවා”
උදෑසන එළවළු කෑම පැකට්ටුවක මිල රුපියල් පනහකි. මාළු කෑම පැකට්ටුවක මිල රුපියල් හැටකි. කුකුල් මස් කෑම පැකට්ටුවක් රුපියල් හැත්තෑවකි. දහවල් මාළු කෑම පැකට්ටුවක මිල රුපියල් සීයයකි. කරි චිකන් කෑම පැකට්ටුව එකසිය පනහකි. එළවළු බත් පැකට්ටුවක මිල රුපියල් අනූවකි. දිනකට විකිණෙන බත් පාර්සල ප්‍රමාණය ඔවුන්ට නිශ්චිත කළ නොහැක. ඇතැම් දිනවලදී ඉතා ඉක්මණින් තම වෙළඳාම අවසන් වේ. නමුත් ඇතැම් දිනවලදී හිතනා තරම් ලාභයක් නොලැබෙන බවයි දයාරත්නගේ අදහස වූයේ.
අපි හැමදාමත් දෙන්නේ එකම මිලකටනේ. ඒත් මේ දවස්වල පුදුම විදිහට එලවළු ගණන්. හැම දෙයක්ම ගණන්. එහෙමයි කියලා මිලේ වෙනසක් කරන්න බැහැනේ. ඉතින් මේ දවස්වල වැඩි ලාභයක් නෑ. රිම් එකේ තමයි දුවන්නේ. හැමදාම කරන බිස්නස් එක නතර කරන්න බැහැනේ. එහෙමයි කියලා අපි ගාණ වැඩිකළොත් එහෙම නැත්නම් දවසක් දෙකක් මේක වහලා තිබ්බොත් අපේ කස්ටමර්ස්ලා වෙන තැන්වලට යනවා. ඒ නිසා අපි කොහොමහරි මේක කරගෙන යනවා
දයාරත්නගේ රුහුණු බත් කඩෙන් අපි ඊළඟට ගොඩවැඳුණේ බොරුල්ල “මාතර රතු කැකුළු බත් කඩේ”ටය. ජනාකීර්ණ බොරැල්ල නගරයේ ටිකක් ඇතුළට වන්නට තිබූ මාතර රතු කැකුළු බත් කාඩේට අපි යද්දීත් බොහෝ පිරිසක් කෑම කමින් පසු වූහ. එතරම් සුවපහසුකමක් නැත. ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක තිබූ මාතර බත් කඩේ අයිතිකරුවා වූයේ සුජිත්ය. උපන් ගම දෙහිඕවිටය. අවුරුදු පහළොවක ඉතිහාසයක් මෙම මාතර බත් කඩේ සතුව පවතී.
“මාතර බත් කඩේ පටන් අරන් දැන් අවුරැදු පහළොවක් විතර වෙනවා. මේ වෙනකොට සේවකයෝ හත්දෙනෙක් සේවය කරනවා”
එලවළු හාල් පොල් සියල්ල මොවුන් ගෙන එනු ලබන්නේ පිටකොටුවෙනි. සැබැවින්ම මෙය තරගයකි. විශේෂයෙන් මාතර බත් කඩ අතරද තරගයක් තිබේ.
“මේ බිස්නස් එකේ මාතර කඩ අතර තරගයක් තමයි තියෙන්නේ. මාතර මිනිස්සුන්ට හරි රසට කෑම උයන්න පුළුවන්. විශේෂයෙන් කටට රහට කටට සැරට කෑම හදන්න අපි සුපිරි වීරයෝ. ඉතින් එහෙම අපෙන් තවත් කෑමක් කෑවම අයෙ අපේ කඩේටම එන එක අහන්න දෙයක් නැහැනේ”
උදේ කෑම පැකට්ටුවේ මාළු ඇඹුල් තියල්, පොල් සම්බෝල, පරිප්පු තිබේ. උදේ පැකට්ටුවක මිල අනුව මාළු කෑම පැකට්ටුව අසූවකි. එළවළු කෑම පැකට්ටුව හැටකි. මේ දිනවල පවතින පොල් මිලත් සමඟ ඔවුන් පොල්, සම්බෝල අඩුවෙන් හදති. එබැවින් වෙනදා ප්‍රමාණයට නොව අඩු ප්‍රමාණයට පාරිභොගිකයාට පොල් සම්බෝලය ලැබේ.
ඔවුන් කියූ පරිදි මේ දිනවල ඔවුන්ගේ ආදායම ඉතා අඩුය. ඌරු මස් කෑම පැකට්ටුවක දවල් කාලයේදී එකසිය පනහකි. ඌරැමස් කෑම පැකට්ටුවට ඔවුන්ට හොඳ ඉල්ලුමක් පවතී. බොහෝ සැර රසවත් කෑම පෙනුමක් මෙම මාතර බත් කඩෙන් දිස්විය.
“අපි ඉතින් කෑම කන්නෙම මේ මාතර බත් කඩෙන් තමයි. කෑම සැරයි. හැබැයි මාර රසයි. අපේ දිවට ගැලපෙන විදිහට කෑම ටික හදනවා. ඉතින් එන්නෙම මෙතෙන්ට තමයි. අනෙක ඉතින් ගාණත් ලාභයිනේ”
පියල් රංජන් හැමදාමත් මාතර බත් කඩෙන් කෑම ගන්නා පාරිභෝගිකයෙකි.
උදෑසන හයට විවෘත වෙන බොරුල්ල මාතර බත්කඩේ අවසන් වන්නේ රාත්‍රි නවයයි තිහටය.
රුවන් සම්පත් ටවුන්හෝල් ප්‍රදේශයේ “මාතර බත් කඩේ” හිමිකරුවාය. මාතර කඹුරුපිටිය ප්‍රදේශය තම උපන් ගම වුණු රුවන් මේ ව්‍යාපාරය පටන් ගෙන මේ වෙද්දී වසර තුනකි. සේවකයෝ අටකින් සමන්විත මෙම මාතර බත් කඩේ කොළඹ පිටකොටුවෙන් හාල්, පොල්, එළවළු රැගෙන එති.
“මේක ඒ තරම් ලේසි ව්‍යාපාරයක් නෙවේ. පිරිසිදුව කටට රහට සාධාරණ මුදලකට කෑම ටික දෙන්න තමයි අපි හැමවෙලේම උත්සාහ කරන්නේ”
උදේ වේලට පොල් සම්බෝලය සහ මාළු ඇඹුල් තියල් අනිවාර් යෙන් ලබාදීම මාතර රතු කැකුළු බත් කඩේ විශේෂත්වයකි. “මාතර බත් කඩේ” නමින් මෙම ව්‍යාපාරය පවත්වාගෙන යනු ලබන බොහෝ දෙනා මාතර ගම් පියසේ ව්‍යාපාරිකයන්ය.
මාතර බත් කඩ පසුකර අපි තවත් පුංචි පහේ හෝටල් කිහිපයකටත්, ලොරි කෑම කඩ කිහිපයකටත් ගියෙමු.
අපි ෆ්‍රයිඩ් රයිස් එකක් දෙන්නෙ රුපියල් එකසිය පනහට. එක රයිස් එකක් ගත්තම දෙන්නෙකුට ඇති. දැන් මිනිස්සු ගුණයට වඩා බලන්නේ පොකට් එකට ලාභය. තෙල් රසට තියෙන නිසා ෆ්‍රයිඩ් රයිස් කන්න පුළුවන්. බොරු කියන්න බෑනේ නෝනා රසකාරකනම් දානවා. නැත්නම් රහ ගන්න බෑ... සමහර මිනිස්සු එකසිය පනහට ගන්න ගමන් අර මොටෝ දානවද කියලත් අහනවා. ඒක නොදා රස ගන්න බෑ. අඩුවට කන්නටත් ඕනෑ.. කොලිටිය තියෙන්නත් ඕනෑ... දෙකම එක තැනින් ගන්නට බෑ නෝනා. ඒ කුඩා හෝටලයක හිමිකරුවෙකු පැවසූ දෙයකි.
අහිතකර රසකාරක හා පිරිසිදුකම කඩ කෑම සම්බන්ධයෙන් පාරිභෝගිකයාට ඇති ප්‍රධානම ගැටලුවකි. විශේෂයෙන්ම මස් මාළු එළවළු වර්ග පිළියෙල කිරීමේදී පිරිසිදුකම ගැන සැක මතුවන අතර කල් ඉකුත් වූ ද්‍රව්‍යද යොදාගැනීම සමහර හෝටල් හා බත් කඩ කෑම සාදන්නන් ලාභය උදෙසා අනුගමනය කරන ක්‍රමවේදයකි. සමහර කුඩා හෝටල්වල, අැතැම් ගෙවල්වල බත් පැකට් කරන ස්ථානවල පමණක් නොව නමක් දිනූ අැතැම් ලොකු හෝටල්වලද මේ ගැටලු පවතින බව අපි දනිමු. සමහර ස්ථානවල පාරිභෝගිකයාට ප්‍රදර්ශනය වන පිරිසිදුකම එහි අභ්‍යන්තරයේ නැත. වැසිකිළිවල තබාගෙන මැල්ලුම් මස් මාළු සුද්ද කරන හෝදන හෝටල්ද හිඟ නැත. ඒ අතරම උපරිම ප්‍රමිතියෙන් හා පිරිසිදුකමින් බත් පැකට් සාදන හෝටල් පවත්වාගන යන ව්‍යාපාරිකයෝද සිටිති.
සියල්ල අවසානයේ තට්ටුවෙන්නේ පොදු ජනතාවගේ සෞඛ්‍යයට හෙයින් සල්ලිවලට කන්නට දෙන බත් පත හෝ වෙන කවර ආහාරයක් වුව පිරිසිදුවට නිසි ප්‍රමිතියට ලබාදීමට හැකිනම් එය සාධාරණ වෙළඳාමක් වනු ඇත.
“තොපිට හෙණ ගහපං.. සල්ලි අරන් ජරාව කන්න දෙනවට” යැයි පාරිභෝගිකයෝ පිට කරන කෝප සාප හෝ දෝස්මුර එවිට ඔබට අදාළ නොවනු ඇත.
♦ දිශානි ජයමාලි කරුණාරත්න
සේයාරූ - සුමුදු හේවාපතිරණ