2017 ජුනි 10 වන සෙනසුරාදා

ප්ලාස්ටික් හාල් කතාව ඉලාස්ටික්?

 2017 ජුනි 10 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 164

තුන් වේලටම බත්කන ජාතියක් හැටියට බත්වල රස ගුණ ගැන කතා කරන්නට අපට අමුතුවෙන් අටුවා ටීකා අවශ්‍ය වන්නේ නැත. සුවඳැල්, කළු හීනටි, මාවී, පච්ච පෙරැමාල්, කුරුලුතුඩ, රත්දැල්, මඩතවාලු, හැටදා වී වැනි පාරම්පරික සහල්වල සිට අද දවසේ වෙළෙඳපොළෙහි භාවිතාවන සහල් වර්ග දක්වා වූ විවිධ වර්ගයේ සහල් වර්ග රස ගුණ අප මේ වනවිටත් හඳුනාගෙන හමාරය. මේ අතර වෙළෙඳපොළෙහි විකිණීමට ඇති අලුත්ම සහල් වර්ගයක් ගැන අපට දැනගන්නට ලැබුණේ පසුගිය දිනවල සමාජ ජාල වෙබ්අඩවි හරහාය. කන්නට කෙසේ වෙත්ත බෝල් ගසන්නට ප්‍රයෝජනවත්වේ යැයි කියන මෙම සහල් වර්ගය බොහෝ දෙනා හඳුන්වන්නේ ප්ලාස්ටික් සහල් ලෙසයි.

ලේඛනගත සාධකවලට අනුව අනාදිමත් කාලයක පටන්ම ශ්‍රී ලංකාවේ වී ගොවිතැන පැවත ඇත. එවක වී ගොවිතැන වෙනුවෙන්ම විශාල වාර් මාර්ග, ජලාශ හා එකිනෙකට සම්බන්ධ ඇළ මාර්ග පද්ධති ඉදිවී ඇති අතර වී ගොවිතැන ආර්ථික ක්‍රියාකාරීත්වයක් පමණක් නොව එය ජීවනෝපාය මාර්ගයක්ද විය. එසේම පෙර රජවරු ඒ වී ගොවිතැනින් රටේ සමස්ත ජනතාවගේ කුසගිනි නිවා නැව් පුරවා පිට රට යැවිය හැකි මට්ටම දියුණු කළහ. ශ්‍රී ලංකාව පෙරදිග ධාන්‍යාගාරය යනුවෙන් ප්‍රචලිත වූයේද එකලය.

එහෙත් යටත් විජිතයුගයෙන් පසු මෙරට වැවිලි ආර්ථිකයක් හඳුන්වා දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස කාලය ගතවීමත් සමඟ පෙරදිග ධාන්‍යාගාරය සහල් පිටරටින් ගෙනෙන තත්ත්වයට පත්විය. අපේ ජනතාව බත ලැබෙන තුරු මුහුදට දත නියවාගෙන සිටින ජාතියක් බවට පත්වන්නේ ඒ අනුවය. අද දවසේ කතාබහට ලක්වන බෝල ගැසිය හැකි සහල් පිළිබඳව අපට කතාකරන්නට සිදුවන්නේද එහි ප්‍රතිඵලයක් වශයෙනි.

“මේ තියෙන්නේ පිටකෝට්ටේ සතොසෙන් දින කීපයකට කලින් මම මිලදී ගත්ත බාස්මතී මහල්. මේක හැදුවට පස්සෙ වෙනදා ගේන හාල්වල තියෙන සුවඳවත්, රසවත් ඒ කිසිම දෙයක් මේ හාල්වල දැනුණේ නෑ. දැන් මේ ඊයේ 11ට විතර උයපු බත් පැය 24ක් එළියෙ තියෙනවා. කිසිම නරක්වීමක් නෑ. ඒ වගේම මේ හාල් එක ඉව්වට පස්සෙ ඇලෙනවා. මේක දැන් බෝලයක් වගේ ගුලි හදලා ඉවර වෙලා ගහන්න පුළුවන් බිම. බත් ගුලි බිම ගහනකොට බත් ඇට විසිවෙනවානෙ. ඒත් මේක බිම ගහනකොට මේකෙ කිසිම විසිරීමක් නෑ. බත් ගුලිය කොච්චර හයියෙන් ගැහුවත් බම්ප් වෙනවා”.

මේ පසුගිය දිනවල වෙබ්අඩවි වල හුවමාරු වූ වීඩීයෝවකි. වීඩීයෝවට අනුව වීඩීයෝවෙහි පෙනී සිටි කාන්තාව පිසගත් බත් වලින් සකසා ගත් ගුලි බිම ගැසීමක්ද සිදුකළ අතර ඇය ප්‍රකාශ කළ ආකාරයට එහි බත් ඇට විසිරීයාමක් සිදුවූයේ නැත. 

මෙම වීඩීයෝවත් සමඟම තවත් එවැනිම ආකාරයේ වීඩීයෝ නිකුත්ව තිබූ අතර මේ අත්දැකීමට මුහුණ දුන් තවත් පුද්ගලයකු වූයේ කොට්ටාව - මාකුඹුර ප්‍රදේශයේ සතොසෙන් සහල් මිලදීගත් පාරිභෝගිකයෙකි.

මෙලෙස පසුගියදා බොහෝ දෙනකුගේ කතාබහට ලක්වූයේ පාකිස්ථානයෙන් මෙරටට ගෙන්වා ලංකා සතොස වෙළෙඳසල්වල විකිණීමට තිබු බාස්මති සහල් වර්ගයක් පිළිබඳවය. රුපියල් 148ක් වැනි මුදලකට විකිණීමට තිබූ මෙම සහල් පාරිභෝගිකයන් කිහිපදෙනෙකු ඒ වනවිටත් මිලදී ගෙන තිබූ අතර සතොස සභාපති ටී.එම්.ඩී.කේ. තෙන්නකෝන් මහතා ඉහත කාන්තාව සහල් මිලදී ගත් ස්ථානයෙන්ම මිලදී ගත් සහල් වලින් පිසගත් බත් තමන් විසින්ම අනුභව කොට එම සහල්වල ගැටලුවක් පෙනෙන්නට නොතිබෙන බවද මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.

අප මේ සම්බන්ධයෙන් කළ විමසීමකදි සතොස සභාපති ටී.එම්.ඩී.කේ. තෙන්නකොන් මහතා පැවසුවේ මෙවන් අදහසකි.

“ඔය ගැටලුව ඇතිවෙලා තියෙන්නේ එක්කෙනෙකුටනෙ. එම ගැටලුව ඇතිවුණ කෙනා ඒ සම්බන්ධයෙන් අදාළ ආයතනයට පැමිණිලි කරන්නේ නැතිව ඒක වීඩීයෝ ක්ලිප් එකක් හදලා ෆේස්බුක් එකට දාන්න ඕනෙ නෑ නේද? මොකද ගැටලුවට අදාළ ආයතනයක් තියෙනවා. එම ආයතනයට හෝ පාරිභෝගික කටයුතු අධිකාරියට පැමිණිලි කරන්න තිබුණා. එතකොට ඇයි මේ ෆේස්බුක් එකට දාන්නේ. මේවා කරන්නෙ මඩ ගහන්න. දැන් රජයේ ආයතන ඔයාටත් අයිතියි. මටත් අයිතියි. මොකද එම ආයතන යැපෙන්නේ මහජන මුදල් වලින්නෙ. එතකොට අපේ පොදු ආයතනයකට මඩ ගහද්දී පුරවැසියෙක් කල්පනා කරන්න ඕනෙ මෙම ආයතනය අපිට අයිතියි කියලා. එතකොට ඒක ෆේස්බුක් දාලා එයා අර විදිහට ඩ්‍රාමා එකක් දැම්මොත් ඉන් අදහස් කරන අරමුණ මොකක්ද? කාගෙ හරි ඉගෙනුම් බහට කෙරෙන පහර ගැසීමක්නෙ ඒ.

ව්‍යාපාර ලෝකයේ ලංකාවේ අපේ සතොස ආයතනය ආණ්ඩුවෙන් යනවට විරැද්ධ ඇති ඕන තරම් අය. සුපර් මාර්කට් තියෙනවනෙ දැන්. අපේ ආයතන වැහුවොත් තමයි සුපර් මාර්කට් වලට පුළුවන් වෙන්නේ හිතූ ගණන්වලට භාණ්ඩ විකුණන්න. එවැනි අයටත් මේ වගේ සැලසුම් කරලා වැඩක් කරන්න පුළුවන්. මම මේ විවෘතව අහන්නේ ඔයාට කවුරුහරි ගැහුවා නම් බැන්නානම් ඔයා පොලීසියට යනවා මිසක් ඒක ෆේස්බුක්වල දාන්නේ නැහැනේ. එතකොට අපිට විරුද්ධව යමක් තියෙනවා නම් අපි ළඟට ඇවිත් පැමිණිලි කරන්නත් පුළුවන්. නැත්නම් පාරිභෝගික කටයුතු අධිකාරියට ගිහිල්ලා පැමිණිලි කරන්න පුළුවන්. මෙතන ලොකු ගැටලුවක් තියෙනවා.

පිට කෝට්ටේ පැත්තෙ නෝනා කෙනෙක් තමයි ඔය ඉදිරිපත් කිරීම කළේ. ඒ නෝනා හාල් ගත්ත පිටකෝට්ටේ තියෙන ලංකා සතොස ආයතනයෙන් ඔය ගැටලුවට පස්සෙ මම ගිහින් හාල් ග්‍රෑම් පන්සීයක් ගෙනාවා. ගෙනල්ලා මම ඉව්වා. උයනකොට ගෙදර සම්පූර්ණයෙන් සුවඳයි. ඊට පස්සෙ මම බැලුවා මේ ගුලි කරන්න පුළුවන්ද කියලා. වතුර වැඩි කරලා ඉව්වොත් මේක ඇලෙන ගතියක් තියෙනවා. ඒ නිසා වතුර අඩුවෙන් දාලයි උයන්න ඕනෙ. මම මේ බත් ගුලි කළා. නමුත් ඒක තියෙන්නේ නෑ. බත් ටික විසිරිලා යනවා. එයා ගත්ත හාල් මට එහෙම වෙන්නත් එයාගේ බත්වල තත්ත්වය ෆේස්බුක් එකේ දාන්නත් ඒක බොරුවක්නේ.

අවසාන වශයෙන් කියන්න තියෙන දේ තමයි ප්ලාස්ටික් වලින් හාල් හදන්න බෑ. මොකද ප්ලාස්ටික්වලින් හදලා කාටවත් පිටි ගතියට ගන්න බෑ. එහෙමනම් ප්ලාස්ටික් සුවඳ එන්නත් ඕනෙනේ. මේවා එක එක්කෙනා ගොතන බොරු. මම MRI එකට මෙම සහල් සාම්පලයක් යැව්වා රිපෝට් එකක් ගන්න. ඒ වාර්තාව ආවට පස්සෙ මම සී.අයි.ඩී. එකට පැමිණිල්ලක් කරනවා. ඔය දාන නාට්‍යකාරයෝ කවුද කියලා ඇත්තටම හොයාගන්නවා. මේ වෙද්දී සහල් සම්බන්ධයෙන් පරීක්ෂණ කෙරෙනවා බාස්මති සහල් විකිණීම සිදුකෙරන්නෙ නෑ. අපි ටොන් 20ක් ගත්ත මේ සහල් වල දැනටමත් ටොන් 16 විකිණිලා තියෙන්නෙ. තව ටොන් 4යි තියෙනවා. එතකොට මෙට්‍රික් ටොන් 16යේම රටවටා පැමිණිලි එන්න ඕනනෙ. එහෙම දෙයක් වෙලා නෑ. කොහොමත් අපි මේ පිළිබඳව සොයා බලලා අපිට විරුද්ධව කටයුතු කරන්නේ කවුද කියන දේ සොයා ගන්නවා.

සතොස සභාපතිවරයා එලෙස පවසද්දී අපද පිටකෝට්ටේ සතොස ඇතුළු තවත් සතොස ආයතන කිහිපයකටම ගොස් මෙම සහල් සම්බන්ධයෙන් සොයාබැලීමක් කළෙමු. නමුත් අපට එම ආයතනවලදී එම සහල් වර්ග දැක ගැනීමට නොහැකි වූයේ අදාළ ආයතන වලින් එයා ඉවත්කොට තිබූ නිසාය.

මෙම සහල් ප්ලාස්ටික් සහල් බවට සමහරුන් හඳුන්වා තිබූ අතර මීට වසරකට පමණ ඉහතදී එනම් 2016 වසරේ දෙසැම්බර් මාසයේදී ප්ලාස්ටික් සහල් සම්බන්ධව අපට වාර්තා වූයේ නයිජීරියාවෙනි. එම අවස්ථාවේදී එරට රේගු ප්‍රධානියා සඳහන් කර තිබුණේ මීට පෙරද මෙවැනි සහල් තොග ආනයනය කොට තිබිය හැකි බවයි. එසේම ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එවැනි සහලින් පිසූ බත් ආහාරයට ගත් විට සිදුවන්නේ කුමක්දැයි දන්නේ දෙවියන් පමණක් බවය. 

♦ හේමමාලා කුමාරි රාජකරුණා

පරීණවලින් පස්සේ  කියන්න පුළුවන්

වෛද්‍ය ලක්ෂමන් ගම්ලත් අධ්‍යක්ෂ පාරිසරික සෞඛ්‍ය හා ආහාර සෞඛ්‍ය 

මේ වෙද්දී ලංකාවේ ප්ලාස්ටික් හාල් තිබෙන බවට විවිධ මාධ්‍යවල ප්‍රකාශ වෙලා තියෙනවා. නමුත් ප්ලාස්ටික් සහල් තිබෙන බවට තවම අපි තහවුරු කරගෙන නෑ. ප්ලාස්ටික් සහල් හදනවා කියලා කියන්නේ චීනයේ. දැන් සති දෙකක් විතර පටන් ආනයනය කරන සියලුම සහල් අපි පරීක්ෂා කරනවා. එම පරීක්ෂා කිරීම්වලදී අපිට තවම මේ ප්ලාස්ටික් සහල් කියන දේ හම්බවෙලා නෑ. ඒ නිසා මම හිතන්නෙත් නෑ ප්ලාස්ටික් හාල් තියෙනවා කියලා. පසුගියදා කතාබහට ලක්වුණු සහල්වල සාම්පල් අරගෙන අපි මේ වනවිටත් ලැබ්වලට යොමුකරලා තියෙනවා. ඊට පස්සේ තමයි හරියටම කියන්න පුළුවන් වෙන්නේ. ගෙදරදීත් අපිට මේවා ප්ලාස්ටික් සහල් ද කියලා පරීක්ෂා කරගන්න පුළුවන්. ප්ලාස්ටික් සහල් වතුරට දැම්මට උඩට එනවා. හොඳ සහල් යටයනවා. ඒ වගේම හාල් තලලා බැලුවොත් හොඳ සහල් පිටි වෙනවා. අනිත් දේ මෙහි සහල් පුච්චලා බැලුවොත් හොඳ හාල් නම් පිච්චෙන්නේ නෑ. නමුත් ප්ලාස්ටික් සහල් පිලිස්සෙනවා. මෙම පරීක්ෂණ තුන ගෙදර ඉඳලා ඕනෑම කෙනෙකුට කිරීමේ හැකියාව තියෙනවා. මෙහිදී කිසියම් හෝ සැකයක් මතුවුණොත් ළඟම තියෙන පී.එච්.අයි. එකට හෝ එම්.ඕ.එච්. එකට සාම්පලයක් එවන්න. එතකොට අපිට එය පරීක්ෂා කර බලන්න පුළුවන්. දැනට තියෙන තත්ත්වය අනුව කිසිම කෙනෙක් අපිට එහෙම සහල් ගෙනත් දීලා නෑ.