
දැයේ දරුවන්ගේ අධ්‍යාපනය ජාතියේ ජීවනාලිය බඳු අලුත් පරපුරේ අනාගතයයි. අධ්‍යාපනික වශයෙන් මුද්‍රිත, විද්‍යුත් හෝ අන්තර්ජාල භාවිතය වර්තමානයේ ප්‍රබල මාධ්‍ය වී තිබුණද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අති විශාල මුදලක් ආයෝජනය කරන්නට මෙරට රජයන් කටයුතු කර තිබේ.
මේ අතර පාසල් දරුවන්ගේ ශරීර සෞඛ්‍යට අහිතකර පෙළපොත් ලක්ෂ පහක ප්‍රමාණයක් රුපියල් කෝටි පහළවක වියදමින් මුද්‍රණය කර තිබෙන බවට පසුගිය දිනෙක තොරතුරු වාර්තා විය. මෙසේ අධික මුදලක් වියදම් කරමින් කෘත්‍රිම (සින්තටික්) කඩදාසි භාවිතයෙන් පොත් මුද්‍රණය කර ඇති බවත් ඒවා මුද්‍රණය කර ඇත්තේ දරුවන්ගේ සෞඛ්‍යයට හිතකරද යන්න පිළිබඳව නිසි අධ්‍යනයකින් තොරව බවත් සඳහන් විය.
මුද්‍රිත පොත් ලක්ෂ පහ අතුරින් ලක්ෂ දෙකක් මේ වනවිටත් දිවයින පුරා දරු දැරියන් අතට පත්කර තිබෙන අතර ඒවා හත්වැනි ශ්‍රේණියේ භූගෝල විද්‍යාව විෂය යටතේ මුද්‍රණය කර තිබේ. ශරීරය අහිතකර කෘත්‍රිම කඩදාසි හෝ වර්ණක භාවිතයෙන් ඉහත කී පෙළපොත් මුද්‍රණය කර ඇත්නම් වයස අවුරුදු 12ක් වන 7 වැනි ශ්‍රේණියේ දරුවන්ට මේ පොත් පරිහරණය සෞඛ්‍ය ගැටලුවලට හේතු විය හැකිය.
මේ ආකාරයට පසුගියදාක පළවූ වාර්තාවක සඳහන් වූයේ ජාතික ප්‍රමිති හා තාක්ෂණ ආයතන විසින් ඒ සම්බන්ධ වාර්තාවක් නිකුත් කර ඇති බවය. ඒ අනුව අදාළ කඩදාසිවල අඩංගු සංයෝග දරැවන්ගේ ඇස් හා සම මත තැවරීම යම් සෞඛ්‍ය ගැටලුවකට හේතුවන්නට හැකි බව දක්වා ඇතැයි කියති. එසේම ශ්වසනය මගින් පෙනහලුවලට, අක්මාවට මෙන්ම ස්නායු ආබාධ ඇති කරන්නට හේතු වන බව පවසා ඇතැයිද වාර්තා වේ.
මෙම චෝදනාව පිළිබඳව අමාත්‍යවරයාගේ අවධානය යොමු වී ඇති බවත් ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව මගින් ස්වාධීන කණ්ඩායමක් යොදවා ඒ පිළිබඳ නිර්වද්‍ය වාර්තාවක් කැඳවන බවත් දන්වා තිබෙන බවද එම වාර්තාවේ සඳහන් වේ. ඒ අතර දක්වා ඇත්තේ අදාළ පෙළපොත්වල ශරීර සෞඛ්‍යයට අහිතකර අන්තරායකර අංශු පවතිනවාද යන්න පිළිබඳ අවධානය යොමුකළ යුතු බවය.
ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ මහතා අදාළ පෙළපොත් සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදුකර ඒවා දරැවන්ගේ සනීපාරක්ෂාවට අහිතකරදැයි සොයාබලා වාර්තාවක් ලබාදෙන ලෙස දන්වා ඇත. නව පෙළපොත් ලක්ෂ පහක් සම්බන්ධයෙන් උද්ගතව තිබෙන ගැටලුව පිළිබඳව ජනාධිපති විමර්ශන ඒකකයේ අධ්යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් සිදුකෙරෙන බවද දැනගන්නට ඇත. මෙම ගැටලු සහගත පොත් මුද්‍රණයට ටෙන්ඩර් කැඳවා නිරීක්ෂණය කළ පසුදිනම ඊට කැබිනට් අනුමැතිය හිමි වී තිබීම අර්බුදකාරී තත්ත්වයක් බවද වාර්තා වේ.
මෙම පෙළපොත් මුද්‍රණය කඩිනමින් සිදුකර ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව මගින් ටෙන්ඩර් කැඳවා තිබුණි. ඊට සුදුසුකම් ලත් අයදුම්කරුවන් දෙදෙනකු පමණක් ටෙන්ඩර් යොමුකර තිබුණි. ඒ අතුරින් අවම ලන්සුව ඉදිරිපත් කළ ආයතනයට ටෙන්ඩරය ප්රදානය කළ අතර “සොෆ්ට් බේව්” නැමැති ආයතනය ඊට සුදුසුකම් ලබා තිබිණ. මෙම පෙළපොත් මුද්‍රණය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ තාක්ෂණික ඇගයුම් කමිටුව අනුමත කළ එකකි. විශේෂයෙන් එය නියමු ව්‍යාපෘතියක් වශයෙන් හඳුන්වයි. ඊට හේතුව ලෙස වර්තමානයේ මෙරටට බලපාමින් පවතින ගංවතුර ආදී ස්වභාවික ව්‍යසනයන්හිදී පාසල් පොත්වලට සිදුවන හානිය අවම කිරීම සහ වතුරින්, පස්වලින් හෝ මඩවලින් කිසිදු හානියක් නොවන අමුද්‍රව්‍යයකින් පෙළපොත් නිර්මාණය කිරීමට කටයුතු කිරීමය.
කෘත්‍රිම කඩදාසි වර්ගයක් වන මෙය ස්වභාවයෙන් පොලිතින් මිශ්‍ර පෙනුමකින් යුතුය. වසර කීපයකට ඉහතදී මෙරට මහ බැංකුව විසින් මුද්‍රණය කළ රුපියල් 200 නෝට්ටුව මුද්‍රිත කඩදාසිය හා සමානය. ඒවා සාමාන්‍ය කඩදාසියකට වඩා පැවැත්මට අතින් අගනේය. මෙවැනි පොත් ජපානයේ බහුලව භාවිත කරන අතර ජපන් තාක්ෂණය අනුව ජපානයේ (S.G.S.) තත්ත්ව සහතිකය අනුව නිර්මාණය කරන්නකි. මේ සඳහා ලංකාවේ (E.T.I.) තත්ත්ව සහතිකය හිමි වී තිබෙන බවත් ඒ සඳහා විෂ රහිත අනුභවයට සුදුසු වන වර්ණක අඩංගු තීන්ත යොදා තිබෙන බවද කඩදාසියේ බැරලෝහ හෝ වෙනත් විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බවද ජාතික අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් නීතිඥ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා පවසයි. මෙම පෙළපොත් පිළිබඳව වැරදි මතයක් ඇති කරමින් ප්රවෘත්ති වාර්තාවක් පළකළ පුවත්පතට එරෙහිව පුවත්පත් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද ඔහු සඳහන් කළේය.
♦සමන්ත ප්‍රදීප් විල්තෙර
කිසිම හානියක් නෑ! ඔය කතාව බොරු
ජාතික අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් නීතිඥ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ
මේ චෝදනාව සම්පූර්ණයෙන් අසත්‍යයක්. මෙය තාක්ෂණික ඇගයුම් කමිටුවේ අනුමත නියමු ව්‍යාපෘතියක්. මේ සම්බන්ධයෙන් ප්‍රමිති ආයතනයේ කිසිම ගැටලුවක් නෑ. ලංකාවේ සහ ජපානයේ අවශ්‍ය තත්ත්ව සහතිකයන් හිමිවෙලා තිබෙනවා. දැනට මේ කඩදාසිවල මුද්‍රිත පොත් ජපානයේ භාවිත කරනවා. ලංකාවේ ගංවතුර වගේ ආපදාවලින් පාසල් පෙළපොත් විශාල වශයෙන් විනාශ වෙනවා. ඊට පිළියමක් වශයෙන් මේ ව්‍යාපෘතිය ආරම්භ කළේ. එය වසර 5ක් පරීක්ෂණ මට්ටමේ තිබෙනවා. දරුවන්ට ලබාදීලා තියෙනවා. මේ අමුද්‍රව්‍ය නිසා වතුරට, මඩට හානියක් වෙන්නෙ නෑ. කිලිටු වුණත් නැවත සෝදලා ගන්නත් පුළුවන්. කාලයක් පවතිනවා. මෙතන පිරිවැය සහ භාවිතාව ලංකාවට ගැලපෙනවද කියන එක පරීක්ෂා කරනවා. ඒ සඳහා වසර 5ක් වෙන්කරලා තියෙනවා.
මේ පිළිබඳ කිසිදු භීතියක් ඇතිවිය යුතු නෑ. අසත්‍ය තොරතුරු පිළිගන්න අවශ්‍ය නෑ. එහෙම යමක් තිබුණා නම් මේ වනවිටත් පාසල් දරුවෝ, ගුරුවරු, විදුහල්පතිවරු හෝ මවුපියන් පැමිණිලි කරනවා. එහෙම දෙයක් වෙලා නෑ. මේ අමුද්‍රව්‍ය සෞඛ්‍ය අමාත්‍යංශය අනුමැතිය ලැබූ ඒවා. මේ පෙළපොත් ශරීරයට අහිතකරයි කියලා මේ වනතෙක් වෛද්‍ය නිර්දේශයක් ලැබිලා නෑ. මේ අසත්‍ය තොරතුරැ යම් පිරිසකගේ ව්‍යාපාරික අරමුණු මත සිදු කෙරෙනවා.