2017 ජුනි 03 වන සෙනසුරාදා

ලන්ඩන් නුවරින් ඉටිපන්දම් ඇතුළේ ගාල්ලට එවූ කොකේන්

 2017 ජුනි 03 වන සෙනසුරාදා, පෙ.ව. 06:03 166

ජර්මන් ජාතිකයකු විසින් එංගලන්තයේ ලන්ඩන් නුවර සිට නැව් මගින් මෙරටට එවූ රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් වටිනා කොකේන් සහ මත්පෙති තොගයක් සැකකාර විදේශිකයා සමඟ අත්අඩංගුවට ගැනීමට රේගු මධ්‍යම විමර්ශන ඒකකයේ නිලධාරීන් සමත් වූයේ ඉකුත් 25 වැනිදාය.

සූක්ෂ්මව සිදුකළ විමර්ශනයකින් පසුව භාණ්ඩ හා උපකරණ කිහිපයක් තුළ ඉතා රහසිගතව අසුරා එවන ලද හෙරොයින් ග්‍රෑම් 55ක් සමඟ මත්පෙති 3500ක තොගයක් සොයාගන්නට නිලධාරීහු මෙහිදී සමත් වූහ.

මෙහෙයුම සිදුකර තිබුණේ රේගු මධ්‍යම විමර්ශන ඒකකයේ රේගු අධිකාරි ජී.බී. ඥානරාජ් මහතා වෙත ලැබුණු රහසිගත තොරතුරකට අනුවය. එම හෝඩුවාව ලබා දී තිබුණේ ඔහුගේ පෞද්ගලික ඔත්තුකරුවකු විසිනි.

හලෝ... මිස්ටර්... ගොඩක් දවසකින් කතා කළේ... හොඳම තොරතුරකුත් හොයාගෙනමයි. එංගලන්තයේ ඉඳලා ගාල්ලේ ලිපිනයකට මත්කුඩු සහ පෙති පාර්සලයක් එවලා තියෙනවා. හෙට අනිද්දාට ඒක පන්නනවා...

ඔත්තුකරුගේ කාරණය පිළිබඳ සැකයක් නැත. නමුත් වැටලීම සිදුකරන්නට තරම් තොරතුරු ප්‍රමාණවත් නැත. රේගු අධිකාරිවරයාගේ ඉල්ලීම වූයේ රහස රුකගනිමින් වැඩි විස්තර ලබාදෙන ලෙසය. ඒ අනුව ක්‍රියාත්මක ඔත්තුකරු හැකි උපරිමයෙන් වැඩි විස්තර සපයන්නට විය.

කුඩු, ටැබ්ලට් දෙකම ඇවිත් තියෙනවා. නැවකින් තමයි බඩු ආවේ. සුද්දකුගෙ නමට ගාල්ලෙ ලිපිනයක් තියනවා... ඒක තමයි පාර්සලය...

මේ ආකාරයට ප්‍රමාණවත් විස්තර සපයා දුන් ඔත්තුකරුගේ දැනුම් දීමෙන් පසුව ක්‍රියාත්මක වූ ඥානරාජ් මහතා අදාළ විදේශිකයා කවරකුදැයි සෙවීමට උත්සාහ ගත්තේය. සැකකාර නම් ඇති අය ආගිය ගමන් තොරතුරු පිළිබඳ තොරතුරැ එකතු කරගනු ලැබීය. මේ ආකාරයට ඉදිරියේ සිදුකරන්නට අවශ්‍ය වැටලීමට පසුබිම සකස් විය. අනතුරුව වැටලීම සිදුකරන්නට සුදුසු උපායක් කල්පනා කළ ඔහු සැකකරුට අයත් පාර්සලය ඉක්මණින් ලබාගත යුතු වන තැනට කටයුතු සූදානම් කළේය. ඒ සඳහා අදාළ ලිපිනය වෙත දන්වා තිබුණේ ඔහුට අයත් පාර්සලය ගාල්ල පිහිටි පෞද්ගලික ගමන් බඩු නිශ්කාෂණ ආයතනයෙන් මුදාගැනීමට කල්ගත වන බවත් කොළඹ කාර්යාලයට පැමිණ හමුවන්නේ නම් ඉතා ඉක්මණින් ලබාගත හැකි බවත්ය. ඊට අවනත වූ විදේශික සැකකාර පුද්ගලයා පසුදිනම කොළඹ රේගු මූලස්ථානය වෙත පැමිණ එහි නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා මුණගැසී ඇත්තේ පාර්සලය පිළිබඳව විමසන්නටය.

මේ වනවිටත් සංවිධානය වී බලා උන් විමර්ශන කණ්ඩායමේ නිලධාරීහු සැකකරු අධ්‍යයනය කරමින් සිටියහ. මේ අතරතුර විදේශික පුද්ගලයාගේ හැසිරීම තරමක් වෙනස් වෙමින් තිබිණ. මුහුණ කිසියම් බියකින් පෙළෙන බව පෙනිණි. දෑස් සැකයෙන් ඒ මේ අත යොමුවිය. මේ අතරතුර වැඩි වේලාවක් ගතවූයේ නැත. බියේ ගැහෙමින් සිටි පුද්ගලයාට විලංගු වැටෙනවාත් සමඟ ඔහුගේ හිතේ සඟවා සිටි අදහස් එකිනෙක එළියට පැන්නේය.

මම කොකේන් ගෙනාවා... එක්ස්ටසි ටැබ්ලට් ගෙනාවා... මේ පාර්සලයේ ඇතුළෙ තියෙන්නේ ඒවා... යැයි ඔහු කියාගෙන ගියේය.

එහිදී වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී තවත් කරුණු රැසක් අනාවරණය විය. මේ අතර ඔහු අනේ... මාව නිදහස් කරන්න නම් එපා...මගේ ඥාතීන් ගාල්ලේ ජීවත් වෙනවා. මම උපන්නේ එහේ... මේක ඒ අය දැනගත්තොත් මාව මරයි... ඒ නිසා මාව ඇතුළෙම තියන්න... යැයි කියමින් නිලධාරීන් හමුවේ ඔහු බැගෑපත් විය.

අනතුරුව සැකකාර පුද්ගලයා රැගත් නිලධාරීහු ගාල්ල නගරය ආසන්නයේ පිහිටි පෞද්ගලික ගමන් භාණ්ඩ නිශ්කාෂණ ආයතනයක් වෙත ගියහ. එහි නිලධාරීන්ට කරුණු පවසා අදාළ පාර්සලය විවෘත කරන්නට වූයේ සැකකරු ඉදිරියේමය.
එම පාර්සලය පිරික්සීමේදී තරමක් විශාල ඉටිපන්දම් රාශියක් හමුවිය. සැකකරුගේම කතාව පරිදි පරීක්ෂා කිරීමේදී පෙනී ගියේ ඉටිපන්දම් මැද කුහරයක් සකසා ඒ තුළට කොකේන් මත්කුඩු අසුරා නැවත සිදුර වසා ඇති බවය. ඉන් අනතුරුව අතට පත්වූයේ වටිනා පෙනුමැති විදුලියෙන් ක්‍රියාකරන ඇඹරැම් යන්ත්‍රයකි. එය විවෘත කළ පසුව දකින්නට ලැබුණේ ඒ තුළ සුක්ෂ්ම ලෙස අසුරා ඇති මත්පෙති රාශියකි. ඊට අමතරව ලෝහ මාධ්‍යයෙන් සැකසූ ඇඳක් දකින්නට ලැබිණ. එය ලෝහ බටවලින් නිර්මාණය කළ එකකි. එහි දිගු බටයක් මැද සිදුර පිරෙන්නට මත්පෙති අසුරා තිබිණ. සියල්ල අවසානයේ මත්පෙති 3500ක්ද කොකේන් මත්කුඩු ග්‍රෑම් 55ක්ද පාර්සලය තුළින් හමුවිය. මේ සියල්ල භාණ්ඩ එකිනෙක වෙන්ව කාඩ්බෝඩ් පෙට්ටිවල අසුරා තිබුණි.

58 හැවිරිදි සැකකරු දින කීපයකට ඉහතදී ලංකාවට පැමිණි අයෙක්. එදා සිට ඔහු නවාතැන් ගෙන තිබුණේ වත්තල ප්‍රදේශයේ හෝටලයකය. ඔහුගේ උපන් ගම ගාල්ල බවද සිය ඥාතීන් එහි වෙසෙන බවද පවසා ඇත. කලකට ඉහතදී විදෙස්ගතව ඇති ඔහු ප්‍රංශයේ වසර ගණනාවක් රැකියාවේ නිරතව සිට ඇත. අනතුරැව ජර්මන් ජාතික කාන්තාවක් හා විවාහ වී එරට පදිංචියට ගොස් තිබෙන අතර දරුවන් තිදෙනකුගේ පියෙකි. ඔහු මුණුබුරු පිරිසකගේ සීයා කෙනෙකි. එපමණක් නොව සංචාරයේ නිරතව සිටියදී හමු වූ එංගලන්ත තරුණියකගේ ආදරණීය පෙම්වතෙකි. ඇය හමුවීමට එංගලන්තයේ ගිය අවස්ථාවක එහි සිට මෙම පාර්සලය ලංකාවට එවා ඇති බවද හෙළිවිය.

අත්අඩංගුවට පත් සැකකරැ ගාල්ල වරාය පොලීසියට භාර දුන් අතර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කෙරෙමින් පවතී. රේගු මත්ද්‍රව්‍ය අංශයේ අධ්‍යක්ෂ සිසිර ද සිල්වා, රේගු මධ්‍යම විමර්ශන අංශයේ අධ්‍යක්ෂ ජී.එස්. සේනාරත්න, නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් වන ජේ. උක්වත්ත හා ජී. වැලිකල මහත්වරැන්ගේ මෙහෙයවීමෙන් රේගු අධිකාරී ජී.බී. ඥානරාජ්, ඒ. ශාන්තසිරි, සහකාර රේගු අධිකාරීන් වන එස්.ඩී. ජයවර්ධන සහ ජුඩි ප්‍රනාන්දු යන අය වැටලීම සිදුකළහ.

සමන්ත ප්‍රදීප් විල්තෙර