
උදයකාන්ත වර්ණසූරිය නම් අධ්‍යක්ෂකවරයා ගිනි අවි සහ ගිනි කෙළි ඔස්සේ සිනමාවේ ගිනිකෙළියක් කළේ දශක දෙකකට පමණ ඉහතදීය. ඊට පසු විවිධ තල ඔස්සේ තම සිනමා චාරිකාව ගෙන ගිය ඔහු පසුගියදා ප්‍රේක්ෂකයන්ට ලබා දුන්නේ ත්‍රාසය සහ භීතිය (Horror) පදනම් කරගත් භයංකාර චිත්‍රපටයකි. ඒ වර්ණ චිත්‍රපට පමණක් බිහිවන අවදියක කළු සුදු වර්ණයෙන් ඉදිරිපත් කර ඇති බන්ධනයයි. බන්ධනයේදී උදයාකන්ත ඔහුගේ අනෙකුත් චිත්‍රපටවල දක්නට ලැබෙන ප්‍රේක්ෂක ආකර්ශනය ළඟා කරවන මුල මැද අග සහිත කතා වස්තුවක්, ඕනැම ප්‍රේක්ෂකයකුට ගැලපෙන ඉදිරිපත් කිරීමත්, කම්මැලිකමින් තොරව නැරඹිය හැකි සිනමා කෘතියක් යන අංග ලක්ෂණ රැක ගනී. එහෙත් මෙහි ගීත නම් නැත. රන් කෙවිට, බහුභූතයෝ වැනි චිත්‍රපට ඔස්සේ ඔහු ඉදිරිපත් කළ පරිගණක සජීවිකරණයද නොඅඩුව බන්ධනයට භාවිත කර ඇත.
අතීතයේ මෙන්ම අදත් වැටමායිම, ඉඩම් බෙදා වෙන් කිරීම වැනි ගැටලු මුල් කරගෙන මිනිසුන් ගහමරා ගනිති. නඩුහබවලට යති. මේ ප්‍රශ්නය බහුලව පැන නගින්නේ සමීප ඥාතීන් අතරය. එහෙත් උපේක්ෂාවෙන් බලන විට පැහැදිලි වන්නේ මේවා ගහමරා ගැනීම්වලින් නඩු කීමෙන් තොරව විසඳාගත හැකි සරල දේවල් බවය. උදයකාන්ත බන්ධනය ඔස්සේ ස්පර්ශ කරන්නේ මිනිස් සිත ගිලගත් ඉඩම් තණ්හාවයි. තම බලවත්භාවය පෙන්වීමට යටි සිතේ කැකෑරෙන මානව දුර්වලතාවයයි.
කතාව ඇරඹෙන්නේ වර්ෂ 1932 මහඉරිකන්තිය ගමේ සිදුවීමකිනි. ගැමියෙකුට පාන්දර මහසොහොත් අවතාරය දර්ශනය වේ. නාහෙන් කටින් සෙම දමමින් රෝගීවන ඔහු සුවපත් කරන්නේ මැණික්හාමි (සිරිල් වික්‍රමගේ) යකැදුරාය. ඔහුට තෝත්තරවලට පුතා වන අාරියපාලගේ (ප්‍රියංකර රත්නායක) සහාය ද ලැබේ. වෙදකමට ගුරුකමට පළාතේ කීර්තියක් දිනූ මැණික්හාමිට තම බාල සොයුරා වන ඩිංගිරාළගෙන් (විල්මන් සිරිමාන්න) තර්ජන එල්ල වේ. නොබෙදු ඉඩමට ඩිංගිරාළ බලහත්කාරයෙන් වැටක් ගසයි. එතැනදී ඇවිලෙන රණ්ඩුව පවුල් දෙක අතර ජන්මාන්තර වෛරයක් දක්වා දික් ගැසෙයි. මැණික්හාමිගේ පුතා ආරියපාල සහ බාප්පාගේ පුතා විමලසිරි (රවින්ද්‍ර යසස්) අතර නිතර ගැටුම් හට ගනී. මේ ගැටලුවට විසඳුම් ලෙස ඉදිරිපත් වන්නේද ප්‍රශ්නය තවත් ඔඩුදුවන පිළියම්ය. ඒවා එකල සමාජයේ මෙන්ම මෙකල සමාජයේද විවිධ වේශයෙන් අපට දකින්නට ලැබේ.
ඔය කරදරයෙන් මිදෙන්න හොඳ ගුරුකමක් කරමු යැයි මැණික්හාමි තම පුතා සමඟ එකඟතාවයකට එයි. තුන් කුළුඳුල් තරුණියකගේ මළ සිරුරක් ගොඩගෙන ජීවම් කරමින් පිල්ලියක් යවන ඔවුහු ඩිංගිරාළ මරා දමති. ඒත් කරදර නිමා වන්නේ නැත. ඩිංගිරාළගේ බාලපුතා වන ජයසෝම (හේමාල්)ගේ කුඩා දියණිය සුමනාට (සනෝලි සතරසිංහ) භූත බන්ධනයක් කරන්නේ ඉන්පසුවය. ඊට පසු ඇය රුදුරු චරිතයක් බවට පත්වේ. අවසානයේ ඇයගේ භූත බන්ධනයට විසඳුම ලැබෙන්නේ භික්ෂුන් වහන්සේ නමක් විසින් ලබාදෙන සුරයකින් සහ පිරිත් පැන්වලිනි.
අවතාර, හොල්මං, ගුරුකම් ආදී මිත්‍යා මත මුල්බැසගත් සමාජයක කතා පුවතක් වර්තමානයට ගෙන ඒමේදී උදයකාන්ත එම සිද්ධිවල භයංකාරත්වය පුන පුනා ඉදිරිපත් කර ඇත්තේ ප්‍රේක්ෂකයන් දිනාගැනීමට බව පෙනේ. මෙම පිල්ලි සහ අවතාරවල ගත යුත්තක් නැත යන පණිවුඩයද ලබාදීඹට ඔහු උත්සුක වූවා නම් (උපහාසාත්මකව හෝ) සිනමා කෘතිය තවදුරටත් ඉහළ තලයකට එසවෙනු ඇත.
ඩ්‍රැකියුලා ඇතුළු බොහෝ බටහිර භයංකාර වර්ගයේ චිත්‍රපටවලද යක්ෂයා හෝ භූතයා මෙල්ල වන්නේ ආගමේ බලයෙනි. ඩ්‍රැකියුලා චිත්‍රපටවල නම් කුරැසය පෙන්වූ සැණින් ඩ්‍රැකියුලා පරාජය වේ. බන්ධනයේ ඒ තැන පිරිත් පැන් හා භික්ෂුන් වහන්සේ ලබාදුන් සුරයට හිමි වී ඇත.

භයංකාර කතා පුවත කළු සුදු පැහැයෙන් මවන අතරම රූපය හා ශබ්දය ද එක සේ උපයෝගී කර ගැනේ. විශේෂයෙන් කනත්තේ දී පිල්ලිය මවන අවස්ථාව කදිමට රූපණය කරන අතර සජීවිකරණය හා රූප රචනයට අමතරව ශබ්ද ප්‍රයෝගද එම අවස්ථාව තීව්‍ර කරයි. සංකේත භාවිතයෙන් චිත්‍රපටයේ අවස්ථා ඉස්මතු කර දැක්වීමට අධ්‍යක්ෂවරයා උත්සාහ කරයි. ඩිංගිරාළගේ මළ ගෙදර රණ්ඩුව අවස්ථාවේ බිම වැටෙන කොතලය නංවන හඬ, සුමනා මව සමඟ දර කඩන අවස්ථාවේ දකින පේරකොළයා වැනි සතුන් එයට උදාහරණ සපයයි. රූප රචනය චිත්‍රපටයේ ජීව ගුණය ඉහළ නැංවීමට බොහෝ දුරට උපකාරී වන අතර කේ.ඩී. දයානන්දගේ කැමරාකරණය එයට බලපා තිබේ. සංස්කරණය ද කුතුහලය රඳවාගැනීමට උපකාරී වේ.
චිත්‍රපටයේ කැපී පෙනෙන රංගනයක යෙදෙන්නේ සුමනා ලෙස රඟපාන සහේලි සතරසිංහයි. කැමරාවට ආධුනික වුවත් ඇයගේ රංගනය තුළින් වෘත්තීය නිළියකගේ ස්වරූපයක් දැකගත හැකිය. සාමාන්‍ය ජීවිතයේදී හැසිරෙන අන්දම සහ බන්ධනයට ලක්වූ පසු චරිතය වෙනස්වන අන්දම කදිමට නිරූපණය වේ. මැණික්හාමි ලෙස සිරිල් වික්‍රමගේ දක්ෂ ලෙස චරිතයට පිවිසුණද එය තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවස්ථාව තිබුණු බව අපගේ හැඟීමයි. විල්මන් සිරිමාන්න, ප්‍රියංකර රත්නායක, රවීන්ද්‍ර යසස් ද තම චරිතවලට සාධාරණය ඉටු කරයි. හේමාල් රණසිංහගේ චරිතය නම් ප්‍රේක්ෂකයාගේ මනසේ රැඳෙන්නේ නැත. ඔහු මහසොහොන් අවතාරය සමඟ කරන සටන විහිළුවක් මෙනි.
කලා අධ්‍යක්ෂණයේදී තවදුරටත් සැලකිලිමත් වීමට තිබූ බවද පෙනේ. සියදෝරිස් කඩේදී කියවන්නේ රිවිරුස පත්‍රයයි. ඒ බව කැමරාවෙන් පැහැදිලිව පෙන්වයි. රිවිරැස 1930 දශකයේ තිබූ පුවත්පතක් නොවේ. එමෙන්ම යාපනේ බේකරිය කතා තිබෙන්නේ සිමෙන්ති බ්ලොක්ගල් වලිනි. බ්ලොක්ගල් භාවිතයට ආවේ මෑත දශක කිහිපයකට පෙරදීය.
කෙසේ වුවත් ඇද වැටෙමින් පවතින සිනමා කර්මාන්තයට ප්‍රේක්ෂක ආකර්ශනය ළඟාකර ගැනීමට උදයකාන්ත දරන තැන ප්‍රශංසනීයයි. ඒත් අප නම් තවමත් කැමති ඔහුගේ ගිනි අවි සහ ගිනිකෙළිවලටය.
කුසුම්සිරි