
ජාතික වෙසක් මංගල්‍යය නිමිත්තක් කරගනිමින් මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වූ එක්සත් ජාතීන්ගේ වෙසක් දින ලෝක බෞද්ධ සමුළුවේදී ශ්‍රී ලාංකික හා ලෝකවාසී බෞද්ධයින් හට වැදගත් වන යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කරන්නට යෙදුණි. මෙම යෝජනා අතරින්ද ප්‍රථම යෝජනාව වූයේ බෞද්ධ ජනතාව සඳහා අන්තර්ජාතික වශයෙන් වැදගත්වන බැංකුවක් ස්ථාපිත කිරීමයි. මෙම බැංකුව ශ්‍රී ලංකාවේ පිහිටුවීම සම්බන්ධයෙන්ද සමුළුවේ අවධානය කමිටුවට ඉදිරිපත් කරන ලද්දේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතායි. සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව නඟාසිටුවීමේ බැංකුව වශයෙන් විශාල මෙහෙවරක් මේ හරහා ලබාගැනීමට අපේක්ෂා කෙරේ.
ලෝක බෞද්ධ බැංකුවක් යන්න අපට නුහුරු කාරණයක් වුවද මීට වසර කිහිපයකට ඉහතදී එනම් හිටපු ජනාධිපතිවරයාගේ කාලයේදී බෞද්ධ සංවර්ධන බැංකුව නම් බැංකුවක් ස්ථාපිත කරන්නට කටයුතු සූදානම් කළ ආකාරය අපට මතකය. සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කිරීම, ජාත්‍යන්තර වශයෙන් ව්‍යාපාර අවස්ථාවන්ට ඇති ප්‍රවේශය වැඩි දියුණු කිරීම, විවිධ මූල්‍ය දුෂ්කරතාවල පත්ව ඇති බෞද්ධ ව්‍යාපාරයන්ට අතදීම ඇතුළු තවත් කරුණු කිහිපයකට බෞද්ධ ආර්ථික මූලධර්මවලට අනුකූලව පහසුකම් සැලසීම මෙලෙස බැංකුවක් පිහිටුවීමේ අරමුණ විය. එම වැඩපිළිවෙළ අතරමඟදී නැවතුණු අතර මෙවර යෝජනා වී ඇත්තේ අන්තර් ජාතික මට්ටමේ බෞද්ධ බැංකුවකි. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම ලෙහෙසි පහසු නොවන අතර ඒ සඳහා එක් හේතුවක් වන්නේ ඒ සඳහා විශාල ධනස්කන්ධයක් අවශ්‍ය වීමයි. අනෙක් කාරණාව නම් බෞද්ධ ප්‍රජාව අරමුණු කරගනිමින් බැංකුවක් ආරම්භ කළද එය පවත්වාගෙන යාමේදී මතුවිය හැකි ගැටලුය. බැංකු මුළුමනින්ම වාණිජ පරමාර්ථ අරමුණු කරගනිමින් පවත්වාගෙන යන ආයතන බැවින් මෙවැනි බැංකුවක් ආරම්භ කළද එහි පැවැත්ම කෙලෙස තීරණය වන්නේ දැයි මෙහිදී විශේෂයෙන්ම අවධානය කළ යුත්තකි. ක්ෂේත්‍රයේ ඉහළම වැජඹෙන ව්‍යාපාරික ලෝකයේ දැවැන්තයකුගෙන් අපි අදහස් විමසන්නට කටයුතු කළෙමු.
කොමර්ෂල් බැංකුවේ හිටපු සභාපති හා 2008 වසරේ ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති මහේන්ද්‍ර අමරසූරිය මහතා ඒ අනුව දේශයට කරුණු ඉදිරිපත් කළේ මෙලෙසය.
ඇත්තටම මේ වගේ දැවැන්ත වැඩසටහනක් ගැන අදහසක් ඉදිරිපත් කරන්නට කලින් ඒ සම්බන්ධයෙන් හොඳ දැනුම්වත් බවක් අවශ්‍ය වෙනවා. මෙම වැඩසටහනේ පරමාර්ථය මොකක්ද, ප්‍රතිපත්තිය මොකක්ද, මොනවගේ ඉලක්කයක්ද තියෙන්නේ කියන හැම දෙයක් සම්බන්ධයෙන්ම අවබෝධයක් ලබාගත යුතු වෙනවා. ඒ නිසා එකපාරටම මගේ මතය ඉදිරිපත් කරන්න අමාරුයි.
නමුත් සාමාන්‍ය ආකාරයට කියනවානම් මේ වගේ බැංකුවක් ආරම්භ කරන්න පුළුවන්ද කියන එක ගැන මම දන්නෙ නෑ. ලංකාව වගේ කුඩා රටකට මෙවැනි බැංකුවක් ආරම්භ කරන්නට මුදල් විශාල ප්‍රමාණයක් යොදවන්න වෙනවා. නමුත් ලංකාවේ ආර්ථික ස්වභාවයත් එක්ක ඒ තරම් මුදලක් යොදවන්න පුළුවන්ද කියන ගැටලුවක් තියෙනවා. මේ වගේ දෙයක් ආරම්භ කරන්න තායිලන්තය, බුරුමය වැනි රටවල සහයත් අවශ්‍යය වෙයි. මොකද ඒ රටවල් වල මුදල් තියෙනවානෙ. චීනය වගේ රටවලත් ගොඩක් බෞද්ධයෝ ඉන්නවා. කොහොම වුණත් අදහස් ඉදිරිපත් කරන්න කෙනෙකුට හැකියාව තියෙනවා. එහෙත් එය ක්‍රියාත්මක කරනවානම් ඒ පිළිබඳව හොඳ විග්‍රහයක් කරලා තමයි එවැනි දෙයක් ආරම්භ කළ යුතු වන්නේ.
අපේ රටේ බෞද්ධයන් හට එක අතකට මෙය හොඳ වැඩපිළිවෙළක් වෙන්න පුළුවන්. මොකද අපේ ලංකාවෙ ජනගහනයෙන් සියයට 40ක් පමණම ලබන්නේ ඩොලර් 2ක් වැනි අඩු ආදායමක්. ඒ කියන්නේ මිලියන 22ක් විතර ඉන්නවා නම් මිලියන 8-9ත් විතරම ඉන්නේ අඩු ආදායම් ලාභින්. ඒ අතරිනුත් වැඩියෙන්ම ඉන්නේ බෞද්ධයෝ කියලා අපි දන්නවා. ඒ අයට විශේෂයෙන්ම උදව් කරන්න පුළුවන් බැංකුවක් තියෙනවා නම් හොඳයි. සාමාන්‍යයෙන් බැංකුවකින් නිකම් උදව් කරන්නේ නැහැනෙ. ඒ සඳහා යම් වත්කමක් පෙන්වන්න වෙනවා. ඒ නිසා සමහර අය බැංකුවලට යන්න බයයි. නමුත් මේ වගේ බැංකු හරහා අඩු ණය මුදල් ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරනවා නම් ඒක හොඳයි.
ක්‍රිස්තියානි රටවලත් ඒ අයගේ ජනතාව ට උදව් දෙන්න බැංකු තියෙනවා. නමුත් බෞද්ධ බැංකු ගැනනම් මට ඒ තරම් වැටහීමක් නෑ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මතයක් ඉදිරිපත් කරන්න මම කැමති නැහැ. නමුත් මේ බෞද්ධ බැංකුව හරහා දුප්පත් ජනතාවට උදව් කරන්නට හැකියාවක් තියෙනවා නම් ඒක හොඳ දෙයක්. විශේෂයෙන්ම ඇඳුම් මැසීම, එළවළු වගා කිරීම වැනි කුඩා ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ තිබෙන ව්‍යාපාර තවදුරටත් ව්‍යාප්ත කර ගැනීමට රුපියල් 10,000, 20,000 සිට 100000 පමණ දක්වා ණය ලබාදීමේ හැකියාව මේ හරහා ඇතිවෙන්න පුළුවන්. ඉතින් මේ බෞද්ධ බැංකුව ආරම්භ කිරීමට පෙර ඒ සඳහා විශාල මුදලක් එකතු කරගත යුතු වෙනවා. මෙවැනි බැංකු හරහා විශාල ණය මුදල් ලබාදීම අපහසුය කියලා තමයි මගේ හැඟීම වන්නේ.
ආගම් මූලික කරගනිමින් සිදුකෙරෙන බොහෝ කටයුතුවලදි යම් යම් ගැටලු මතුවීම බොහෝ රටවල සාමාන්‍ය තත්ත්වයකි. අපේ රටේද එවැනිම තත්ත්වයක් පවතින අතර බෞද්ධ ප්‍රජාව සඳහා පමණක්ම මෙලෙස බැංකුවක් ආරම්භ කිරීම ඇතැම් අයගේ චෝදනාවන්ටද ලක්විය හැකි කරැණක් වන්නටද පුළුවන. ඒ සම්බන්ධයෙන්ද අපි මහේන්ද්‍ර අමරසූරිය මහතාගෙන් අදහස් විමසුවෙමු.
මේ කාරණයේදී යම් යම් මතභේද එන්න පුළුවන්. නමුත් ඉස්ලාමික් බැංකු කියලා බැංකු ක්‍රමයක් තියෙනවා මුස්ලිම් ජනතාව වෙනුවෙන්. ඒ වගේම කතෝලික පුද්ගලයන්හටත් ඒ ඒ රටවල බැංකු පහසුකම් සලසලා තියෙනවා. මේ ඉස්ලාමික් බැංකු ක්‍රමයේදී ජනතාවගෙන් පොලිය අයකරගන්නේ නැති ඔවුන්ටම විශේෂිත වූ ක්‍රමවේදයකට තමයි පවත්වාගන යන්නේ. ඉතින් ඉස්ලාමික් බැංකු තියෙනවානම්, යුදෙව් අයට බැංකු තියෙනවානම් බෞද්ධ බැංකු තිබුණා කියලා ප්‍රශ්නයක් නැහැනෙ. ලංකාවේ සියයට 80ක් විතරම ඉන්නේ බෞද්ධ ජනතාව. ඒක නිසා මම හිතන්නේ නෑ ලංකාවෙන් මේ සඳහා විරුද්ධත්වයක් පළවෙයි කියලා. අනෙක් රටවල තත්ත්වය කොහොමවෙයිද කියලා අපිට කියන්න බෑ. තායිලන්තය කියන්නේ ලොකු බෞද්ධ රටක්. ලංකාවට වඩා දියුණු රටක්. බුරුමය බෞද්ධ රටක්. චීනයේත් බෞද්ධ ප්‍රජාව සිටියත් එහෙ වැඩිපුරම ඉන්නේ මහායාන බෞද්ධයෝ. නමුත් ඔවුනුත් බොහෝ විට උදව් කරයි. තවත් බෞද්ධ රටවල් කිහිපයක්ම තියෙනවා. මේ සෑම රටකම ලෝක බෞද්ධ බැංකුවක් ස්ථාපිත කිරීමේ අදහසට එකඟ වුණොත් මේ වැඩපිළිවෙළ සඳහා උදව් කරයි. එහෙම රටවල උදව් නැතිව නම් මෙවැනි බැංකුවක් ක්‍රියාත්මක කරන්න අමාරුයි. මේ යෝජනාව රටට අවශ්‍යම එක්ක දැයි මට කියන්න බෑ. නමුත් ඒ සඳහා විරුද්ධත්වයක් ප්‍රකාශ කරන්නත් බෑ.
ජාත්‍යන්තර බැංකුවක් පිහිටුවීමේදී ඊට අදාළ සෑම රටකම නීති රීති පිළිපැදිය යුතු වෙයි. එමෙන්ම ඒ සඳහා විශාල මුදල් සම්භාරයක්ද අවශ්‍ය වේ. මේ ආකාරයට ලෝක බෞද්ධ බැංකුවක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත්තේ ප්‍රථම වතාවටය. සැබැවින් එහි හොඳ හෝ නරක ප්‍රතිඵල ගැන කතාකිරීමට තවම කල් වැඩිය. කෙසේ වෙතත් මෙවැනි බැංකු ක්‍රමයක් හරහා හෝ පීඩාවට පත්ව ඇති යම් ජනකොටසකම යම් සහනයක් ලබාදීමට හැකියාව ඇත්නම් එය ඉදිරියේදී ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා හේතුවනු ඇත.
හේමමාලා කුමාරි රාජකරුණා