
අන් සතු දේ පැහැර ගැනීම, සොරකම් කිරීම පාපකර්මයකි. දඬුවම් ලැබිය හැකි වරදකි. නමුත් සොරකම් මේ සමාජයේ බහුල වශයෙන් සිදුවේ. මංකොල්ලකෑම්, බිය වද්දා තර්ජනය කර කඩා වඩා ගැනීම් වැනි විවිධ ආකාරවලට මෙම හොරකම් සිදුවේ. ඒ අතර ගැට කැපීම හෙවත් පික් පොකට් ගැසීමද නිරතුරු කතා වෙන හොරකමකි.
මේ ගෙන්දගම් පොළොවක තනිව සිටියදී මෙවන් එක් පොකැට් ගැසීමකට ගොදුරු වන පුද්ගලයකුගේ තත්ත්වය කෙබඳුද? මේ ලිපිය කියවන ඔබත් මෙවැනි අවස්ථාවකට මුහුණ දී තිබෙනු විය හැකිය. එය නිසැකවම අසීරු අවස්ථාවකි. නමුත් මහ මඟට බසින පොදු ප්‍රවාහන සේවා පහසුකම් සොයන කවුරුත් තම තමන්ගේ පොකට් පරෙස්සම් කරගැනීමට පරිස්සම් වීම අවශ්‍යය. එපමණක් නොව මොබයිල් ෆෝන්, වටිනා පෑන් සහ වටිනා කණ්නාඩි කොපුද මේ ගැට කපන්නන්ගේ තියුණු ඇසට පහසුවෙන් ගොදුරු වන බව සෑම කෙනකුම දැනසිටීම අවශ්‍යය.
පික් පොකට් ගැසීම තරම් කෙනකු මහමඟදි අසරණ කරන වෙනත් දෙයක් නැතැයි කීම වැරැදි නැත. ගැට කැපීමට පුරුදු පුහුණු වූ පිරිස් අපට මහමඟදී මුහුණට මුහුණ මුණගැසෙන අවස්ථා තිබේ. එහෙත් එවැනි හොරුන් මහමඟදී හරියටම දැකගන්නට හැකිවන්නේ කවදා හෝ තැනකදී පිට් පොකැට් ගැසීමට ගොස් අතටම මාට්ටු වන අවස්ථාවකදීය.
මෙම ගැට කපන්නෝ පිරිමි පමණක් නොවෙති. ගැට කපන්නියෝද සිටිති. මොවුන් දුම්රියේ බස්රියේ ගමන් ගන්නා විට හෝ මහා මාර්ග ජනාකීර්ණ වන උත්සව සමයන්හිදී බහුලව ක්‍රියාකාරී වනු දැකිය හැක. බස් රියක හෝ දුම්රියකදී තෙරපි තෙරපී යන මගීන් අතරේ මෙම පික් පොකැට් ගැසීම සිදුවිය හැක. ප්‍රධාන නගර සහ අගනුවර ආශ්‍රිතව ඇති නගරවල මේ අවස්ථා බහුලව සිදුවිය හැක. ගුණසිංහපුර බස් නැවතුම්පොළ, නුගේගොඩ, බොරැල්ල, ගම්පහ, රාගම වැනි ස්ථාන වල මෙම පොකැට්කරුවන්ගේ රාජධානි ලෙස හැඳින්විය හැකි බව කියති. පිටකොටුව, මරදාන, ගම්පහ, නුවර වැනි දුම්රිය නැවතුම් ස්ථානද අධි අවදානම් කලාප වශයෙන් හැඳින්වෙයි. මෙහිදී ඔවුන් සිටින වග සිතා වැඩි අවධානයකින් කටයුතු කිරීම අවශ්‍යය.
කොළඹ පික්පොකට්කරුවන් වැඩිපුර ගැවසෙන ප්‍රධාන මූලස්ථානයක් බව කියන පිටකොටුවේ ගුණසිංහපුර බස් නැවතුම්පොළේ හෝරා කිහිපයක් අපි ගත කළෙමු. නමුත් කිසිම හෝඩුවාවක් ලබාගත නොහැකි විය. එතැන සිටි වේලා සටහන්කරුවන්ගෙන් ත්‍රීරෝද රථ රියැදුරන්ගෙන් පික්පොකට්කාරයන් ගැන විමසුවද ඔවුන් පැවසුවේ ඒ ගැන කිසිවක් නොදන්නා බවය. තොරතුරු ඔවුන් දැන සිටියද ඒවා පැවැසීම මඟහැර ඔවුන් වෙනතක් බලාගන්නේ අනතුරුදායක වටපිටාව ගැන ඔවුන්ට හොඳ වැටහීමක් තිබෙන නිසා විය හැකිය. නමුත් එතැන සිටි නම සඳහන් කිරීමට අකැමැති පුද්ගලයන් කීපදෙනකු පැවැසුවේ ගැට කැපීම මහා දහවලේ හෝ රාත්රියේදී කියා වෙනසක් නොමැතිව සිදුවන බවය. පික් පොකට් ගැසීම් කොතරම් එතැන සිදු වුවද ඒ මොහොතේ ඒ ගැන මගියාට නොදැනේ. ඔහු ඒ බව දැනගන්නේ මුදල් පසුම්බිය තුළින් මුදලක් ලබාගැනීමට යන විටදීය. තමන්ට නොදැනී තමන්ගේ සාක්කුව කිසිවකු විසින් සුද්ද කර ඇති බව දැනෙන විට පික්පොකට්කාරයා එතැන මඟ හැර බොහෝ දුරක් ගොස් අවසානය.
කෙසේ වුවද මෙම ගැට කැපීම සිදු කරන පිරිස් නිරතුරැවම පසුවන්නේ සූදානම් ශරීරයෙනි. ඔවුන් ඇතැම් විට ඉතා වැදගත් ආකාරයට සාමාන්‍ය ජනතාව අතර හොඳට හැද පැළැඳ සිටීම නිසා හඳුනාගැනීම අපහසුය. ඔවුහු වෘත්තීමය ගැටකපන්නෝ වෙති. තවත් පිරිසක් මත්ද්‍රව්‍ය මිලදී ගැනීමට ඇති අවශ්‍යතාව නිසා එතරම් පූර්ව සූදානමක් නැතිවම පික් පොකට් ගසති. ඔවුන් එකවරම කඩා පැන පසුම්බිය උදුරාගෙන දිව යති. සමහරවිට මාල කඩන්නේද මොවුන්ය. ඔවුන් එසේ කළ ද පිටකොටුව ඇතුළු ප්‍රධාන නගරවල නම් පික්පොකට්කරුවන් ක්රියාත්මකවන්නේ බොහෝ දුරට සංවිධානාත්මකවය.
ඔවුන් ඊට යොදාගන්නා ක්‍රම කිහිපයක්ම ඇත. බස් රථයක හෝ දුම්රියක අධික තෙරපීමකදී ක්ෂණිකවම මුදල් පසුම්බියත් ඉතා වේගයෙන් සාක්කුවෙන් ඇදීම එක් ආකාරයකි. මෙහිදී එවැනි තදබදයක් ඇති කිරීමට සහාය දක්වන කීප දෙනෙක්ද සිටිති. පොකට් එකේ ඇති මුදල් ඔවුහු පසුව බෙදා ගනිති.
අනෙක් ක්‍රමය වන්නේ කාන්තා බෑග් තුළ බහා ඇති මුදල් පසුම්බි ලබාගැනීමයි. එහිදී බෑගය ඉතා තියුණු බ්ලේඩ් තලයක් හෝ එවැනි ආයුධයක් මාර්ගයෙන් යටින් කපා මුදල් පසුම්බිය ලබාගන්නා අවස්ථා තීබේ. මේ ආකාරයට බ්ලේඩ් තලයකින් කලිසම් පිටුපස සාක්කුව කපා පර්ස් පැහැර ගන්නා පිරිස්ද වෙති. තවද ජනාකීර්ණ පරිසරයක එකවරම මුදල් පසුම්බි කඩාගෙන දුවන සිද්ධිද ඇත. මෙවැනි අවස්ථා බොහෝවිට සිදුවන්නේ අප කලින් පැවැසූ කුඩුකාරයන් අතින් බව පෙනීගොස් තිබේ.
ගුණසිංහපුර පැත්තේ ඇවිදගිය අපි පසුව පිටකොටුව පොලීසියේ පොලිස් ස්ථානාධිපති සුමිත් ගුණරත්න මහතා හමු වී ඔහුගෙන් මේ පිළිබඳව තොරතුරු විමසුවෙමු. එහිදී අපරාධ අංශයේ පොලිස් පරික්ෂක සූරිය කුමාර මහතා වෙතට අප යොමු කරන ලද අතර ඔහු පවසා සිටියේ මෙම ක්‍රමවලට අමතරව දැන් ඉතා රූමත් කාන්තාවන්ද මෙම ගැට කැපීම සිදු කරන කල්ලිවලට එක්වී සිටින බවය. ඔවුහු ආකර්ෂණීය ලෙස හැඳ පැළැඳ පිරිමින් අසල නිතර ගැවසෙමින් ඔවුන්ගේ සිරුරුවලට බරවෙමින් ගැට කැපීම සිදු කරති. බස් රියේදී හෝ දුම්රියේදී විවිධ රැවටීම් ක්‍රම මගින් පිරිමින්ට හෝ කාන්තාවන්ට හිතවත් වී ඔවුන් ළඟම රැඳී සිටිමින් ඔහුගේ හෝ ඇයගේ විශ්වාසය දිනා ගෙන පොකට්වලට තට්ටු කිරීමට ඔවුන් දක්වන්නේ විශාල දස්කමකි. මෙම පික් පොකැට් ගැසීම් හා වෙනත් වටිනා උපකරණ අහිමිවීම් පිළිබඳව පැමිණිලි ලැබෙන්නේ ඉදහිට බවත් පොලීසිය කියයි. නමුත් කිසිම සාක්ෂියක් හෝ හෝඩුවාවක් නොමැති වීම නිසා හොරුන් අල්ලා ගැනීම අපහසු බව සඳහන් කළ පොලිස් පරීක්ෂක සූරියකුමාර මහතා ප්‍රදේශයේ පික් පොකට් ගසන බවට සැකකරන පුද්ගලයන්ගේ ඡායාරූප පොලීසියේ ඇති බවත් පික්පොකට් ගැසීමට ගොදුරු වූවන්ට ඒවා පෙන්වා දී හඳුනාගත හැකි පුද්ගලයකු සිටියහොත් ඒ හරහා පොලිසිය ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේය.
උත්සව සමවල හා විවිධ කටයුතු සඳහා මුදල් රැගෙන නගරයට යන විට තමන් සිහි බුද්ධියෙන් වටපිටාව ගැන විමසිලිමත්ව කටයුතු කිරීම හැර පික්පොකට් ගැසීම වළක්වාගත හැකි වෙනත් උපාය මාර්ගයක් නොමැති බවද තවදුරටත් පැවසූ පොලිස් පරීක්ෂකවරයා මෙම ගැට කැපීමේ අවදානම් ඇති කාලවකවානු වලදී සිවිල් ඇඳුමින් පොලිස් නිලධාරින් එකී ප්‍රදේශවලට අනුයුක්ත කරන බවද පැවසීය.
නුවන් හෙට්ටිආරච්චි