2017 මැයි 13 වන සෙනසුරාදා

දරුවකු උස්සා කප්පම් ඉල්ලූ මාමා

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 65

මොහොමඩ් සරූක් රිස්වාන් මොහොමඩ් විවාහ වී වසර හතරාමාරකට පසුව ඔහුගේ බිරියට පුතෙක් උපන්නේය. දරුවාට ඔහු රිෆාස් මොහොමඩ් සල්මාන් යැයි නම තැබීය. පුංචි රිෆාස් හැමෝගෙම ආදරය දිනාගත් හුරතල් දරු පැටියෙක් වූවේය. රිස්වාන් ව්‍යාපාරිකයෙකි. ඔහු සතුව යකඩ බඩු සහිත හාඩ්වෙයාර් එකක් තිබුණේය. ගම්පොල ප්‍රදේශයේ ගඟවට පාරේ රිස්වාන්ගේ නිවස පිහිටා තිබුණේය. නිවසේ සිට හාඩ්වෙයාර් වෙළෙඳසැලට ඇත්තේ මීටර් පනහක් පමණ දුරකි.

මොහොමඩ් අසාම්ගේ ගම බදුල්ලේය. මාසයට වරක් හෝ දෙවරක් පමණ අසාම් බදුල්ලේ සිට ගම්පොලට ආවේය. ඇතැම් කාලවලදී මාස දෙකකට වරක් හෝ අසාම් ගම්පොලට ආවේය. රස්වාන්ගේ මාමාගේ පුතා වූ අසාම් සමඟ පුංචි පුතා කුළුපඟ වූවේය. රිස්වාන්ගේ පවුලේ හැම ප්‍රශ්නයකටම පාහේ ඔහුගේ මාමා උදව් උපකාර කළේය. තම මවගේ සහෝදරයා ලෙසින් රිස්වාන්ගේ මාමා උදවු උපකාර අනුශාසනා කළේය. මේ නිසාම අසාම්ට රිස්වාන්ගේ පවුලේ අය බොහෝ ආදරය කළහ.

මැයි මස තුන්වැනි දින දහවල් 2.20ට පමණ රිස්වාන්ගේ බිරිය වෙළෙඳසැලේ සේවකයන්ට කෑම යැවීමට යොදාගනු ලැබුවේ අසාම්ය. පුංචි රිෆාස් තම මාමාගේ ඇඟේ එල්ලුණේය. තමන්වත් රැගෙන යන ලෙස ඇවිටිලි කළේය. ඒ වෙද්දී රිස්වාන් දවල් කෑමට ගෙදරට පැමිණ තිබුණේ නැත. අසාම් දරුවාද කෑම ටිකද ගෙන වෙළෙඳසලට යාමට නිවසින් පිටත් විය. රිස්වාන්ගේ බිරියද මේ පිළිබඳව වැඩිදුර නොහිතන්නට ඇත්තේ දහවල් කෑමට රිස්වාන් නිවසට එද්දී දරුවාද රැගෙන ඒවියැයි සිතූ නිසාය.

“දවල් 2.45 – 2.50 අතරේදීත් ගෙදරින් කඩේ සේවකයන් දෙදෙනාට කෑම ලැබුණේ නෑ... මේ නිසා මම ගෙදරට කෝල් කළා. ඒ වෙලාවේදී අසාම් එක්ක පුතත් ආවා... එයාලා කෑම ගෙනාව බවයි ගෙදරින් කිව්වේ. ඒ වෙලෙත් ම ආපු  වෙලාව අහන්නෙ නැතුව ෆොන් එක තිබ්බා” 

රිස්වාන් ඒ අත්දැකීම “දේශයට” විස්තර කළේය.

තවත් විනාඩි පහළොවක් ගතවිය. නමුත් අසාම්, රිෆාස් හාඩ්වෙයාරයට ගොඩ වැදුණේ නැත. බිරියගෙන් ඔවුන් ආ වෙලාව දැනගත් විට රිස්වාන්ට පුදුම හිතුණි. ඔහු වහා අසාම්ගේ ජංගම දුරකථනයට ඇමතුමක් ගත්තේය. දුරකථනය දෙවරක්ම නාදවිය. නමුත් සම්බන්ධ නොවීය. අවසානයේදී දුරකථනය විසන්ධි විය. රිස්වාන් අවට ගෙවල්වලින් මේ පිළිබඳව කතාකොට තොරතුරු විමසීය. නමුත් ඒ එකදු නිවසකටවත් අසාම් හෝ පුංචි රිෆාස් ගොස් තිබුණේ නැත.
“3.30 පමණ අසාම්ගේ දුරකථනයෙන් මට කෝල් එකක් ආවා. හැබැයි කතා කළේ අසාම් නෙවේ. ඒ ඇමතුමෙන් කිව්වේ ළමයි දෙන්නා මගේ යටතේ ඉන්නවා තව පැය දෙකකින් කෝල් එකක් ගන්නම් කියලා ෆෝන් එක තිබ්බා”.
රිස්වාන් නැවතත් විස්තර කළේය.

රිස්වාන් වහාම මේ සම්බන්ධව ගම්පොල පොලීසියට දැනුම් දුන්නේය. 3.45ට පමණ නැවතත් ඇමතුමක් ආවේය. රිස්වාන් වහාම ඇමතුම පොලිස් නිලධාරියකුට දුන්නේය. ළමයි දෙන්නව පොලීසියට භාර දෙන්න කියද්දීමත් නැවත ඇමතුම විසන්ධි කළේය. 

අසාම්ගේ දුරකථනයෙන් කෙටි පණිවිඩයක් ආවේය. “හවස 6.00ට කෝල් එකක් ගන්න” එහි සඳහන් කර තිබුණේය. නමුත් දුරකතනය දිගටම විසන්ධිවී පැවතුණේය. පුංචි පුතා නොලැබ රිස්වාන් රාත්‍රි 9.00ට පමණ නිවසට ආවේය. හැමෝම හැඬූ කඳුළිනි. දරු දුක ඉහවහා ගිය බිරිය හඬා වැළපුණාය. අවට අසල්වාසිහු ඔවුන්ට තනි රැක්කාහ. රෑ 12.15ට පමණ අසාම්ගේ දුකරථනයෙන් කප්පම් මුදලක් ඉල්ලා ඇමතුමක් ලැබුණි. මුදල ලක්ෂ 30කි. සාමාන්‍ය ජීවිතයක් ගත කරන රිස්වාන්ට මේ මුදල ඉතා විශාල මුදලකි. ඔහු ලක්ෂ දහයක් දෙන්නට පොරොන්දු වුවත් සමඟ ඇමතුම් විසන්ධි විය. පාන්දර වනතුරු කිසිදු තොරතුරක් ඔවුන්ට නොලැබුණි. දිගින් දිගටම දුකරථනය විසන්ධිව පැවතුණි. “දරුවන් දෙදෙනාගේ ජීවිතයට හානියක් කරන්න එපා” යැයි රිස්වාන් පිංසෙන්ඩු කර යැවූ එකදු කෙටි පණිවිඩයක්වත් අසාම්ගේ දුරකථනයට යැවුණේ නැත.

පසුදා උදේ 7.30 රිස්වාන් යැවූ කෙටි පණිවිඩ අසාම්ගේ දුරකථනයට ගිය බවට දුරකථනයෙන් සටහන් විය. නැවතත් දිගින් දිගටම රිස්වාන්ට අසාම්ගේ දුරකථනයෙන් ඇමතුම් ගලා ආවේය. ඒ ගනුදෙනුව ගැන පමණි.

“තුන්වැනි දුරකථන ඇමතුමේදී මම එයාලට කිව්වා ළමයි දෙන්නගෙන් කාත් එක්ක හරි මට කතා කරන්න ඕන කියලා. ඒ නිසා ආ‍යෙත් කෝල් එකක් අරගෙන අසාම් මට කතාකළා. කිව්වේ මේ ගනුදෙනුව කරන්න එන්නේ මමයි කියලා. ඒ වෙලාවෙත් එයාවත් මගේ දරුවා ගැන කිව්වේ නෑ. මම ඇහුවා ඔය දෙන්නා කෑවද කියලා”.

රිස්වාන් ඒ මොහොතේ මේ ගනුදෙනුවේ ලොකුම මොළකාරයා අසාම් බව කිසිසේත් නොසිතන්නට ඇත. 
ඒ සෑම දුරකථන ඇමතුමකදීම පොලිස් නිලධාරීහු රිස්වාන් වටා සිටියහ. අවසානයේදී ලක්ෂ දහයකට කප්පම් ගනුදෙනුව තීන්දු විය.

නමුත් අවසන් තීන්දුවට පසුව ඔහුගෙන් ඇමැතුම් නොලැබුණේය. හවස 5.59ට නැවත රිස්වාන්ට කෙටි පණිවිඩයක් ලැබුණේය. ලක්ෂ පහළොවක් ගෙන කොළඹට පාන්දර තුනට ආයුතු බවත් එක ළමයෙක් ඒ අතරේ ගෙදරට එවන බවත් එහි සඳහන්ව තිබුණි.

ඔවුන් දිගින් දිගටම රිස්වාන්ට තර්ජනය කර කියා සිටියේ මේ පිළිබඳව පොලිසිය මැදිහත් කර ගතහොත් දරුවන්ගේ ජීවිත අනතුරේ බවයි. ඒ අතුරතුර අසාම් රිස්වාන්ට ඇමතුමක් ගෙන තිබිණි.

“අපේ මස්සිනා (අසාම්) මට කෝල් කරලා කිව්වා මාව මඟට ගෙනත් දැම්මා කියලා. ඒ සමඟම ගම්පොල ක්‍රිශන්තම් සර්ට මම කෝල් කරලා කිව්වා. ඒ වෙද්දිත් අසාම්ව ගන්න පොලීසියෙන් පිරිසක් ඒ අවට හිටියා. මමම ගිහින් අසාම්ව ඒ තැනින් ගත්තේ. ඒ වෙද්දීත් අසාම් නොදැන හිටියට පොලඑීසියේ බොහෝ පිරිසක් අප වටා හිටියා”.

ඒ අත්දැකීම රිස්වාන්ට තවමත් එදා මෙන්ම මතකය.

අසාම් රිස්වාන් කොළඹට එක්කගෙන ආවේය. මරදාන ටවුමට උදේ හතරට ගියත් අසාම් රිස්වාන්ව කොළඹ නගරයේ රස්තියාදු කළේය. මරදානේදී අසාම් හා රිස්වාන් අතර පොඩි මත ගැටුමක් ඇතිවිය. ඒ රිස්වාන්ට අසාම්ව සැක සිතීම නිසාය. නමුත් තම පුංචි පුතුගේ ජීවිතය කියා රිස්වාන් ඉවසුවේය. නැවතත් පාමංකඩ හන්දියට ඔවුහු පැමිණියහ. පාන්දර පහට රිස්වාන් පාමංකඩ පල්ලියට ගොස් තම ආගම සිහි කළේය. නැවතත් පාමංකඩ හන්දියේදී ඇතිවූ බහින්බස් වීමකදී රිස්වාන්ගේ අත අසාම්ට එසවිණි. රිස්වාන්ගේ රතු කට්ට පැන්නේය. කොළඹ අවට සිටි රිස්වාන්ගේ යහළුවන් බොහෝ පිරිසක් තම වහනවලින් රිස්වාන්ගේ ත්‍රීරෝද රථය ලුහුබඳිමින් සිටියහ. මේ කිසිවක් අසාම් දැන සිටියේ නැත. අසාම් රිස්වාන්ව නොමඟ යැවීමට බොහෝ උත්සාහයක් ගත්තේය. 

නමුත් ඒ සියල්ල අසාර්ථක විය. ඔවුහු පාමංකඩින් මාලිගාවත්තට ගියහ. ඔවුන් ගිය ත්‍රිවිලරය තවත් බොහෝ ප්‍රදේශවල ගෙන ගියේය. කීප තැනක නතර කර පැය ගාණක් බලා සිටියේය. රිස්වාන් පොලීසියෙන් ඉල්ලීමක් කළේය.
“මම පොලීසියේ මහත්වරුන්ට කිව්වේ අසාම්ට ගහන්න එපා සර්... මගේ පණ තියෙන්නේ මෙයාගෙ අතේ” කියලයි. 
අවසානයේදී අසාම් කල්මුනේ ප්‍රදේශයට රිස්වාන්ව රැගෙන ගියේය. ඒ වෙද්දී පොලිසියට අසාම්ව හසුවී හමාරය. ඊට ප්‍රධාන හේතුව වූයේ අසාම්ගේ අසාර්ථක රඟපෑමයි. ගම්පොල ප්‍රදේශයේ පිරිස අසාම් දැන සිටි නිසා කොළඹ ප්‍රදේශයෙන් උදවුවට ආ පොලිස් නිලධාරින් හා මිතුරෝ නැවතත් රිස්වාන්ලගේ වාහනය ලුහුබැඳීම ඇරැඹූහ. වෑන් රථයක අසාම් හා රිස්වාන් පමණක් කල්මුනේ ප්‍රදේශයට ගියහ.

කරදියාර හන්දියෙන් වෑන් රථය නතර කරගත් අසාම් රිස්වාන් සමඟ ත්‍රිරෝද රථයකට ගොඩ වුණේය. පාළු තැනක ත්‍රිරෝද රථය නතර විය. අසාම් රථයෙන් බැස නිවසකට ඇතුළු විය. විනාඩි කීපයකින් අසාම් දරුවා කරපින්නා රථයට ආවේය. 

“වටපිට බලන්න එපා ඉක්මනට හරවලා යමු”

අසාම්ගෙන් රියැදුරාට අණක් ලැබුණි.

ටික දුරක් පැමිණ වාහනය නතර කළ අසාම් මුදල් බෑගයද රැගෙන ඉක්මනට ගෙයකට ගොස් නැවත රථයට ගොඩවිය. ටික දුරක් එද්දී පොලිසිය රථය වටකර අසාම් ඇතුළු නිවසේ වෙසෙන්නෙක්ද කොටුකර ගත්හ. නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙක්ද අත්අඩංගුවට පත්වූහ. එහි තිබූ එළු පට්ටිය ඇතුළේ තිබී ලක්ෂ දහයක මුදල් බෑගයක්ද පොලීසියේ බාරයට ගනු ලැබීය. 

අවසානයේ පුංචි රිෆාස් පැහැරගෙන ලක්ෂ දහයක කප්පම් මුදලක් ලබාගන්නට වෑයම් කළ සංවිධානාත්මක කණ්ඩායමේ ප්‍රධාන මොළකරැවා වූ අසාම් ඇතුළු සෙසු පිරිස කොටු කරගන්නට පොලීසිය සමත් විය. ඊට රිස්වාන්ගේ ඥාති මිත්‍රාදීන්ගේ උදව්ද ලැබී තිබිණි.

විශ්වාස කළ හැක්කේ කවුද? කවර පදනමක් මතද? අප අපෙන්ම ප්‍රශ්න කළ යුත්තේ එයයි.

♦ දිශානි ජයමාලි කරුණාරත්න