2017 මැයි 13 වන සෙනසුරාදා

ලංකාවේ ජොබ් කරන පිටරටවල ශ්‍රමිකයෝ

 2017 මැයි 13 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 109

නිසි වීසා බලපත්‍රයක් සහිතව මෙන්ම රහිතව ද මේ වනවිට 
ශ්‍රී ලංකාව තුළ සේවයේ නියුතු විදෙස් ශ්‍රමිකයන්ගේ ප්‍රමාණය ලක්ෂ දෙකකට අධික බව මහා නගර සැලසුම් සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පසුගියදා ප්‍රකාශ කර තිබිණි. එහිදී අමාත්‍යවරයා විසින් අවධාරණය කරනු ලැබුණේ, මෙසේ ලංකාවට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන් වෙනුවෙන් විධිමත් ආගමන විගමන නීති පිහිටුවීමට ශ්‍රී ලංකාව ඉක්මණින් කටයුතු කළ යුතු බව ය. 

අමාත්‍යවරයා පෙන්වා දෙන ආකාරයට මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන්ගෙන් බහුතරය ඉන්දියාව, බංග්ලාදේශය හා මාලදිවයින යන රටවලට අයත් වේ. විශේෂයෙන්ම පිරිසිදු කිරීමේ කාර්යයන්, අස්වනු නෙළිමේ කටයුතු වැනි සුළු සේවක රැකියා සඳහා මෙරට තුළ පවතින අධික සේවක හිඟතාව මෙසේ අසල්වැසි රටවලින් රැකියා සොයා එන පිරිස් වර්ධනය වීමට හේතු වී තිබේ.  
මේ අතර ශ්‍රී ලංකාවේ සේවය කිරීමට අදාළව වීසා අයැදුම්පත් රැසක් ආයෝජන මණ්ඩලය වෙත ලැබී ඇතැයිද සඳහන් වේ. ඉකුත් වසරේදී එසේ ලැබුණු වීසා අයැදුම්පත් සංඛ්‍යාව 8000කට අධික ය. එයින් 5786කටම වීසා නිකුත්ව ඇති බවත් වාර්තා වේ. 

මේ අතර කොළඹ ඉදිකිරීම් වැඩපොළක් වෙත ගිය අප හට එහි සේවය කරන තමිල්නාඩු සේවකයන් 250ක පමණ පිරිසක් දැකගත හැකිවිය. කෙසේ නමුත් ඔවුන් එහි රැකියාවේ නිරතව සිටියේ  දුෂ්කරතා රැසක් මැද ය. ඔවුන්ගේ සේවා වැඩ මුරය පවා පැය 12ක් විය. 

අපි උදේ 7.30 සිට රාත්‍රී 7.30 දක්වා එකදිගට වැඩ කරනවා. අපි නැවතිලා ඉන්න තැන්වලට යාමට ප්‍රවාහන පහසුකම් අපට සපයලා තියෙනවා. එක් ඉන්දියානු සේවකයෙක් පැවසීය. 
මෙම ඉන්දියානු සේවකයන් හට මාසිකව රුපියල් 60,000ක පමණ වේතනයක් හිමිවේ. නවාතැන් පහසුකම් ඔවුන්ට සැපයෙන අතර ආහාර වියදම් තමන් විසින් පිරිමසා ගත යුතුය. සතියේ දින හතම සේවයේ නියුතු තමන්ට නිවාඩු හිමි නැති බවද එක් ඉන්දියානු කම්කරුවෙක් කීය. 

දවස පුරා සේවය කිරීමෙන් පසුව අපි ආහාරපාන පිළියෙල කරගැනීමත් සිදුකරනවා. ලංකාව තුළ ආහාර මිල අධිකයි. ඒ නිසා අපේ ආහාර අපිටම උයාගන්න සිද්ධ වෙලා තියෙනවා. තවත් අයෙක් කීය. 
මෙම ඉන්දියානු කම්කරුවන් පෙන්වාදෙන්නේ, ඉන්දියාව තුළදී තමන්ට උපයා ගත හැකි ප්‍රමාණයට වඩා මුදලක් ශ්‍රී ලංකාවේදී උපයාගත හැකි බව ය. නමුත් ඒ වෙනුවෙන් කිසිදු විවේකයක් විනෝදයක් තමන්ගේ ජීවිතයට එක්කරගැනීමේ අවස්ථාව ඔවුන්ට ඇහිරී යයි. 

මේ අතර කොළඹ ගාලුමුවදොර සහ ඩුප්ලිකේෂන් පාරේ ඉදිකිරීම් බිම්වල සේවයේ නියුතු චීන කම්කරුවන්ද ප්‍රකාශ කරසිටියේ, රැකියාවේ යෙදීමේදී බොහෝ දුෂ්කරතාවන්ට මුහුණ දීමට තමන්ට සිදුව ඇති බවය. විශේෂයෙන්ම මේ වනවිට පවතින අධික උෂ්ණත්වය නිසා දැඩි අපහසුතාවයකින් තමන් කටයුතු කරන බව ඔවුහු පෙන්වා දුන්හ‍. 

“ශ්‍රී ලංකාව කියන්නේ ඇත්තටම ගොඩක් ලස්සන රටක්. හැබැයි ඉදිකිරීම් බිම්වල සේවය කරන්නන්ට නම් බොහොම දුෂ්කරයි” හූ යුන්ග් නම් චීන ජාතික කම්කරුවා පැවසීය. 
උදෑසන 8.30ට සේවය අරඹන ඔවුහු නැවත සවස 6.30 වනතුරු එකදිගට සේවයේ යෙදෙති. උෂ්ණත්වය නිසා මුහුණ දෙන ගැටලුවට අමතරව ශ්‍රී ලාංකිකයන් හා සන්නිවේදනයේ ගැටලුවක් ද තමන්ට ඇති බව හූ යුන්ග් පැවසීය. 
මේ අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයෙන් අප කළ විමසුමකදී පෙන්වා දුන්නේ ආයෝජන මණ්ඩල ව්‍යාපෘති වෙනුවෙන් මේ දක්වා වීසා නිකුත් කරඇති විදෙස් ශ්‍රමිකයන් 5786ක් අතුරින් ඉන්දියානුවන් 3118ක් හා චීන ජාතිකයින් 1150ක් වන බවය. එසේම 2016 වසරේදී එම ව්‍යාපෘති සඳහා විදෙස් ශ්‍රමික අවශ්‍යතාවය 8063ක් වූ බවද ආයෝජන මණ්ඩල වාර්තා පෙන්වා දෙයි. එසේ වීසා නිකුත් කරඇත්තේ, අදාළ රැකියා අවස්ථා සඳහා සේවක ඌනතාවයක් හා ඉහළ රැකියා ප්‍රමාණයක් පැවතීම යන සාධක සැළකිල්ලට ගනිමිනි. තවද අදාළ ඉදිකිරීම් බිම්වල සම්පූර්ණ සේවක සංඛ්‍යාවෙන් විදෙස් ශ්‍රමිකයන් විය යුත්තේ අඩකට වඩා අඩු සංඛ්‍යාවක් යන්නද ආයෝජන මණ්ඩලය මෙසේ වීසා නිකුත් කිරීමේදී අවධානය යොමු කර තිබේ. 

සන්ඩේ ටයිම්ස් ලිපියක් ඇසුරෙන්
 රජිත ජාගොඩ ආරච්චි