නිවන් මඟ සොයන සෙනසුන

කොළඹ නගරයෙන් ගිනිගහන අව් රශ්මිය නිසා හෙම්බත්ව සිටි අපි පිළියන්දල හොරණ පාර දිගේ ගමන් ඇරඹුවේ මේ තාවකාලික නැවතුම්පොළක් සේ පැමිණි ජීවිත ගමනේ සැබෑ අරුත පැයකට හෝ වටහාගන්න අභිලාෂයෙනි. ගෝනපල ගම්මානය පසු කර ටික දුරක් ගිය අපට පොකුණුවිට හන්දිය මුණගැසුණි. එතැනින් බටුවිට පාර දිගේ යද්දී සැබැවින්ම ගම්මානයක ඒ සොඳුරු දසුන අපේ නෙත ගැටුණි. කුඹුරු යායවල්, ගස්වල එල්ලුන රිලවුන්, ගස් යට ඉදී කුණු වූ වරකා මදුළුවල සුවඳ අපව ගම්මානයකට රැගෙන ගියහ.
ජනශූන්‍ය පරිසරයක පිහිටි දෙකඳුවල භාවනා මධ්‍යස්ථානය කරා අපි අවසානයේ ළඟා වූයෙමු.
කඳුවැටිය උඩ ඉදිවූ දෙකඳුවල භාවනා මධ්‍යස්ථානය ආරක්ෂා කරන්නට විශාල ගේට්ටු තිබුණේ නැත. ගම්වැසියන්ගේ දුක්ඛ දෝමනස්සයන්ට දෙකඳුවල ආරාමයේ පිවිසුම සැමදාමත් විවෘතව පැවතිණි.
ගස්කොළන්වලින් වටවූ සුන්දර පරිසරයක ඉදිවූ දෙකඳුවල භික්ෂුණී ආරාමයේ මේ වන විට භික්ෂුණීන් වහන්සේලා රැසක් වැඩ වාසය කෙරේ.
නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ දෙකඳුවල භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය කිරම විමලජෝති ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි මාඉන්නළුවේ ධර්මශාන්ති භික්ෂුණීන් වහන්සේගේ මඟපෙන්වීම යටතේ භික්ෂූන් වහන්සේලා මෙම ආරාමයේ වැඩ වාසය කෙරේ. වසර දහයකට අධික කාලයක පටන් මෙම ආරාමය පැවතේ. ආරාමයේදී භාවනාවට සුවිශේෂී තැනක් හිමිවේ.
ආරාමයේදී තාවකාලික පැවිදි කිරීම සිදුකරනු ලැබේ. දින දාහතරක (සති 2ක) කාලයක් ආරාමයේ නේවාසිකව නතර කර ධර්මය ඉගැන්වීම සහ ජීවිතයේ යථාර්ථය පැහැදිලි කරලීම ආරාමයෙන් සිදුකෙරේ. එක් මාසයකදී වැඩිහිටි ගිහියන්ද, තවත් මසකදී තරුණ ගිහියන්ද මෙම නේවාසික පැවිදි ජීවිතයට ඇතුළත් වේ. ජීවිතේ අසරණ වුණා, ජීවිතේ මංමුලා වුණා, තනිවුණායැයි හැඟී අසරණ වුණ ගිහියන් මෙන්ම ජීවිතයම එපා වී සියදිවි හානිකරගන්නට උත්සාහ දැරූ තරුණ හිත්ද බුදු දහමේ අනුශාසනා බලමහිමයෙන් දෙකඳුවල ආරාමයෙන් පිහිට වූ තරුණ හිත්ද අද අනන්තවත් සිටී.
මත් රකුසා නිසා පිරිහුණ, මත්පැන් හේතුවෙන් බිරියට, දරුවන්ට පීඩාකාරී ලෙස ජීවිත ගත කළ ඇතැම් පියවරුන් තාවකාලික පැවිදි ජීවිතය නිසා අද පින්වන්ත දරුවන්ගේ වාසනාවන්ත පියවරු වී සිටී.
මේ වනවිටද කාන්තාවන් සඳහා භාවනා පුහුණුව දෙකඳුවල භාවනා මධ්‍යස්ථානයේ සිදුකෙරේ. කාන්තාවන්ටද තාවකාලික මහණකම් පිරීම් ආරාමය තුළදී සිදුකෙරේ. මේ සෑම මහණදම් පිරීමකටම ඇගේ නිවෙසේ ඥාතීන්ගේ අවසරයක් ලැබීම ඉතා වැදගත් වේ. බුද්ධ නීතියට අනුව අවසරයකින් තොරව බුද්ධ සාසනයට ඇතුළත් කරගැනීම නොකළ යුතුයි. ඒ සඳහා මව, පියා හෝ භාරකරුගේ අවසරයක් අවශ්‍ය වේ.
කාන්තාවන් යනු ෙබාහෝවිට ඉතා සංවේදී චරිතයකි. දරාගැනීමේ ශක්තිය වැඩිවූවත් ඇඬීමෙන් වැළපීමෙන් බොහෝ කාන්තාවන් තම දුක තුනී කරගනී. නමුත් පිරිමින් බොෙහා්විට ප්‍රශ්නවලට මුහුණ දෙනුයේ වෙනස් ආකාරයෙනි. ඇතැමුන් මත්පැන්, මත්ද්‍රව්‍යයන්ට ගොදුරු වේ. ඇතැමුන් මිතුරු ඇසුරද, සමාජ ශාලා යෑම් වැනි අයහපත් මාර්ගයන් මේ සඳහා තෝරාගනී. නමුත් මේ සෑම මාර්ගයක්ම සෑම අැබ්බැහිවීමක්ම තාවකාලික මාර්ග වන අතර ජීවිෙත් ගැටලුවලට ස්ථිර සාර විසඳුම් වන්ෙන් නැත.
දෙකඳුවල ආරාමයේදී කාන්තාවන්ගේ මනස හැකි තරම් නිරවුල් කර අැයට එදිනෙදා කටයුතු සාර්ථකව නිරවුල් මනසකින් කරගැනීමට උදව් කෙරේ. තාවකාලික පැවිදි දිවියට ඇතුළත් වෙද්දී ඒ සඳහා වෙනම සිවුරක් ඇත. හිස මුඩු කෙරේ.
ඊට අමතරව ජීවිතාන්තය දක්වා මෙහෙණින් වහන්සේලා ලෙස සිටින ලෙස සිටින අභිප්‍රායෙන් සිවුරු දැරූ මෙහෙණින් වහන්සේලා හතළිස් පහක් පමණ මේ වෙද්දී ආරාමයේ වැඩ වාසය කෙරේ. ගිහියකු ලෙසින් ආරාමයට පැමිණි තරුණියක් වසරක් පුරාවට ආරාමයේදී ඒ සඳහා කැපවී සිටීම ඉතා වැදගත් වේ. ඒ අතර කාලයේදී වැඩිහිටියන්ට ගරු කිරීම, සංඝයාට ගරු කිරීම, පිළිවෙළ, නියමිත වෙලාවට වැඩක් අවසන් කිරීම, වතාවත් වැනි හැම කටයුත්තක්ම පුහුණු කෙරේ. අවුරුද්දකට පසුව ඇගේ ගුරැ භික්ෂූණීන් වහන්සේට ඇයව සාසනයේ පැවිදි කරගැනීමට සුදුසුයැයි හැඟේනම් පමණක් ඇයව පැවිදි කරගන්නට තීරණය කෙරේ.

එයින් ඇය ගිහි ජීවිතය අතහැර අම්මා, තාත්තා හෝ භාරකරුවකුගේ අවසරයෙන් පැවිදි ජීවිතයට ඇතුළත් වේ. ඒ සඳහා විශාල කැපකිරීමක් කළ යුතු වේ. ආරාමයේ අද වෙද්දී වැඩ වාසය කරන භික්ෂුණීන් අතරින් තම පුතුන් දෙදෙනාත්, දියණියත් සාසනයට පූජාකොට මහණදම් පිරූ භික්ෂූණීන් වහන්සේ නමක් වැඩ වාසය කෙරේ. ගිහි ජීවිතේදී ඇය ගුරුවරියකි. වතුපිටිවල හිමිකාරියකි. නමුත් අද බුදුන්ගේ දහම අනුව ජීවිතේ ගෙන යන පැවිදි භික්ෂුණීන් වහන්සේ නමකි.
අද සිවුරු දරන ෙමහෙනියක වු අැය එකල ජීවිතේ සියලු සැප සම්පත් විඳි තරුණියකි. අම්මා, තාත්තා, අක්කලා දෙන්නා සහ අයියලා දෙන්නකුගෙන් සමන්විත පවුලේ බඩපිස්සි ඇයයි. උසස් අධ්‍යාපනයක් ලද ඇය ජීවිතේ එක් කාලයකදී ජීවිතයේ යථාර්ථය දුක් සහිත යැයි අවබෝධ කරගත්තීය. ගෙදරටත් හොරෙන් යෙහෙළියක මාර්ගයෙන් ඇය දෙකඳුවල ආරාමයට පැමිණියාය. භික්ෂුණී වහන්සේලාට ඇය සියලු ආවතේව කටයුතු කළාය. අක්කර ගණනක් විශාල ආරාම භූමිය නිතර නිතර අතුපතු ගෑවාය. එකල අද තරම් ආරාමය දියුණුව නොපැවැතිණි. වත්ත පුරා විදුලි ලාම්පු නොතිබුණි. රාත්‍රියට මුළු ආරාමයම අන්ධකාරයෙන් වැසී ගියේය. ඈතින් ඈත පිහිටා තියෙන භික්ෂුණීන් වහන්සේලාගේ පුංචි කුටිවල පුංචි එළිය ඈතට කළාමැදිරි එළියක් සේ දිස්විණි. සතා සිවුපාවුන් භූමිය පුරා සැරිසැරූහ. උරගයන් හිතේ හැටියට භූමිය පුරා එහා මෙහා ගියෝය. එහෙත් මේ කිසිදු සතකුගෙන්වත් භික්ෂුණී පරපුරට කිසිදු හානියක් නොවන්නේය. පින් ඇති මිනිසුන් අසල පින් ඇති සතුන්ද ගැවසේ. උන්ගෙන් කිසිදු හානියක් නැත.
තම දියණිය ආරාමයේ භික්ෂුණියක් වන්නට පෙරුම් පුරන බව ඇගේ මවට ආරංචි විය. ඇය වැළහින්නක සේ ආරාම භූමියේ හඬා වැළපුණාය. උස් මහත් වූ තම සොහොයුරා කීපවතාවක්ම මේ ආරාම භූමියේදී ක්ලාන්ත වී හඬා වැටුණ බව අද භික්ෂුණියක්ව සිටින මෙහෙණින් වහන්සේ ඒ අතීතය මතක් කරමින් කියා සිටියෝය. නිවෙසේ කිසිම වැඩක් පලක් නොකර කාගේත් හුරතලේට ආදරයට හැදුණු සොහොයුරිය භික්ෂුණී වහන්සේලාට උවටැන් කරද්දී සොහොයුරාට බලාගෙන සිටින්නට බැරි විය.
මෑණියනි, නංගිගෙන් වැඩගන්න එපා... අපි උදව්වට කෙනෙක් සල්ලි දීලා ආරාමයේ තියන්නම්..
ඔහු නායක භික්ෂුණී වහන්සේගෙන් අවසර පැතීය.
දැන් එතකොට පැවිදි වෙන්නේ නංගිද... ඒ වැඩට ඉන්න කෙනාද... ඔහුට නැවතත් ප්‍රශ්නයක් නැගිණි.
එදා බොහොම අමාරුවෙන් මවුපිය ආශිර්වාදයෙන් පැවිදි දිවියට ඇතුළත් වූ ඇය අද සාසනයේ දියුණුවට කටයුතු කරන භික්ෂුණීන් වහන්සේ නමකි. ඇගේ ගමනට දරු සෙනෙහස නිසාත්, සහෝදර පෙම නිසාත් මඟ හරස් කරන්නට කවුරු තැත් කළත් ඇය තම අරමුණ අත් නොහැරියාය. අද ඇය ජීවිතේ යථාර්ථය අවබෝධ කරගත් සංඝමිත්තාවකි.
දෙකඳුවල භික්ෂුණී මධ්‍යස්ථානයේ සමස්ත ලෙසින් වැඩවසන්නේ තරුණ භික්ෂුණීන් වහන්සේලාය. පවුල් ප්‍රශ්නවලට වඩා ජීවිතේ ගැන, මේ සංසාර දුක ගැන අවබෝධයක් ඇතිව මහණදම් පිරෑ භික්ෂුණීන් වහන්සේලා ආරාමයේ වැඩ වාසය කෙරේ. එමගින් යම් දිනෙක මේ සිවුරැ අතහැරීමේ වෑයමක් ඔවුන් තුළ නැත. මේ මුළු සාසනයට තම ජීවිතය ඔවුන් පූජා කරනුයේ මේ පවුකාර මිනිසුන්ගේ කුරිරැ සිත් එයින් මුදවා යහපතේ මාර්ගය පෙන්වා දීමටය.මෙහෙණින් වහන්සේලාගේ අදහස් හා ඒ වයස්වල තරැණ හිත්වල අදහස් අද අහසට පොළොව වගේය. ඒ තරමටම උන්වහන්සේලාගේ හිත් සන්සුන්ය. තැන්පත්ය. ලෞකික ආශාවන් නැත. චීවරය තුළම ගැබ් වී චීවරයටම හිත යොමුකොට ජීවිතයේ වටිනාම ජීවිතය මෙයයැයි අත්දැකීම් හා අත්විඳීම් හමුවේ ඔවුන් අද අවබෝධ කරගෙන සිටී.

තායිලන්තය, ඉන්දුනීසියාව, ඉන්දියාව වැනි රටවලද මේ වන විට ධර්මශාන්ති භික්ෂූනී වහන්සේගේ ගෝලයන් ජීවත් වේ. උන්වහන්සේලා ඒ රටවල ධර්ම චාරිකාවේ නිරත වන්නීය. විශේෂයෙන් තරුණ භික්ෂුණී වහන්සේලා රටවල් අතර ධර්ම චාරිකාවේ නිරත වන්නීය. මේ අනුව රටවල් අතර ධර්මය ව්‍යාප්ත කරලීමේ මහා භාරධූර්ය කටයුත්තක දෙකඳුවල භික්ෂුණී වහන්සේලා යොමු වී සිටී.
සෑම වෙසක් පොහෝ දිනකමත් දෙකඳුවල භික්ෂුණී ආශ්‍රමයේ වැඩසටහන් පැවැත්වේ. උපාසක උපාසිකාවන් හයසියයක් පමණ පිරිසක් එදිනට සිල් සමාදන් වේ. ඒ නිසා විශේෂ බණ වැඩසටහන් දවස මුළුල්ලේම පැවැත්වේ. කුඩා මෙහෙණින් වහන්සේලා කවි බණ දේශනා කිරීම, බණ දේශනා කිරීම මෙදිනට සිදුවේ. භික්ෂුණී වහන්සේලා ධර්මය දේශනා කිරීම සඳහා ආරාධනා අනුව නිවෙස්වලටද වඩී.
සෑම දිනකම උදේ පාන්දර 5.00ට ගන්ඨාරය වැදේ. පාන්දර පහට පළමුව සියලුම භික්ෂුණීන් වහන්සේලා අවදිව සිටීම ඉතා වැදගත් වේ. පාන්දර 5.30ට බුද්ධ වන්දනාව ආරම්භ කෙරේ. තමන්ගේ කුටියෙන් එළියට පැමිණි සැවොම පෙළට ගොස් බුද්ධ වන්දනාවේ නිරත වේ. බුද්ධ වන්දනාව 6.30ට පමණ අවසන් වේ. ඉන්පසු මුළු ආරාමයම භික්ෂුණීන් වහන්සේලා එක්ව අතුපතු ගා පිරිසුදු කරති. ඒ සඳහා සැවොම එක් වේ. 7.15ට නැවතත් ගන්ඨාරය ගැසේ. ඒ අනුව උදෑසන දාන ශාලාවට සැවොම පැමිණ දාන කටයුතුවල නිතර වේ.
පසුව නැවත තම තමන්ගේ කටයුතු සිදුකරගත හැක. භික්ෂුණීන් වහන්සේලා භාවනා කටයුතුවල නිරත වන්නේ මේ කාලයේදීය. සවස නැවතත් බුද්ධ වන්දනාව පවත්වන අතර ඒ කාලයේදී පිරිත් සූත්‍රය දීර්ඝව සජ්ජායනා කෙරේ. පුංචි මෙහෙණින් වහන්සේලාට පිරිවෙන් අධ්‍යාපනය ආරාමයේදීම පැවැත්වේ.
ජීවිතේ තරුණ බවට යම් ප්‍රශ්නයක් ඇතිවුණිනම් නිරපරාදේ ඔය ජීවිතය නාස්ති කරගන්න එපා. සියදිවි නැතිකරගන්නවත්, මත් රකුසාට බිලිවන්නවත් එපා. ඒ සඳහා සංඝයා වහන්සේ පිහිට පතන්න. සංසාරේ පුරුද්දකට මිනිස් ජීවිතයක් ලද ඔබ තාවකාලික සුව පතා සදාකාලික දුකකට ජීවිතය ගෙනයන්න එපා. මලක් ගෙන පන්සල් ගොස් හිස් අතින් ගෙදර එනවාට වඩා හිස් හිත රැගෙන ඒ දෙකඳුවල භික්ෂුණී ආශ්‍රමයට ගොස් භික්ෂුණී වහන්සේලාගේ ධර්මය අසා පින් රුස්කර ගෙදර එන්නට පින් සිතක් ඇති කරගන්න!
ඒ සසර පාරමිතාවන් පුරන මෙහෙණින් වහන්සේලා ඔබට දෙන පණිවිඩයයි.
(විශේෂ ස්තූතිය - ෙපාල්ගස්වත්ෙත් සුකේතා භික්ෂුණීන් වහන්සේට)
දිශානි ජයමාලි කරුණාරත්න
ඡායාරූ I සුමුදු හේවාපතිරණ
