2017 මැයි 06 වන සෙනසුරාදා

ලංකාවේ අවාසනාවන්තම අභයභූමිය

 2017 මැයි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1241

“බෙල්ලන්විල අත්තිඩිය අභය භූමිය - වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව යයි මුද්‍රිත අලුත්ම නාමපුවරු අවට සවිකර ඇත. වන සතුන්ට, ගහ කොළට හානී කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම, ආදී කටයුතු දඬුවම් ලැබිය යුතු වරදක් බවද එහිම සඳහන්ය. (මේ වැදි බණ කියන්නේ කාටදැයි ලිපිය කියවා අවසාන වනවිට ඔබට සිතෙනු ඇත.)

මෙම දැන්වීම් පුවරැ නරඹමින් බෙල්ලන්විල රජමහා විහාරය අසල සිට ඉදිරියට ගිය අපි අම්බලම හන්දියෙන් මාලනී බුලත්සිංහල මාවතට හැරුණෙමු. එය ඔස්සේ මඳ දුරක් ගමන් කරන විට හමුවන තුන්මං හන්දියෙන් දකුණට ඇති මාර්ගය ඇදී යන්නේ අභයභූමිය හරහා අත්තිඩිය දෙසටය. මාර්ගයේ වම්පස පිහිටි වනජීවී අඩවි ආරක්ෂක කාර්යාල භූමියේත් “බෙල්ලන්විල අත්තිඩිය අභය භූමියයයි සඳහන් විශාල දැන්වීම් පුවරුවකි. එයට නුදුරින් බෙල්ලන්විල ඇළ ගලායයි. මෙම ඇළ අභය භූමිය මැදින් ගලායන්නේ ජලාශ්‍රිත ශාක විශේෂ රැසකට වාස භූමියක් සපයමිනි. එහෙත් අද එය ජපන් ජබර පිරුණු තෙල් මිශ්‍ර කළු පැහැ ජලයෙන් යුත් ඇළක් වී හමාරය. 1980 – 90 දශකවල සොඳුරැ තෙත් බිමක්ව පැවති මේ පෙදෙසට අද අත්ව ඇත්තේ එවැනි කනගාටුදායක ඉරණමකි.

“වසර ගණනාවක සිටම මෙහි ජෛව විවිධත්වයට හානිකර ක්‍රියා බාධාවකින් තොරව සිදුවෙනවා. මම වසර කිහිපයකට පෙර කළ අධ්‍යනයකට අනුව සංක්‍රමණික පක්ෂි විශේෂවලින් 44ක් අඩුවෙලා. ආවේණික පක්ෂීන්ගෙන් 50ක් වඳවෙලා ගිහින්. විනාශයට එරෙහිව කිසිම පාලකයෙක් පියවර අරන් නැහැ. අපට එලෙස පැවසුවේ පරිසරවේදී සජීව චාමිකරය.
බොල්ගොඩ ඇළ මාර්ගය අයිනෙන් බොරළු පාරකි. එය තෙත්බිම හරහා ඇදී යයි. එහි ගමන් කරන අපට දැකගත හැකි වූයේ තෙත්බිමේ ශාක ඉවත් කර තැනූ නිවාස සහ කසළ ගොඩවල්ය. ඇළ මාර්ගයට වම්පසින් පිහිටි ඉඩම්වලින් විශාල ප්‍රමාණයක් ගොඩකර ගොඩනැගිලි ඉදිකර ඇති අතර ඉතිරිව පවතින ස්වල්ප භූමියද විවිධ පුද්ගලයන් අත්පත් කරගනිමින් සිටින බව පෙනේ. මේ සියල්ල දෙස අසල පිහිටි වනජීවී අඩවි ආරක්ෂකයෝ නිහඬව බලාසිටිති. ඒ ඔවුන්ට මේ අකටයුතුකම් නැවැත්වීමට බලයක් නැති නිසා විය යුතුය.

ගොඩනැගිලි කඩා ඉවත්කරන කොන්ක්‍රීට් අපද්‍රව්‍ය, නිවාසවලින් බැහැර කරන කසළ පමණක් නොව විස සහිත ඉලෙක්ෙට්‍රානික අපද්‍රව්‍ය පවා අවට භූමියේ දමා ගොසිනි. මේ නිසා විශාල දුගදක් ප්‍රදේශයෙන් හමා එයි. මේ අප්‍රසන්න පරිසරයේ නිසල වටපිටාවක් ප්‍රියකරන පක්ෂීන් සිටින්නේ කෙසේද? අපට දැකගත හැකිවූයේ සුදුකොකා, මැටිකොකා, අළුකොකා, යන පක්ෂීන් කිහිපදෙනෙක් සහ නිල් කිතලෙක්, පැස්තුඩුවෙක් පමණි.

බෙල්ලන්විල අත්තිඩිය 1980 දශකය වනවිට සංක්‍රමණික පක්ෂීන්ගේ නවාතැන් පොළක් සහ සොඳුරු බිමක් වශයෙන් ප්‍රචලිත විය. 1980 දී නාගරික සංවර්ධන අධිකාරිය විසින් අධ්‍යාපනික සහ සංරක්ෂණ කලාපයක් ලෙස මෙම තෙත්බිම ප්‍රකාශයට පත් කෙරිණි. තෙත්බිම් රැපිළිබඳ ජාත්‍යන්තර රුම්සා ප්‍රඥප්තියට අනුව 1989 දී වැදගත් ආසියානු තෙත්බිමේ 947ක ලේඛනයක් පිළියෙල කෙරිණි. බෙල්ලන්විල අත්තිඩියද එයට එක්වීමට වාසනාවන්ත විය.

පක්ෂී ලෝලීන් බෙල්ලන්විලට පැමිණියේ කොළඹට ආසන්නම පක්ෂීන් නිරීක්ෂණය කළ හැකි වනගත පරිසරයක් මෙහි පැවති හෙයිනි. ඒ අතරම පක්ෂි දඩයම්කරුවන්ද හොර රහසේ ක්‍රියාත්මක වෙමින් සිටියහ. මේ නිසා පරිසර සංවිධාන සහ පරිසරවේදීහු වගුරුබිම සංරක්ෂණය කර නීතිමය ආරක්ෂාව ලබාදීමේ වැදගත්කම රජයට අවධාරණය කළහ. ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ කරුණු දැක්වූහ. එහි ප්‍රතිඵලයක් ලෙස 1990 ජූලි 25 දින අංක 620/9 දරන ගැසට් නිවේදනය මඟින් බෙල්ලන්විල අත්තිඩිය වගුරුබිමේ හෙක්ටයාර් 372ක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් අභය භූමියක් වශයෙන් ප්‍රකාශ කෙරිණි. ඒ අනුව මෙම තෙත්බිමට අවශ්‍ය පූර්ණ නීතිමය රැකවරණය ලැබුණි. එය කොළඹ දිස්ත්‍රික්කයේ රත්මලාන, දෙහිවල හා කැස්බෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත්ව පිහිටා තිබේ. බොල්ගොඩ ගංඟා නිම්නයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශයේ මෙම වගුරු බිම පැතිර ඇත. එය දිගින් කී.මී. 1-2ක් අතරද පළලින් කී.මී. 0.5ක් පමණද වන බිම් තීරැවකි. මිරිදිය පොකුණු, ඇළ මාර්ග, වගුරු බිම්, වර්ෂා කාලයට ජලය පිරෙන තණබිම්, ලඳු කැලෑ, කුඹුරු ඉඩම් ආදී පරිසර පද්ධති කිහිපයක්ම මෙහි දක්නට ලැබේ.

නීතිමය ආරක්ෂාව ලැබුණු පසු සිදුවන්නේ භූමිය ආරක්ෂා වීම වුවද අත්තිඩිය අභය භූමියට අත්වූයේ එයට ප්‍රතිවිරුද්ධ ඉරණමකි. එහි පරිසරයට සහ වන සතුන්ට දිනෙන් දින සිදුවන හානිය ඉහළ ගිය අතර දැන් එය උච්ච ස්ථානයට පැමිණ තිබේ. බොහෝ පක්ෂීන් මෙම වාසස්ථානය හැරගොස් ඇත්තේ එයට තම නිහඬ විරෝධය පළ කරමිනි. ශ්‍රී ලංකාවේ වඩාත්ම අවදානමට පත් අභය භූමිය වශයෙන් මෙය වාර්තා පොතට එක්ව ඇත.

1990 දශකයේ මුලදී කළ අධ්‍යයනවලට අනුව අත්තිඩිය අභය භූමියෙන් වාර්තා වූ පක්ෂි විශේෂ ගණන 168 කි. ගිරාමලිත්තා, හීන් කොට්ටෝරුවා සහ හිස දුඹුරු දෙමලිච්චා යන ආවේණික පක්ෂිහුද ඒ අතර සිටියහ. වර්ෂ 2000 වනවිට පක්ෂි විශේෂ සංඛ්‍යාව 88 දක්වා පහළ ගොස් තිබුණු බව සජීව චාමිකර කළ අධ්‍යයනයකින් හෙළි විය. ඒ වනවිට ආවේණික පක්ෂීන් අතරින් සිටියේ හීන් කොට්ටෝරුවා පමණි. නේවාසික පක්ෂීන්ද විශාල ප්‍රමාණයක් කාටත් හොර රහසේ ප්‍රදේශය හැරගොස් තිබුණි.

වර්ෂ 2010 දී කසුන් අමරසිංහ, දිනේෂ් ගබඩාගේ සහ එම්. බහීර් ඇතුළු       පර්යේෂකයන් කළ අධ්‍යයනයකින් හෙළිවූයේ පක්ෂි විශේෂ සංඛ්‍යාව 78 දක්වා අවරට ගොස් ඇති බවය. උරග විශේෂ 27ක්, උභයජීවී විශේෂ 11ක්, මිරිදිය මාළු විශේෂ 21ක් සහ ක්ෂීරපායී විශේෂ 14ක් මෙහි සිටින බවද එම අධ්‍යයනයෙන් හෙළි විය.

බෙල්ලන්විල අත්තිඩිය දුලබ පක්ෂීන්ගේ ගොදුරු බිමක් වශයෙන් පැවති තෙත් බිමකි. ටයිට්ලර්ගේ වැහිලිහිණියා ලංකාවෙන් ප්‍රථම වරට වාර්තා වූයේ මෙම අභය භූමියෙනි. 1989 දී පක්ෂීවේදී නීතිඥ ජගත් ගුණවර්ධන විසින් එම පක්ෂියා වාර්තා කරන ලදී. තවත් දුර්ලභ සංක්‍රමණික පක්ෂියකු වන හම්බු කුරුල්ලා ද 1991 දී වාර්තා කිරීමට ජගත් ගුණවර්ධන සමත් විය. අප රටේ ඉතා දුලබ සංක්‍රමණික පක්ෂියකු වන දම්සිලුටු දෑතුඩුවා ද මෙම අභය භූමියෙන් වාර්තා වේ. එයට අමතරව මෙහි බහුලව දිවිගෙවූ නිල්කිතලා, බළල් සේරා, වලිකුකුළා වැනි පක්ෂීන්ද අභයභූමි සීමාවේ දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.

බොල්ගොඩ ඇළ කාර්මික අපද්‍රව්‍යවලින් දූෂණය වී අවසානය. එය මත්ස්‍යයන්ට හා උභයජීවීන්ට මාරක අවදානමක් ගෙන දේ. අද වනවිට බොල්ගොඩ ඇළේ දිවිගෙවූ මත්ස්‍ය වි‍ශේෂ 44න් 89ක්ම වඳ වී ගොසිනි.
නාගරික පරිසරයේ අලංකාරයට මෙන්ම පාරිසරික සංචාරක කර්මාන්තයටද යොදාගත හැකි මේ සොඳුරු බිම්කඩ විනාශ වීමට ඉඩහැර බලධාරීන් නිදාසිටින්නේ ඇයිද යන්න අපට නම් පැනයකි.

අනවසර පදිංචිකරුවන් ඉවත් කර මායිම් කණු සිටුවා කසළ බැහැර කිරීම නැවැත්වීම අත්‍යවශය. එමෙන්ම බොල්ගොඩ ඇළට අපද්‍රව්‍ය සහිත ජලය එක්කිරීම නවතා ඇළේ ජපන් ජබර ඉවත් කළ යුතුය. වගුරුබිම ගොඩකිරීමට එරෙහිව පියවර ගත යුතුය. එහෙත් බලධාරීන් මේ සරල  පියවර‍ පවා නොගෙන අන්ධයන් සේ බලා සිටින්නේ අභය භූමිය සම්පූර්ණයෙන් විනාශ වූ පසු එහි තවත් නගරයක් ඉදිකිරීමටදැයි අපට සිතේ.

 කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ l සමන්ත ප්‍රදීප් විල්තෙර