
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ජනතාව පත්ව තිබෙන්නේ දැඩි පීඩාකාරී තත්ත්වයකටය. බහුතරයකගේ එදිනෙදා වැඩකටයුතු පවා මෙම හේතුව නිසා අඩාල වී ඇති අතර පසුගියදා පැවැති මැයි රැලියකදී පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වූයේද අධික තෙරපුම හා දැඩි උෂ්ණත්වයේ බලපෑම නිසයැයි කියැවේ. ලංකාවට ඉර මුදුන් වීමේ සංසිද්ධියත් සමඟ ඇතිවූ මෙම තත්ත්වය තවදුරටත් එලෙසම පවතින බවට පෙනෙන්නට තිබුණත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මැයි මාසය මැදදී වැසි ආරම්භවීමත් සමඟ මෙම තත්ත්වය පහව යනු ඇති බවයි.
කෙසේ වෙතත් අධික උෂ්ණත්වයේ බලපෑම රෝගී අවස්ථා බොහෝමයකටම මඟපාදන හෙයින් හැකිතාක් දුරට උෂ්ණත්ව පරිසරවලින් මිදීමට මාධ්‍ය හරහා නිරතුරුවම ජනතාව දැනුම්වත් කිරීම මේ වනවිටත් සිදුකෙරේ. විශේෂයෙන්ම පාසල් දරුවන් වැඩිපුරම එළිමහනට නිරාවරණය වන කොටසක් බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද තවදුරටත් පියවර ගැනීමට අධ්‍යාපන අංශයේ ප්‍රධානීන් පවා මේ වනවිටත් කටයුතු කරමින් සිටී.
සමේ රෝග ඇතුළුව රෝග ගණනාවක්ම අධික උෂ්ණත්වය හේතුවෙන් හටගත හැකි අතර උෂ්ණත්වය අධිකම වූ අවස්ථාවකදී මරණය පවා සිදුවිය හැකි බව මේ වනවිටත් ඔබ දන්නවා විය හැකිය. මෙම ලිපිය සැකසෙන්නේ අධික උෂ්ණත්වයේ බලපෑමෙන් ඇතිවිය හැකි රෝග හා එම රෝග අවස්ථාවන්ගේ ආරක්ෂා වීමට ගතහැකි පියවර සම්බන්ධවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය උදය රළපනාව මහතා සමඟ කළ සාකච්ඡාවක් ඇසුරිණි.
සාමාන්‍යයෙන් නිරෝගී පුද්ගලයකුගේ දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37කි. සාමාන්‍ය තත්ත්ව හා පරිසරයේ සිදුවන උෂ්ණත්ව වෙනසක් සමඟ මෙම අගය සෙල්සියස් අංශක එකකින් පමණ ඉහළ පහළ යෑමේ හැකියාව ඇත. නමුත් මෙම උෂ්ණත්වය අධිකව ඉහළ ගිය අවස්ථාවකදී ශරීරයේ උෂ්ණත්වය පාලනය කරන තර්මොස්ටැට් (thermostat) නම් ප්‍රදේශයට මෙම තත්ත්වය පාලනය කරගත නොහැකිවේ.
පරිසර උෂ්ණත්වය ඉහළ යාමට සාපේක්ෂව සාමාන්‍යයෙන් අපේ සිරුරේ උෂ්ණත්වය ඉහළ යාමත්ද සිදුවේ. එවැනි අවස්ථාවකදී ශරීර උෂ්ණත්වය පාලනය කරගැනීම සඳහා thermostat ප්‍රදේශයෙන් සිදුකරන්නේ රැධිරය සම වැනි ප්‍රදේශයකට යවා සමෙන් දහඩිය පිටකිරීමට සැලැස්වීමයි. මෙම ක්‍රියාවලියේදී සිරුරේ උෂ්ණත්වය සාමාන්‍ය තත්ත්වය පත්කර ගැනීමේ හැකියාව ලැබෙන අතර අධික උෂ්ණත්වය පවතින විටදී මෙම ක්‍රියාවලිය සිදුකරගත නොහැකි වීමෙන් යම් යම් රෝග හටගැනීමේ හැකියාව ඇත.
ශරීර උෂ්ණත්වය ඉහළ යාම සාමාන්‍යයෙන් එක් එක් පුද්ගලයා අනුව වෙනස්වේ. ඒ අනුව බාහිර පරිසර උෂ්ණත්වය වෙනස් වීමට සාපේක්ෂව සිරුරේ පවතින උෂ්ණත්වය වෙනස් වීමත් ඒ ඒ පුද්ගලයාට අනුව වෙනස් විය හැකියි. විශේෂයෙන්ම වයස්ගත පුද්ගලයන් උෂ්ණත්වය වෙනස් වීම නිසා වැඩිපුරම රෝගී බවට පත්වන පිරිස අතරට එක්වෙන අතර හෘද රෝගීන්, අධික රුධිර පීඩනය සහිත රෝගීන්, ස්වසන පද්ධිතිය ආශ්‍රිත රෝග පවතින රෝගීන්, දියවැඩියා රෝගීන්, චර්ම රෝගීන් හා තරබාරු පුද්ගලයන්ද මේ කාණ්ඩය යටතට ඇතුළත් වෙති.
උෂ්ණත්වය ඉහළ යාම නිසා ඇතිවන රෝග අවස්ථාවන්වල මූලික ලක්ෂණ වන්නේ නොරිස්සුම් ස්වභාවය, නිදාගැනීමට ඇති අපහසුතාවය හා මානසික ඒකාග්‍රතාවය නොමැතිවීම ආදියයි. අධික ලෙස ශරීර උෂ්ණත්වය ඉහළ ගිය විට මෙම රෝගී ලක්ෂණ තවදුරටත් වර්ධනය වීම සිදුවිය හැකි අතර හීට් ඉසීමා (කකුලේ වළලුකර ආශ්‍රිත ප්‍රදේශවල ඉදිමීම), හීට් රෑෂ් (සමේ රතුපැහැති බිබිලි ඇතිවීම), හීට් ක්‍රෑම්ස් (කෙණ්ඩ පෙරළීම), හීට් එක්ස්හෝෂන් (දැඩි විඩාව) හා හිට් ස්ට්‍රෝත් අධික උණුසුම නිසා ඇතිවන රෝගයන්ය.
හීට් ඉසීමා අවස්ථාවේදී පාදවල වළලුකර ආශ්‍රිත ප්‍රදේශයේ ඉදිමීම් සිදුවන අතර රස්නය ප්‍රදේශයේ මිදුණු විට එම තත්ත්වය මඟහැරේ. හිට් රෑෂ් අවස්ථාවේදී ද ඇතිවන කුෂ්ඨ කැසීම් ස්වභාවයකින් යුක්තවන අතර අවශ්‍යනම් වෛද්‍යවරයකුගෙන් ඒ සඳහා සුදුසු ආලේපනයක් භාවිත කළ හැකිය. සාමාන්‍යයෙන් උෂ්ණත්වය අධික වීමත් සමඟ සිරුරේත් විශාල වශයෙන් දහඩිය පිටවන අතර ඒ සමඟ සිරුරට අවශ්‍ය කරන සෝඩියම් වැනි ලවණද පිටවීම කෙණ්ඩ පෙරළීමට බලපාන හේතුවේ.
හීට් එක්ස්හෝෂන් අවස්ථාවේදී දහඩිය වැඩිපුර පිටවීම, කැරකිල්ල, උණ ගතිය, වමනය, ඇස් පෙනීම දුර්වලවීම, හෘද ස්පන්දනය වේගවත් වීම ආදිය සිදුවිය හැකි අතර එය හොඳ තත්ත්වයක් නොවේ. මෙවැනි රෝගියකු ඊළඟ අවස්ථාවේදී පත්වෙන්නේ උෂ්ණත්වය වැඩිවීම නිසා හටගන්නා සංකීර්ණතම රෝගී අවස්ථාව වන හීට් ස්ට්‍රෝක් තත්ත්වයටයි. මෙය ඉතා භයානක අවස්ථාවක් වන අතර මෙවැනි රෝගියකුගේ සිහිකල්පනාව අඩුවීමේ සිට මරණය පවා සිදුවිය හැකියි.
උෂ්ණත්වය නිසා සිහිමඳ ගතියට පත්වූවකු හට ක්ෂණික්ව ප්‍රතිකාර ලබාදිය යුතු අතර රෝහලකට ගෙනයන තුරු ප්‍රථමාධාර ලබාදීමද සිදුකළ යුතුය. මෙහිදී මුලින්ම කළයුත්තේ රෝගියා හැකිතරම් ඉක්මණින් සෙවන ඇති තැනකට ගෙනයාමයි. මෙහිදී රෝගියාගේ මුළු ශරීරයම සිසිල් කිරීම සඳහා ඔහුගේ ශරීරය ජලයෙන් තෙත් කිරීම සිදුකළ හැකියි. මෙහිදී හිස ප්‍රදේශයේද තෙත රෙදි කැබැල්ලක් භාවිත කරමින් තෙමිය යුතුය. රෝගියාගේ ඇගේ තිබෙන ඇඳුම් හැකිතාක් අඩුකර ඔහුට හොඳින් වාතාශ්‍රය ලබාදීමද සිදුකළ යුතුය. මෙහිදී වැඩිපුරම මතක තබාගත යුතු කරුණක් වන්නේ සිහිමද ගතියෙන් යුතු පුද්ගලයකු නම් කිසිවිටෙකත් පාන වර්ග ලබානොදීමට කටයුතු කිරීමයි.
මෙවැනි රෝග තත්ත්වයන් වැළැක්වීමට නම් කළහැකි හොඳම විසඳුම වන්නේ අධික උෂ්ණත්වය පවතින අවස්ථාවලදී හැකිතාක්දුරට එළිමහනේ ගැවසීමෙන් වැළකී සිටීමට හැකිවන ලෙස තම එදිනෙදා වැඩ සකස් කරගැනීමයි. අව්වේ ගමන්කරනවිට හොඳින් හිස වැසෙන ලෙස තොප්පියක් පැළඳීම, හැකිතරම් ජලය ඇතුළු දියර වර්ග පානය කිරීම මේ සඳහා කළහැකි දේය. දරුවන් එළිමහනේ අව්වේ රැඳවීමද මේ දිනවල හැකිසේ අවම කළයුතු අතර දිනපතා ස්නානය කිරීමත්, විනාඩි 20ක් වත් ජලයේ සිටීමටත් වගබලා ගතයුතුය.
දැඩි රස්නය නිසා ඇතිවන අපහසුතාව හෝ සහනයක් ලබාගැනීමට කළ හැකි දේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යාපන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රසන්න මදුරංග ප්‍රනාන්දු මහතාද අදහස් ඉදිරිපත් කළ අතර අව්වේ ගමන්කරන විට කුඩයක් හෝ හිස වැසෙන ලෙස හිස් වැස්මක් පැළඳීම, නිතර නිතර ජලය පානය කිරීම, නිතර මුහුණ, බෙල්ල හා අතපය තෙත මාත්තු කිරීම, දහඩිය ස්වභාවිකම වියළී යාමට සැලසීම, බසයක යනවිට බසයේ ජනේල විවෘත කරතැබීම ආදිය ඔහු පෙන්වා දුන් කරුණු අතරවේ.
ඊට අමතරව නිදාගැනීමට පෙර නිදන කාමරවලට වාතය ගලා එන පරිදි කාමරයේ ජනේල විවෘත කර තැබීම නින්දට යෑමට ප්‍රථම අනිවාර්යයෙන් සිසිල් වතුරෙන් ඇඟපත සේදීමද උෂ්ණත්වය අවම කරගැනීම සඳහා වඩා වැදගත්වේ. ආචාර්ය ප්‍රසන්න මදුරංග මහතා තවදුරටත් පෙන්වා දුන්නේ නිවාසවල පිටත හා ඇතුළත බිත්ති සඳහා සුදු පැහැති හෝ ලා පැහැති තීන්ත ආලේපය, ලා පැහැති කපු මිශ්‍ර කොට්ට උර හා ඇඳ ඇතිරිලි භාවිතය, කපු මිශ්‍ර ඇඳුම් ඇඳීම ආදිය මගින්ද දැඩි උෂ්ණත්වයෙන් මිදීමට හැකියාව ඇති වන බවය.
හේමමාලා කුමාරි රාජකරුණා