
ඕනෑම සුබ කටයුත්තක් ආරම්භ කිරීමට පෙර කිරිබතක් සෑදීමට අපේ ජනතාව හුරුවී ඇත්තේ අනාදිමත් කාලයක පටන්ය. සිංහල සංස්කෘතියේ නැතිවම බැරි ආහාරයක් වන මෙය අලුත් අවුරුදු උදාවේ නැකතට කිරි ඉතිරවීමේ පටන් අප එදිනෙදා සිදුකෙරෙන සෑම සුබ කටයුත්තකදීම පාහේ භාවිත කෙරෙන ආහාරයකි.
හෙළ සංස්කෘතියේ මෙවැනි අංග පැවතීමත් සමඟ සුබ කටයුත්තක් සඳහා කිරිබත් පිසීම ආරම්භ කළේ කුමන කාලයේද? මෙලෙස සුබ අවස්ථාවන් සඳහා කිරිබත් වැනි ආහාරයක් භාවිත කරන්නේ ඇයි? කිරිබත් පිසීමේ විශේෂ හේතු මොනවාද? යන ප්‍රශ්නාර්ථ ඕනෑම කෙනකු තුළ මතුවන්නට පුළුවන. මේ කිරිබත්වල සුවිශේෂීත්වය සම්බන්ධයෙන් විද්වතුන් ඉදිරිපත් කළ අදහස් කිහිපයකි.
රත්මලාන ධර්ම පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ හෑගොඩ විපස්සි හිමි
බෝසතාණන් වහන්සේ බුද්ධත්වය ලැබීමට ප්‍රථමව අනුභව කළේ සුජාතා සිටුදේවිය විසින් පූජා කරන ලද කිරිපිඬු දානයයි. ඕනෑම සුබ කටයුත්තක් සඳහා කිරිබත් පිසීමේ සම්ප්‍රදාය ගොඩනැගෙන්නට ඇත්තේ මෙම කාරණය පසුබිම් කරගෙන කියලයි මම නම් හිතන්නේ. මේ අනුව ලංකා සමාජය තුළ මංගල අවස්ථාවල, සුබදායක අවස්ථාවල කිරිබත් ප්‍රධානතම සංග්‍රහය බවට පත්වෙලා තියෙනවා. පාලියෙන් චීර පායාස, නැතහොත් සංස්කෘතයෙන් ක්ෂීර පායාස ලෙස හඳුන්වන මෙම ආහාරය දිය නොමුසු කිරි පමණක් යොදාගෙන සකසා ගන්නා ආහාරයක්. ඉන්දියාවේ මේ සඳහා භාවිත කරන්නේ එළකිරි. නමුත් ලංකාවේ කිරිබත් පිසීම සිදුකරන්නේ සහල් හා පොල්කිරි භාවිත කරමින්. බෝසතාණන් වහන්සේ සියලු කෙලෙස් නසා බුද්ධත්වයට පත්වීමද බෞද්ධයන් හට සුවිශේෂී වූ මංගල කාරණාවක්. ඒ නිසා උන්වහන්සේ බුද්ධත්වය ලැබීමට පෙර අනුභව කළ මෙම ආහාරය තමන්ගේ ඕනෑම සුබ කටයුත්තකට ප්‍රථමව අනුභව කිරීම වඩාත් සුබදායක බවට තමයි බොහෝ දෙනා අදහස් කරන්නේ.
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය යසාංජලී දේවිකා ජයතිල
“අපේ රටේ ප්‍රධානතම ආර්ථික ක්‍රියාවලිය ගොඩනැගිලා තියෙන්නේ කෘෂිකර්මාන්තය හරහා. ප්‍රාග් ඓතිහාසික යුගයේ ඉඳලම ඒක දකින්න තියෙනවා. කිරිබත් හදන්න භාවිත කරන්නේ හාල් සහ පොල්. අපේ ජන ජීවිතයත් එක්ක අතිශයින්ම බද්ධ වුණ ප්‍රධානතම කෘෂි භෝග දෙක තමයි හාල් සහ පොල් කියන්නේ. වීවලට අපි කිව්වේ බුද්ධ භෝගය කියලා. ඒ තරමටම සහල්වලට ලොකු ගෞරවයක් තියෙනවා. පොල් ගසට කිව්වේ කප්රුක කියලා. ඒ කියන්නේ පොල් ගස අපිට සම්පතක්.
ඒ වගේම අපේ සෞභාග්‍යයේ සංකේතය විදිහටත් ගන්නේ වී සහ පොල්. පුන්කලස සරසන්න පොල් මල ගත්තා. විවාහ වෙද්දී පෝරුවේ වී අතුරනවා. මේ ආකාරයට මේ දෙකෙහි විශාල බැඳීමක් පවතිනවා. මට හැඟෙන ආකාරයට මෙම බැඳීමට අනුව නිර්මාණය වූ ආහාරයක් තමයි කිරිබත් කියන්නේ. කිරිබත් අද වනවිට සිංහල බවේ සංකේතය බවටද පත්ව තිබෙනවා. ඉතිහාසයේ ඉඳලම කිරිබත් කියන දේ තමයි අපගේ ජාතික ආහාරය ලෙස සලකලා තියෙන්නේ.”
ජනශ්‍රැති පර්යේෂක මහින්ද්‍ර කුමාර දළුපොත
“මෙය ඉන්දියානු සංස්කෘතියෙන් අපට ලැබුණු දෙයක්. ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ඉඳලා භාවිත කරපු දෙයක් තමයි කිරිබත. සුබ ආහාරයක්, සියලුම සුබ කටයුතු ආරම්භ කිරීමට පෙර කිරිබත් අනුභව කළ යුතුයි කියන දේ.
අද අපි සාමාන්‍යයෙන් සාදන පරිදි සහල් හා කිරි පමණක් භාවිත කරලා සාදන කිරිබත් නෙවෙයි, විවිධ ද්‍රව්‍යයන් මුසුකරමින් තමයි මේ කිරිබත්, එහෙමත් නැතිනම් ක්ෂීර පායාස සකස් කරගන්නේ. නැකැත් චාරිත්‍ර අනුව සුබ ඵල වැඩියන් ගෙනදෙන කෑම වර්ග මේ අනුව කිරිබතට එකතු කරනවා. තල, උක් සක්කර, වියළි මිදි, කජු මද එලෙස එකතු කරගත හැකි ද්‍රව්‍යයන් කිහිපයකි. මේක තමයි ඉන්දු නිම්න ශිෂ්ටාචාරයෙන් ආරම්භය වූ භාරතීය සංස්කෘතික ලක්ෂණය. ඒකම අපිත් භාවිත කළා. මුල් කාලේ අපි කිරිබත් හැඳින්වූයේ ක්ෂීර පායාස කියලයි. පස්සෙ කාලෙ වෙද්දි කිරිබත් කියලා භාවිත කරනවා.
බොහෝ දෙනා කියනවා විජයාවතරණයෙන් පස්සේ තමයි අපිට කිරිබත් ලැබුණේ කියලා. නමුත් ඒක පිළිගන්න බෑ. ඒකට හේතුව තමයි දැනට ලැබී ඇති පුරාවිද්‍යා සාධක අනුව අපේ ශිෂ්ටාචාරය ගොඩනැගෙන්නේ වලවේ ශිෂ්ටාචාරයත් සමඟ වීම. වලවේ ශිෂ්ටාචාරයේදී අපි කිරිබත් කාලා තියෙනවා. වී අපේ ප්‍රධාන භෝගය බවටද පත්කරගෙන තියෙනවා. අපේ ශිෂ්ටාචාරයත් එක්ක ජීවන සංස්ථාව ගොඩනගා ගත්තේ අපි වී වගාවත් සමඟය. ඒ නිසා තමයි අපි හැමවෙලාවෙම කිරිබතට මුල්තැනක් දෙන්නේ.
නව වසරක් ආරම්භ කරන්නට අපි කැකතට ලිපේ මුලින්ම සිදුකරන්නේ කිරි ඉතිරවීමයි. ඉන්පසු කිරෙන් පිසූ බත් ආහාරයට ගන්නවා. මේ සෑම දෙයකින්ම බලාපොරොත්තු වෙන්නේ නව වසරේ සෞභාග්‍ය උදාකර ගැනීමයි.
තවත් දෙයක් තමයි සුබ වෙලාවකදී කිරිබත් සාදාගැනීමට හෝ කිරි ඉතිරවීමට කලින් භාවිත කළ මුට්ටි ගන්නේ නෑ. ඒ සඳහා නැවුම් මුට්ටියක් භාවිත කළ යුතු වෙනවා. ඒක සාම්ප්‍රදායික තහංචියක්. ඊට අමතරව ලිප පවා අලුතෙන් ගොම මැටි ගා සකස් කළ යුතුයි.
කිරි ඉතිරවීමේදීත් ක්‍රමවේදයක් තියෙනවා. කිරි ඉතිරවීමට එළකිරි හෝ පොල් කිරි භාවිත කිරීම තමයි මේ ක්‍රමවේද දෙක. මුල් කාලයේදී කිරි ඉතිරුවේ එළකිරි භාවිත කරමිනුයි. එහෙත් පසුකාලීනව මේ සඳහා පොල් කිරි භාවිතයට ගත්තා.
යම්කිසි සුබ කටයුත්තකට පිටත් වීමට පෙර එදිනෙදා සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා බත් ටිකක් කවලා සුබ පතනවාට වැඩිය ඒ වෙනුවෙන්ම විශේෂිතව සකසන ලද කිරිබත් ටිකක් කවලා සුබ පතන විට එහි විශේෂිත හැඟීමක් තිබෙනවා. කිරිබතේ තිබෙන්නේ අන්න ඒ ගුණාංගයයි. ඒ වගේම නැවුම් කිරිබත් ඉමිහිරි සුවඳින්ද යුක්තයි.”
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජයන්ත ජයසිරි
“සුබ කටයුත්තකදී කිරිබත් පිසීම පැහැදිලිවම පෙරදිග ශිෂ්ටාචාරයට අයිති අංග ලක්ෂණයක්. අපේ රටේ විතරක් නෙමෙයි, පෙරදිග රටවල, විශේෂයෙන්ම ඉන්දියාව කේන්ද්‍ර කරගනිමින් අනෙකුත් රටවල ව්‍යාප්ත වූ දුර අතීතයේ ඉඳන්ම ආපු චාරිත්‍රයක් හැටියට තමයි ක්ෂීර පායාස පාවිච්චි කරලා තියෙන්නේ. ක්ෂීර පායාස කියන්නේ කිරෙන් හදන ලද ආහාරයක් කියන එකයි.
කිරිබත් අපේ සංස්කෘතික අංගයක් හැටියට එකතුවීමට බලපෑ ප්‍රධානම සාධකය තමයි ධාන්‍ය හා කිරි යන අංග දෙකටම පෙරදිග සංස්කෘතියෙන් ලැබුණු වැදගත්කම්. ඒ වැදගත්කම් අපිට ආවේණික වෙන්නේ ඉන්දියානු ආභාෂයත් එක්කයි.
මෙහි බෞද්ධ පසුබිම ගත්තොත් සිද්ධාර්ථ ගෞතමයාණන් වහන්සේට සුජාතා සිටු දියණිය ක්ෂීර පායාස දානය පිළිගැන්වීම ගන්න පුළුවන්. ක්ෂීර පායාස කිව්වම අරුණෝදයේ හිමිදිරි පාන්දර ගෙනත් පිළිගැන්වූවා කියන දේ බොහොම පැහැදිලියි. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙලා අනුභව කරපු පළවෙනි ආහාරය කිරිබත් බවට පත්වෙන කොට බෞද්ධ ජනතාවට විශේෂයෙන්ම ඒක විශේෂ වැදගත්කමක් ලබාදෙන ආහාරයක් බවට පත්වෙනවා. එක පැත්තකින් හින්දු ආගමේ ආභාෂය, අනෙක් පැත්තේ ආයුර්වේදීය ගුණය (ආයුර්වේදයේ සඳහන් වෙන්නේ කිරිබත් බලකාරක ආහාර බවයි.) තවත් පැත්තකින් බුදු දහමේද ආභාෂය යන කාරණා තුනමත් ජ්‍යොතිෂයෙන් මේ සඳහා ලැබුණ ආලෝකයත් සමඟ මෙම කිරිබත් සඳහා විශේෂ තැනක් හිමිවෙලා තියෙනවා. ඇත්තටම කිරිබත කියන්නේ වර්තමානයේ සංස්කෘතික අංගයකි.
♦ හේමමාලා කුමාරි රාජකරුණා