
මහ වනයේ සද්ධන්තයා ගැන නොඑසේනම් ගොඩබිම ජීවත් වන දැවැන්තයා ගැන අලි කතාබස් කාලයෙන් කාලයට කරළියට පැමිණේ. පසුගිය සතියේ මෙලෙස කතාබහට ලක් වූ අලි චරිතයක් වන්නේ මෙයට වසර හතළිහකට පමණ පෙරාතුව පිලිපීනයට මෙරටින් තිළිණ කළ මාලි නම් කෙණරය. අලි ඇතුන් නොමැති රටක් වන පිලිපීනයට 1977 වසරේදී ලංකාවෙන් අගනා තෑග්ගක් හිමි විය. ඒ මාලිය. එතැන් පටන් වසර 35ක කාලයක් පුරා පිලිපීනයේ මැනිලාහි සත්වෝද්‍යානයේ කුඩා කොන්ක්‍රීට් අංගනයක මාලි දිවිසැරිය ඇරඹුවාය. මෙහි ඇති ඛේදනීයම තත්ත්වය වන්නේ මෙතුවක් කල් ඈ ජීවත් වී ඇත්තේ අලි ඇත් කුලයේ කිසිම සතෙක් සමඟ සබඳතාවක් නොමැතිව හුදෙකලාවය. හුදෙකලාව යනු කොයිතරම් දුක්ඛිත තත්වයක්ද යන්න මිනිසුන් වන අපට පසක් වන්නේ යම් සේද මාලිටද එලෙසින්ම පසක් වෙනවාට කිසිදු සැකයක් නොමැත.
අලින්ගේ ගෑනු සතුන් කිසිම දිනක සිය රැළ හැර නොයන අතර ඔවුන් වඩාත් ප්‍රිය කරන්නේ මියයන තුරු ස්වකීය නෑයන් සමඟ වනයේ විසීමටයි. මහ වනය තුරුවැල් ඔවුන්ගේ ජීවිත හා බද්ධ වුණු දේවල්ය. ඉමක් කොණක් නොපෙනෙන ඇසේ එතෙන හරිත පැහැය අතහැර නොදන්නා රටක තම වර්ගයාගේ සුවඳවත් නොමැතිව කොන්ක්‍රීට් කොටුවක සිරවී සිටින්නට තරම් මාලි පව්කාර කෙණරක් වී ඇත. වසර තිස්පහකට ආසන්න කාලයක් හුදෙකලා ව සිටීම නිසා ඇති වූ මානසික ආතතියේ ප්‍රතිඵලයක් ලෙස මේ වනවිටත් මාලිගේ පාදවල ආබාධ ඇති වී ඇති බවත් තවදුරටත් මෙම තත්ත්වය ප්‍රබල විය හැකි බවත් පශු වෛද්‍යවරුන් විසින් පවසා ඇත. සත්ත්ව අයිතීන් සුරැකීමේ සංවිධානයක් වන පෙටා සංවිධානය People for the ethical treatment of animals පවසන්නේ පිලිපීනයේ වෙසෙන එකම අලියාද තම නෑ සියන් වෙත යැවීමට කාලය පැමිණ ඇති බවයි. ඔවුන් යෝජනා කරන්නේ තායිලන්තයේ ලැං ෂැංහි අලි ඇතුන් සුරැකීමේ මධ්‍යස්ථානය වෙතට මාලි යවන ලෙසයි. මාලි නිදහස් කරන ලෙස ඉල්ලා සත්ත්ව අවිහිංසාවාදීන් සහ පිලිපීන ජාතිකයින් 12000ක් පෙත්සමක් අත්සන් කර දී ඇත. 2013 වසරේ මාලි වෙනුවෙන් හොලිවුඩ් නිළි පැමෙලා ඇන්ඩර්සන් එවකට පිලිපීන ජනාධිපතිව සිටි බෙනින්ගෝ අකිනෝ වෙත ලිපියකින් ඉල්ලීමක් කර ඇත ඉංග්‍රීසි ජාතික ගායක Morrissey ද පිලිපීන ජනාධිපති වෙත ලිපියකින් ඉල්ලා ඇත්තේ මාලි නිදහස් කරන ලෙසයි. මේ වන විට මාලිට පාද සමබරව බිම තබාගැනීම පවා අපහසු කටයුත්තක්ව තිබේ. මැනිලා සත්ත්වෝද්‍යානයේ සිටින සතුන් අතර සිටින එකම අලියා වන්නේ මාලි පමණකි. අලින්ගේ දෛනික ක්‍රියාකාරකම් වන ඇවිදීම, කඳු නැගීම, පාදයෙන් බිම හෑරීම, මඩ නෑම, පිහිනීම ආදී කිසිදු ක්‍රියාකාරකමක් පසුගිය වසර තිස්පහක කාලය තුළ මාලි විසින් සිදු කර නැත්. ඒ එසේ නිදහසේ සිටීමට හැසිරීමට කිසිදු පහසුකමක් මාලි වෙසෙන සත්වෝද්‍යානයේ නොමැති වීම නිසාවෙනි.
අලි ඇතුන් පිළිබඳ වසර 40 ක අත්දැකීම් ඇති වෛද්‍ය හෙන්රි රිචඩ්සන් පවසා සිටින්නේ ඉතා ඉක්මනින් මාලි අභයභූමියක් කරා යොමු කළ යුතු බවයි. ඔහු පවසන පරිදි සත්ත්ව උද්‍යානවල වසර විස්සකට වඩා කල් ගත කර නැවත අභයභූමි වෙත නිදහස් කරන අලින් කිසිම විටෙක වනගත අලින්ගෙන් ප්‍රතික්ෂේප වන්නේ නැත. වසර විස්සකට වඩා ඇලස්කා සත්ත්වෝද්‍යානයක කල් ගතකර මෙලෙසින්ම රෝගී වූ මැගී නම් කෙණරකද කැලිෆෝනියාවේ අලින් සඳහා වෙන් වූ අභයභූමියට නිදහස් කිරීමෙන් පසුව රෝගී තත්ත්වයෙන් මිදී යහපත් මානසික තත්ත්වයක් උදාකරගෙන ඇත. ලෝකයේ අමෙරිකාව, එංගලන්තය වැනි රටවල ඇති සත්වෝද්‍යානවල පවා අලි ඇතුන් සහිත ප්‍රදර්ශන කුටි ඉවත් කෙරෙමින් පවතී. ඒ අලි සඳහා වූ සියලු අවශ්‍යතා සත්ත්ව කූඩුවක සපුරාදීම තාක්ෂණයෙන් දියුණු එවැනි රටවල් වලට පවා අපහසු නිසාවෙනි. ඉන්දියානු රජය ද සිය සියලුම සත්ත්වෝද්‍යානවලට නිර්දේශ කර ඇත්තේ සත්ත්ව උද්‍යානවලින් අලි ඇතුන් ඉවත් කර රජයේ පාලනය යටතේ පවතින අභයභූමි වෙත නිදහස් කරන ලෙසයි. ආසියාතික අලි ඇතුන් ඔවුන්ට හිමි සාමාන්‍ය පරිසරයේ ජීවත් වන්නේ නම් වසර 60-70ක් නිදහසේ ජීවත් වන අතර සත්ත්වෝද්‍යාන තුළ ජීවත් වන සතුන්ගේ ආයුකාලය හුදෙකලා වීම නිසා ඇති වන මානසික ආතතිය හේතුවෙන් වසර විස්සකට අඩු කාලයක් වන අතර වසර විස්සක ආයු කාලයක් ගෙවා දමන්නේ මානසික ආතතිය විවිධ ශාරීරික ආබාධ සහ අඩු ව්‍යායාම් සමඟිනි. අලි පමණක් නොව පෘථිවි තලයේ වෙසෙන සියලු සත්ත්වයින් අයිතිවන්නේ මේ පරිසරයටය. ඔවුන්ව කූඩු ලෑම කෙසේවත් යුක්ති සහගත නොවේ.
මැනිලාහි සත්වෝද්‍යානයේ කොන්ක්‍රීට් අංගනයේ හුදෙකලා වූ මාලි නිදහස් කරන ලෙස ඉල්ලමින් බලධාරීන්ට බල කරමින් පෙටා සංවිධානය මගින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් කිරීමට කටයුතු යොදා ඇත. උතුරු තායිලන්තයේ තවත් අලි දාහතරක් වෙසෙන අභයභූමියකට මාලි යැවීමට අවශ්‍ය සියලු වියදම් දැරීමටත් පෙටා සංවිධානය තීරණය කර ඇත. මාලි ඉපදුනේ අපේ රටේය. අක්කර ගණන් ඈතට නිල්ල දිලෙන වනාන්තරයක් මැද සිය නෑ සියන් හා වෙසෙන්නට තිබූ අවස්ථාවන් මඟහැර ඈ මූදෙන් එහා රටක හුදෙකලා කර ඇත. රටවල් අතර සම්බන්ධතා ගොඩ නගා ගැනීමට මෙන්ම එකී සබඳතා තහවුරු කර ගැනීමටත් අලි ඇතුන් තිළිණ කිරීම පුරාණයේ සිට පැවතියකි. ලාංකික බොදුනුවන් අලි ඇතුන්ට ඉතා ස්නේහවන්තය. දළදාව වැඩමවන අලි ඇතුන් මෙන්ම පනාමුරේ ඇත් රාජා පිළිබඳ අසා ඇති තොරතුරු වලින් ඒ බව ගම්‍ය වේ. කෙසේ වෙතත් මාලි අපේ සද්දන්ත කුලේ අයිතිකාරියකි. අලි නැති රටකට ඈව තෑගි දී ඈට හුදෙකලා මරණයක් උරුම කරදීම ලාංකික අපට නොවටී. ඉතා ඉක්මනින් සිය ඇත් කුලයේ ඇත්තන් හා ඇසේ හැපෙන හරිත වනයක විලංගු මුදා ඇවිද යන්නට මාලිට හැකියාව ලැබිය යුතුයි. සමහර විටෙක මේ මොහොත වනවිටත් මාලි කොන්ක්‍රීට් අංගනයේ හුදෙකලාව බලා ඉන්නවා වෙන්න පුළුවන. මාලි වෙනුවෙන් දියත් කර ඇති සියලු මෙහෙයුම් අවසන ඇය කැමති නිදහස ඇයට භුක්ති විඳීමට ඉඩ ලබාදීම බලධාරීන්ගේ මෙන්ම ලාංකික අප සියලු දෙනාගේම වගකීමක් බව අපි කියමු.
♦ තනුජා ලුම්බිණි