2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

කිතුල් ඒදණ්ඩක් එක්ක ඔට්ටුවෙන ගමක්

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 791

වගකිවයුත්තෝ මර නින්දේ නිසා රුපියල් විස්ස විස්ස එකතු කර පාලමක් හදන්න හැදුවත් අපි කම්මලේ තොටුපොළෙන් තමයි තවමත් අපි එගොඩ මෙගොඩ වෙන්නේ කිතුල් කොටෙන් හැදූ ඒ දණ්ඩෙන් කම්මලේ තොටුපළ කියලයි මෙතනට කියන්නේ. පරම්පරා 04ක පිරිසක් ඌරුබොකු ඔය හරහා ආ‍ෙව ගියේ ගලින් ගලට පැනලයි. බැරිම තැන ගමේ ඉන්න කොල්ලො කුරුට්ටෝ ටිකත් එකතු කරගෙන අපි ඔක්කොම එකතුවෙලා ඔය හරහා කිතුල් කොට ගෙනත් දමලා ඒදණ්ඩක් හදාගත්තා. මේ ගල්ගෙඩිවලට කතා කරන්න පුළුවන් නම් කෑ ගහලා කියාවි මේ ගමේ ජනතාව මේ ඔය හරහා එගොඩ මෙගොඩ වෙන්න කොච්චර දුකක් විඳිනවද කියලා. ගමේ ඉන්නේ ගොවිතැන් බත් කරලා සිය ජිවිකාව ගෙවන පිරිසක්. මේ අය ජීවත් වෙන්න නොවිඳිනා දුක් විඳිනවා. වත්තේ පිටියේ වගා කරන භවභෝග කටුවන පොළට ගෙනියන්නේ මේ ඔය හරහා කර මතින් තියාගෙන ගලින් ගලට පැනලා හෝ නැත්නම් මේ කිතුල් ඒදණ්ඩ මතිනුයි. පරම්පරා හතරක් තිස්සේ මේ ගමේ මිනිස්සු මේ ඔය හරහා පාලමක් හදාගන්න නොවිඳිනා දුකක් විඳිනවා. නමුත් ඒ හිනය සැබෑ කරගන්න බැරිව පරම්පරා දෙකක විතර අය මැරිලා ගියා. දැන් ඉන්න මේ අයත් හරිම ආසාවෙන් ඉන්නේ මේ ගමට යන්න එන්න පුංචි පාලමක් හරි හැදෙනකම්.

මාටින් මාමා එක දිගට අපත් සමඟ පැවසුවේ සිය නෙතගින් රූරා වැටුණු කඳුළු බිඳ දෙක තුන තම සරමෙන් පිසදමමිනි. 
මේ අපි කියාගෙන එන්නේ චිත්‍රපටයක හෝ නාට්‍යයක පිටපතක් නොවේ. මේ මිහිපිටම ජීවත්වෙන තවත් අහිංසක ගමක ජනතාවගේ දුක්ඛිත කතාවකි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පිහිටි පන්සිය විසිහය කෙසෙල්වත්ත කම්මලේ තොටුපොළ ගම්මානයේ මේ වනවිට පවුල් 350ක් පමණ ජීවත් වෙති. ඔවුන් එදිනෙදා සිය ගමන් බිමන් සඳහා කටුවන නගරයට යන්නේ ඌරුබොකු ඔය හරහාය. දීර්ඝ කාලයක් තිස්සේ විවිධ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් පසුපස ගොස් ගමට පාලමක් ලබාගැනීමට මහත් වෙහෙසක් දරා හෙම්බත් වී සිටින මෙම ග්‍රාමයේ ජනතාව පවසන්නේ පරම්පරා 04 ක කාලයක් තිස්සේ ආණ්ඩු දෙකක් රට පාලනය කළත් කෙසෙල්වත්ත කම්මලේ තොටුපළ ග්‍රාමයට මෙතෙක් පාලමක් ලබාදීමට කිසිදු ආණ්ඩුවක් කටයුතු නොකළ බවයි.

කිතුල් කොටයක් අධාරයෙන් තාවකාලිකව සකසාගන්නා ලද ඒදණ්ඩක් හරහා ගමේ ජනතාවගේ දෛනික කටයුතු ඉටුකර ගන්නා වැසියන් පාලමක් ඉදිකිරීමට දේශපාලන අධිකාරියේ මැදිහත්වීමක් නොලැබුණු තැන ගම්වැසියන්ගෙන් රුපියල් 20 බැගින් එකතුකර  කොන්ක්‍රීට් යොදා පාලමක් ඉදිකිරීමට උත්සහ කර තිබූ ආකාරය අපට දැකගන්නට ලැබුණේ ඌරුබොකු ඔය හරහා බැරලයක් යොදා ගනිමින් ඉදිකර තිබූ දැවැන්ත කොන්ක්‍රීට් කණුවෙනි. නමුත් ඔවුන්ගේ එම උත්සාහයද අසාර්ථක වී ඇත්තේ පාලමක් ඉදිකිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුම මේ ගමේ ජනතාව සතුව නොතිබූ නිසා බවයි වයෝවෘද්ධව එක්තැන් වී සිටින මාටින් මාමා අපත් සමඟ පැවසුවේ.

ගමට පාලමක් හදා ගැනීම වෙනුවෙන් සිය තරැණ කාලයම කැපකළ මාටින් මාමා අද ඔත්පල වී පුංචි කටුමැටි ගෙයකට වී සිටියි. මේ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ මාටින් මාමා අපත් සමඟ මෙසේ පැවසීය.

මහත්තයෝ මගේ තාත්තගේ තාත්තයි කාලේ ඒ කියන්නේ මට මතක තියෙන කාලේ ඉඳලම අපි මේ ගමට පාලමක් ඉල්ලන්න ලියුම් කඩදහි අරගෙන නොගිය දේශපාලකයෙක්, ඇමතිවරයෙක්, මන්ත්‍රීවරයෙක් නැති තරම්. යන්න තියෙන හැම දේශපාලනඥයෙකුටම ලියුම් කඩදහි ලියලා ගිහින් දුන්නා. කියන්න තියෙන හැම විදියකටම කිව්වා. ඉල්ලන්න තියෙන හැම විදියකින්ම පාලමක් හදලා දෙන්න කියලා ඉල්ලුවා. ඒත් තවමත් මේ ගමට පාලමක් ලැබුණේ නෑ. ආණ්ඩු මාරු වුණා හැමෝටම ලියුම් දුන්නා අද දෙනවා කිව්වා. හෙට දෙනවා කිව්වා. මේ වෙනතෙක් ලැබිච්ච දෙයක් නම් නෑ. අනිත් පැත්තේ මන්ත්‍රීවරුන් ගාවට ගියහම කිව්වා අපිට පාලම හදන්න බලයක් නෑ. අපිට බලය ලැබුණු ගමන් පාලම හදල දෙනවා කියලා. අද වෙනකම් පාලම හදන්න තියා මේ ගම දිහාවත් බලන්න කිසිම දේශපාලනඥයෙක් මේ ගමට ඇවිත් නෑ. අපි හැමදාමත් ඒ ගොල්ලන්ට රැවටුණා. මගේ තරුණ කාලේ ඉඳලම දේශපාලකයන් පස්සේ ගියේ මේ ගමට පාලමක් ඉල්ලලා මිසක් මගේ පෞද්ගලික වැඩවලට නෙමෙයි. ගමට යන්න එන්න විදියක් නෑ. ලෙඩෙක් දුකෙක් ගෙනියන්න විදියක් නෑ පුටුවල ගැටගහගෙන ඒදණ්ඩෙන් එල්ලගෙන තමයි යන්නේ. මළකඳක්වත් කැරකොප්පුවට ගෙනියන්න විදියක් නෑ. ඒ මදිවට ඔය ගැලුව දවසට කොහෙටවත් යන්න විදියක් නෑ අපි කොටුවෙනවා. එදාට ගමේ කාටහරි අමාරු ලෙඩක් හැදුණොත් මැරෙන්න තමයි වෙන්නේ. බෙහෙත් ටිකක් ගන්න යන්න පාරක් නෑ. මේ ගමේ හැමෝම කරන්නේ ජීවිතයත් මරණයත් අතර සෙල්ලමක්. ගැහැනු දරුවෝ නගරයට යන්නේ ඔය හරහා දමපු ඒ දණ්ඩෙන්. ඔය ඒ දණ්ඩ ලිස්සල ගොඩක් අය ඔයට වැටිලා අතපය තුවාල කරගෙනත් ඉන්නවා. ආබාධිත වුණු අයත් ඉන්නවා. මටත් පුළුවන් කාලේ ගමට පාලමක් ගන්න ගොඩක් උත්සාහ කළා එත් බැරිවුණා. දැන් මටත් මුකුත් කර කියාගන්න බෑ. මගේ එකම ආසාව තමයි මහත්තයෝ මේ ගමට පාලමක් ලැබෙනවා දකින එක.

කෙසෙල්වත්ත කම්මලේ තොටුපොළ ගමේ පදිංචි කේ.පී. රංජනී මහත්මිය මෙසේ පැවසුවාය.

මේ ගමේ අපි වගකිවයුතු බලධාරීන්ගෙන් රස්සා දෙන්න, ගේ හදාගන්න සිමෙන්ති දෙන්න. එහෙමත් නැත්නම් වෙන මොනවා හරි දෙන්න කියලා නෙමෙයි ඉල්ලුවේ. ගමට යන්න එන්න පුළුවන් පාලමක් හදලා දෙන්න කියලා විතරයි ඉල්ලුවේ. කියන්න තියෙන හැම කෙනෙකුටම කිව්වා. නමුත් කිසිදු ප්‍රයෝජනක් වෙලා නෑ මේ වෙනකම්. ඡන්දෙ කාලෙට පාලම හදලා දෙන්නම් කියලා ඡන්දෙ ගන්න ගමට ආව කිසිදු දේශපාලනඥයෙක් ඡන්දෙන් පස්සේ මේ පැත්ත දිහා හැරිලවත් බැලුවේ නෑ. මාධ්‍ය විතරයි අපේ දුක අහන්න හරි හිටියේ. අපි බලධාරීන්ගෙන් ඉල්ලුවේ මහා ටිපර් ගෙනියන තරමේ පාලමක් නෙමෙයි. ගඟට නොවැටී ආරක්ෂිතව එගොට මෙගොඩ යන්න පුළුවන් පාලමක් විතරයි. අහස උසට මාලිගා හැදෙන යුගයක, මහ මුහුද පවා ගොඩකරමින් සුපිරි නගර හදන්න තරම් දියුණු වෙලා තියෙන යුගයක කටුවන කම්මලේ තොටුපළ ගමේ අපි තවමත් ජීවත් වෙන්නේ හරියට කළියුගයේ වගෙයි. 

මේ ඌරුබොකු ඔය පිටාර ගලනකොට මේ දෙපැත්තම යටවෙලා පිටාර ගලනවා. ඒ කාලෙට අපිට යන්න එන්න තැනක් නෑ. කිතුල් කොටයක් කපාගෙන ඔය හරහා දමාගෙන තමයි අපි ඔයෙන් එගොඩ මෙගොඩ වුණේ. අපි බැරිම තැන ගමෙන් රුපියල් 20, 20 සම්මාදම් කරලා පාලමක් හදාගන්න ඔයේ කොන්ක්‍රීට් කණුවක් ගහගත්තා. දැනට දාලා තියෙන කිතුල් කොටෙත් එක පැත්තක් දිරලා තියෙන්නේ. කන්ද මුදුණේ ඉඳලා තමයි අපි කිතුල් ගස් කපාගෙන ඇවිත් මේ විදියට ඔය හරහා දාලා ඒ දණ්ඩ හදාගෙන තියෙන්නේ. දැන් ගම්මානේ කිතුල් ගසුත් නැති තරම් ඒ දණ්ඩක් හදාගන්න. ඒ තරම් කිතුල් ගස් කපලා තියෙනවා මේ වෙනකොට. මේ ගමේ පවුල් 300ක් විතර ඉන්නවා මේ ඒ දණ්ඩ හරහා එගොඩ මෙගොඩ වෙන්න. ඉතින් අපි පරම්පරා ගාණක ඉඳලා තමයි මේ ගමට පාලමක් ඉල්ලන්නේ. ඊළඟ පරම්පරාවවත් ගමට පාලමක් ඉල්ලීම් නවත්තලා තමන්ගේ දියුණුවට ගමේ දියුණුවට වැඩක් කරගන්න පුළුවන් විදියට හැකි ඉක්මනින් බලධාරීන් මේ පිළිබඳව සොයාබලා ගමට පාලමක් ලබාදෙන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.

කේ.කේ ආදරහාමි මහත්මිය.

අනේ මහත්තයෝ ඉතින් මේ පාලම හැමදාම හදන්නෙයි කිය කිය කවුරුත් එනවා. එත් අපිට තාමත් පාලමක හදා දුන්නේ නෑනේ. මහත්තුරුන්ට බුදුබව අත්වෙනවා මේ පාලම හදලා දුන්නොත්. මේ ගමේ මේ  පැත්තට යන්න ගෙවල් ගොඩක් තියෙනවා. අපේ මුළු පරම්පරා ගණනාවක්ම මේ විදියට දුක් විඳලා මේ ගඟෙන් එගොඩට මෙගොඩට ගිහිල්ලා තමයි වැඩ කරගත්තේ. මළකඳන් පවා එල්ලාගෙන තමයි අරගෙන ගියේ. අපේ පරම්පරා ගානක්ම ගියේ මෙහෙමයි. අපිත් දැන් වළ පයයි ගොඩ පයයි. කොයිවෙලාවේ මැරේවිද දන්නේ නෑ. ඒ මැරුණත් කැරකොප්පුවට පෙට්ටිය අරගෙන යන්න වෙන්නේ එක්කෝ මේ ඒදණ්ඩ උඩින්. නැත්නම් මේ ඔයට බැහැලා ගලෙන් ගලට පැන පැන තමයි. මට හොඳට මතකයි අපි කෙල්ල කාලේ ඉඳලම මෙතනට පාලමක් හදාගන්න පුදුම දුකක් වින්දේ. ඒ නිසා අපේ පණ තියෙද්දී මියැදෙන්න එක දවසක් හරි තියා ගමට පාලමක් හදලා ඒ පාලමෙන් ගිහින් මැරුණොත් ඇති හිතේ කනගාටුව දුක නිවෙන්න.

කම්මලේතොටුපොළ කෙසෙල්වත්ත ගමේ පදිංචි කේ.එච්. මදුනි මහත්මිය

අපි හැමදාමත් බලධාරින්ගෙන් ඉල්ලුවේ මේ ගමට පාලමක් විතරයි. නමුත් අද වෙනකම් අපිට නොලැබුණොත් පාලම තමයි. මේ පුංචි දරුවොත් එක්ක මේ ඒ දණ්ඩෙන් එගොඩ මෙගොඩ වෙන්න හරි අමාරුයි. ඒ වගේම බබාලා හම්බවෙන්න ඉන්න අම්මලා බොහොම අමාරුවෙන් තමයි මේ ඒදණ්ඩෙන් මාරු වෙන්නේ. පවුල් ගණනාවක් ගොඩක් කාලයක් තිස්සේ බොහොම අමාරැවෙන් තමයි මේ ඔය හරහා එගොඩ මෙගොඩ වෙන්නේ. 350ක් වගේ හිටිය පවුල් සංඛ්‍යා වත් දැන් දවසින් දවස වැඩිවෙනවා. මේ ඒදණ්ඩත් දැන් හොඳටම දිරලා ගිහින් තියෙන්නේ. මේ දාලා තියෙන කිතුල් කොටෙත් අපි ගොඩක් දුර ඉඳලා බොහොම අමාරුවෙන් අරගෙන ආවේ. පාසල් යන දරුවාගේ පටන් මහල්ලා දක්වාම එගොඩ මෙගොඩ වෙන්නේ මේ කම්මලේ තොටුපොළ හරහා තියෙන ඒදණ්ඩෙන් තමා. උදේට ඉස්කෝලේ යන්න එන දරුවෝ මේ ඒ දණ්ඩෙන් එගොඩ වෙන්න ගිහින් ඔයට වැටිලා තුවාලවෙලා ගෙදර එන අවස්ථා ඕනතරම් තියෙනවා. අපිට කොහොමහරි මේ ගමට යන්න එන්න පාලමක් හදලා දෙන්න කියලා විතරයි මේ බලධාරීන්ගෙන් ඉල්ලන්නේ.

 සටහන හා සේයාරූ - සුරියවැව නුවන් ජයසේකර