
සුන්දර හන්තාන සරසවි පෙම්වතුන් අතර ජනප්‍රිය ඉසව්වකි. එයට හේතුව පේරාදෙණිය සරසවිය පිහිටා ඇත්තේ හන්තාන පාමුල නිසාය. ලංකාවේ බොහෝ සරසවිවල සිසුන් හන්තාන කන්දට චාරිකා යති. මේ සුන්දරත්වය විඳ ගනිති. මහනුවර නරගයේ සිට ගලහා නරගය දක්වා දිවෙන හන්තාන කඳුවැටිය ගඟවට, පාතහේවාහැට, ඌව පළාත සහ දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත්වේ. මෙම කඳුවැටියේ බටහිර බෑවුම් මහවැලි නදියේ ජල පෝෂක ප්‍රදේශයක් ලෙසද ක්‍රියාකරති.
මුහුදු මට්ටමේ සිට මීටර් 1240ක් උපරිම උසකින් යුත් හන්තාන මහවැලි ගඟේ අද ගංඟා නිම්නවලින් එකිනෙකට බෙදී පවතී. මහඔය, දොඩම්ගොල්ල ඔය, කුඩා ඔය, සරසවි ඔය වැනි අද ගංඟා හා ඇල මාර්ග රුසක් මින් උපත ලබා ගලාබසී.
මෙවැනි පාරිසරික වැදගත්කමකින් යුත් හන්තාන මහනුවර නගරයේ හදවත වශයෙන් සැලකේ. එහෙත් විටින් විට වාර්තාවන්නේ මුදලට ලොබ බඳින මිනිසුන් මේ හදවත තුවාල කිරීම පිළිබඳවය. සංවේදී හන්තාන කඳු වලල්ල ආශ්‍රිත පෙදෙස්වල රජය සතු ඉඩම් ඉතා සූක්ෂම ලෙසින් ඉඩම් අහිමි වූවන් සඳහා කට්ටි කර බෙදාදීමේ වැඩපිළිවෙළක් ප්‍රබල දේශපාලනඥයින් කීපදෙනෙකුගේම අනුදැනුමෙන් ඔවුන්ගේ සමීප සගයන් විසින් සිදුකරනගෙන යන බවට පසුගියදා වාර්තා විය.
දැනටමත් මෙලෙස එකී ඉඩම් මහනුවර සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් පිටත ව්‍යාපාරිකයන් කීපදෙනෙකුටම බෙදාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතින අතර එයට ඇතැම් රාජ්‍ය නිලධාරීන්ගේද සහාය ලැබී තිබෙන බව හන්තාන මහකන්ද උඩුවෙල සහ හන්තාන වත්ත පෙදෙස ජනතාව පවසයි.
හන්තාන සුරැකීමේ සංවිධානයද මෙම ඉඩම් බෙදාදීමේ වැඩසටහනට තම බලවත් විරෝධය පළකර තිබේ. රජයේ ඇතැම් දේශපාලන ප්‍රබලයින්ගේ නිර්දේශ මත ඔවුන්ගේ හිතවතුන්ට දැනටමත් ඉඩම් කට්ටි බෙදාදීම සිදුකෙරෙමින් පවතී. ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් හන්තාන වත්තේ ඉඩම් කොටස්ද මෙලෙස බෙදාදීම සිදුකෙරෙන බව පවසන ප්‍රදේශයේ වතු කම්කරු ජනතාව, උඩුවෙල තේ වත්තේ වතු අධිකාරිවරයාගේ වතු බංගලාවද ෙපෟද්ගලික ව්‍යාපාරිකයෙකුට ලබාදී ඇති බව සඳහන් කරති. හන්තාන හතරේ කණුව ප්‍රදේශයේ ගලහ දක්වා පිහිටා ඇති ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් ඉඩම් කොටස් මධ්‍යම පළාතෙන් පිටස්තරව කටයුතු කරන ප්‍රබල දේශපාලනඥයෙකුගේ මැදිහත් වීම මත ඔහුගේ නිර්දේශයන් අනුව පුද්ගලයන් රැසකට බදු ක්‍රමය මත ලබාදී තිබෙන බවද ප්‍රදේශයේ ජනතාව පවසයි.
හන්තාන කඳු වලල්ලේ පිටුපස ප්‍රදේශය වශයෙන් හඳුන්වන්නේ මහකන්ද සරසවි ගම, උඩුවෙල, හතරේ කණුව යන ප්‍රදේශයි. එහි ඉඩම් විශාල සංඛ්‍යාවක් දැනටමත් ජනාවාස වී තිබේ. අධිපාරිසරික සංරක්ෂිත කලාපයක් ලෙස හන්තාන කඳුවලල්ලේ කොටස් කීපයක් නම්කර ඇතත් එම පෙදෙස්ද එළිපෙහෙලි කරමින් දැවැන්ත ගොඩනැගිලි ඉදිවෙමින් පවතින්නේ බාධාවකින් තොරවය.
හන්තාන මහකන්ද වත්තට අයත් ඉඩම් කොටස් පදිංචිය සඳහා පුද්ගලයන් වෙත මුදාහැරීම සම්බන්ධව හන්තාන සුරැකුම් සංවිධානයද අඛණ්ඩව සිය විරෝධය පළකර සිටී. තත්ත්වය බීරී අලීන්ට වෙණ වැයීමක් වී තිබේ.
ප්‍රාදේශීය දේශපාලනඥයෙකුගේ ඉල්ලීමක් මත මහකන්ද වත්ත ප්‍රදේශයේ අක්කර 08කින් යුක්ත ඉඩමක් බෙදාදීම සඳහා කටයුතු සිදුවෙමින් පවතී. මෙම ඉඩම් බෙදාදෙනු ලබන්නේ ඉඩම් නොමැති පුද්ගලයන් අතර වූවත් ඒවා ලබාගැනීමට ඉදිරිපත් වන්නන් සැබැවින්ම පදිංචියට ඉඩමක් නැති අයවලුන්දැයි සැකයක් පවතී.
හන්තානේ කඳු පෙදෙස්වල ඉඩම් අක්කර 50 – 60 ලබාගත් භික්ෂූන්වහන්සේලාද සිටින අතර ඔවුන් එම ඉඩම් ලබාගෙන ඇත්තේ ප්‍රබල දේශපාලනඥයන්ගේ සම්බන්ධතා ඇතිව බව ප්‍රදේශයේ ජනතාව පවසයි. කෙතරම් පාරිසරික නීති රීති ක්‍රියාත්මක වූවද හන්තාන කඳු රක්ෂිතය තුළ සහ ඒ අවට තේ වතුවල ඉඩම් අත්පත් කරගනිමින් විවිධ ඉදිකිරීම්, අවට කැලෑ එළිපෙහෙළි කිරීම, විවිධ හේතු දක්වමින් අවට පරිසරයේ ගස් කොළන් කැපීම අඩුවක් නැතිව සිදුවන බව ප්‍රදේශයේ ජනතාව පවසති.
හන්තාන ආරක්ෂාවට සිටින පාරිසරික ආරක්ෂක කළමනාකරණ කමිටුවද පරිසරික සංවිධානයන්හි විරෝධතා නොසළකා හරිමින් හන්තානේ පිහිටි ඉඩම් විවිධ පුද්ගලයන් සඳහා බෙදාදීමේ කාර්යය සඳහා අනුමැතිය ලබාදීම පිළිබඳව බොහෝ දෙනකුගේ අප්‍රසාදයද එල්ල වී තිබේ.
ජේ.ඒ.එල්. ජයසිංහ