
එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා විශාල වශයෙන් මුදල් මුද්‍රණය කරන්නේ යැයි යන චෝදනාව පසුගිය සමයේ ආණ්ඩුවට එල්ලවෙමින් පැවතිණ. රජයේ සේවකයන්ගේ වැටුප මාසිකව රුපියල් 10,000කින් වැඩිකිරීම, අලුතින් සේවකයන් බඳවා ගැනීම, සේවක වැටුප් විෂමතා නැතිකිරීම සහ තව තවත් ඇමැති මණ්ඩලයේ දීමනා ඉහළ නැංවීම, රාජ්‍ය ආයතන ගොඩනැගිලිවලට විශාල වශයෙන් කුලී ගෙවීමට සිදුවීම ආදිය නිසා රජයට දරන්නට සිදුව ඇති පුනරාවර්තන වියදම් අසීමිත ලෙස ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇතිව තිබේ. මෙම තත්ත්වයට මුහුණදීම සඳහා අලුතින් මුදල් මුද්‍රණය කිරීමට පෙළඹී ඇතැයි පැවසේ. 1949 අංක 58 දරන මුදල් නීති පනතේ 49 වගන්තිය අනුව ව්‍යවහාර මුදල් නෝට්ටු සහ කාසි නිකුත් කිරීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටය.
2015 වසරට සාපේක්ෂව 2016 වසර තුළ ශ්‍රී ලංකා මහ බැංකුව මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 856 දක්වා සියයට 27කින් ඉහළ ගොස් තිබෙන බව පැවසේ. 2015 වසරේ මහ බැංකු වාර්තාව අනුව එම වසරේ මුද්‍රණය කළ මුදල්වල අගය රුපියල් බිලියන 673කි. ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු වැඩිම මුදල් ප්‍රමාණයක් මුද්‍රණය කළ වර්ෂය 2016 වන අතර, 2017 වනවිට එම ප්‍රමාණය තවත් ඉහළ යනු ඇතැයි අද පවතින තත්ත්වය අනුව විශ්වාස කෙරේ. 2006 දී හෙවත් දැනට වසර 10කට පෙර මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය මෙන් 3 ½ ගුණයකට වැඩි මුදල් ප්‍රමාණයක් මේ 2016 දී මුද්‍රණය කර ඇත. 2006 දී මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 240ක් වන අතර, 2016 වසරේ මුදල් රුපියල් බිලියන 856ක් මුද්‍රණය කිරීම සසඳා බලන විට මෙම තත්ත්වය දෘශ්‍යමාන වේ. එසේම මෙයට වසර 5කට පෙර 2011දී මුද්‍රණය කර ඇති බිලියන 439 හා සැසඳීමේදී 2016 වසරේ එම ප්‍රමාණයට දෙගුණයකට ආසන්න මුදලක් මුද්‍රණය කර ඇති බව කිවයුතුය.
මෙලෙස වැඩි වැඩියෙන් මුදල් සංසරණයට පත්වන විට එම තත්ත්වය රටේ සමස්ත ආර්ථිකයට සහ පුද්ගලයන්ගේ ආර්ථිකයට අයහපත් වන්නේ ජීවන වියදම ඉහළයාම, උද්ධමනය ඉහළයාම සහ ආර්ථික වර්ධන වේගය පහළ වැටීම ආදිය නිසාය. උද්ධමනය හෙවත් මිල ඉහළ යාමේ වේග ප්‍රතිශතය තනි ඉලක්කමකින් තබා ගැනීමට ආණ්ඩුව උත්සහ ගනිද්දී 2017 පෙබරවාරිවල උද්ධමනය සියයට 8.2ක් දක්වා ඉහළ නැගීමෙන් අනතුරු හඟවන්නේ ඇතැම් විට මෙම වර්ෂය අවසන්වීමට පෙර ආණ්ඩුවේ තනි ඉලක්කම් බලාපොරොත්තුව පුස්සක් වනු ඇත යනුවෙනි. එසේම 2016 දී ආර්ථික වර්ධන වේගය සියයට 4.4 දක්වා අඩුවී ඇති අතර 2015 පැවතුණු වර්ධන වේගය 4.8ක ප්‍රතිශතයකි. මෙම තත්ත්වය තුළ මේ වසරේ ආර්ථික වර්ධන වේගය සියයට 5 - 5.5 අතරේ තබාගත හැකි යැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසන අනාවැකිය කෙරෙහි විශ්වාසය තබා ගැනීම උගහට වනු ඇත. 2017 සියයට 6කට වැඩි වර්ධන වේගයක් ආණ්ඩුව මුලින් අපේක්ෂා කළද මේ වනවිට එම තත්ත්වය පහළට තල්ලු වී ඇත.
මුලදී ආණ්ඩුව ලිහිල් මුදල් ප්‍රතිපත්තියකට අවතීර්ණ වී සිටියද 2016 වනවිට එම තත්ත්වය දැඩි කිරීමට සිදුවූ බවට ශ්‍රී ලංකා මහබැංකුව මෙසේ කියයි.
“අඛණ්ඩව පැවැති අඩු උද්ධමන වාතාවරණය මධ්‍යයේ ශ්‍රී ලංකා මහ බැංකුව 2015 වසර තුළදී ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයක් පවත්වා ගනු ලැබූවද ඉහළ ණය හා මුදල් ප්‍රසාරණය හේතුවෙන් උද්ධමනය මත ඇතිවිය හැකි අධික ඉල්ලුම් පීඩන කල් තියා වළක්වා ගැනීම සඳහා වසර අවසානය වනවිට මුදල් ප්‍රතිපත්තිය ක්‍රමයෙන් දැඩි කිරීම ආරම්භ කරන ලදී.”
(ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2015 – 207 පිට)
“ආර්ථිකයේ මුදල් පදනම මනිනු ලබන සංචිත මුදල් සැපයුම වසර අවසාන වනවිට අඩුවීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළද 2016 වසර තුළදී සාපේක්ෂ වශයෙන් ඉහළ අගයකින් වර්ධනය විය.”
(ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2015 – 264 පිට)
මේ අනුව අපට පෙනී යන්නේ රජය මුලින් තබා තිබූ යහපත් ආර්ථික ප්‍රතිපත්තිවලට අදාළ වාතාවරණය පසුව වෙනස් කිරීමට සිදුව තිබූ බවය. උද්ධමනය ඉහළ යාම නිසා යළිත් මුදල් ප්‍රතිපත්ති දැඩි කිරීමට සිදුව ඇත. එයට හේතුව මුදල් සැපයුම ප්‍රසාරණය වීම (මුදල් මුද්‍රණය වැඩිවීම) හා ලබාගත් ණය ප්‍රමාණය ඉහළ යාමයි. 2016 වසර අග වනවිට සංචිත මුදල් සැපයුම අඩුවීම වෙනුවට වැඩිවීම නිසා බලාපොරොත්තු එලෙසම තබා ගැනීම දුෂ්කර වී තිබේ. 2014 වසරේදී රුපියල් බිලියන 577.9ක් වූ සංචිත මුදල් සැපයුම 2015 වනවිට බිලියන 673.4 දක්වා බිලියන 95.5 ඉහළ ගොස් ඇති අතර 2016 මෙම තත්ත්වය තවත් ප්‍රසාරණය වී තිබේ.
2015 වසරේ ආණ්ඩුව මුද්‍රණය කළ මුදල්වල වටිනාකම වූ රුපියල් බිලියන 673.4 ප්‍රමාණය මෙවැනි කොටස්වලින් සමන්විත වේ.
මහජනයා සතු ව්‍යවහාර මුදල් රු.බිලියන (නෝට්ටු සහ කාසි) රු 388.1
වාණිජ බැංකු සතු ව්‍යවහාර මුදල් (නෝට්ටු සහ කාසි) 103.6
ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති වාණිජ බැංකු තැන්පතු 181.7
(ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව 2015 - පිටු අංක 216)
මෙම මුදල් ව්‍යුහය අනුව අපට පෙනී යන්නේ රටේ සමස්ත මුදල් ප්‍රමාණය මහජනයා ළඟ වැඩිවශයෙන්ම පවතින බවය. එසේම ශ්‍රී ලංකා මහ බැංකුවේ වාණිජ බැංකු නමින් ඇති සංචිතවලද, වාණිජ බැංකු සහ පිළිගත් මූල්‍යයතනවලද මෙම මුදල් ඇති බවය. මුදල් මුද්‍රණය කර ගනුදෙනු සඳහා මුදාහැරීම ඉතාම සංයමයකින් යුතුව ක්‍රමාන්විතව කළයුතු අතර එසේ නොමැතිව එකවර මුදල් වෙළෙඳපොළට දැම්මහොත් මුදල් සැපයුම වැඩිවී භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් විශාල ආර්ථික අර්බුදයක් ඇතිවීමට ඉඩ වැඩිය.
ශ්‍රී ලංකා මහ බැංකුවට මුදල් අලුතින් මුද්‍රණය කළ හැකි අතර ඒ සඳහා නියෝග නිකුත් කිරීමට බාහිර කිසිදු පාර්ශ්වයකට නොහැකිය. මහ බැංකු අධිපති සතු මෙම බලයට බලපෑම් කිරීමට පාර්ලිමේන්තුවට හෝ විධායකයට බලයක් නැත. 2015 වසරේ මහ බැංකුව මුද්‍රණය කළ බව කියන සංචිත මුදල් බිලියන 673.4 පහත සඳහන් හේතු මත පදනම් වේ.
මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් රු.බිලියන 576.2
රජයේ ණය ගැනීම් (ශුද්ධ)
මහ බැංකුව 229.9
වාණිජ බැංකු 1529.5
මේ අනුව අපට පෙනීයන්නේ මුදල් මුද්‍රණය කිරීමට ප්‍රධාන සාධකය වනුයේ ශ්‍රී ලංකා මහ බැංකුව සතු ශුද්ධ විදේශ වත්කම් බවය. එසේම ශ්‍රී ලංකා මහ බැංකුව රජයට ශුද්ධ ණය ප්‍රමාණය හා වාණිජ බැංකුවලට දුන් ණය ප්‍රමාණයද සැලකිල්ලට ගනී. මෙහිදී පෙනී යන්නේ මහ බැංකුවෙන් රජය ණය ගැනීම වැඩිවන ප්‍රමාණය අනුව මුදල් මුද්‍රණය කිරීමද ඉහළ යන බවය. අද ඇතිවී ඇති තත්ත්වය එයට හොඳ උදාහරණයකි. මේ වනවිට ආණ්ඩුව විදේශ ණය ගැනීම්වල උපරිම අවස්ථාවට ළඟා වී සිටින අතර දේශීය ණය ගැනීම් කෙරෙහි වැඩි අවධානය යොමුව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ වාණිජ බැංකුවලින් ස්වකීය මූල්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට ආණ්ඩුව වැඩි උනන්දුවක් දක්වන බව පෙනී යයි. 2016 වසරේදී ශ්‍රී ලංකා මහ බැංකුව රජයට ලබාදුන් ණය ප්‍රමාණය 2015ට සාපේක්ෂව සියයට 80කින් ඉහළ ගොස් ඇත. රජය ණය ගන්නා මෙවලම් දෙකක් ඇත. ඒවා නම් භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර වේ.
මෙහිදී ශ්‍රී ලංකා මහ බැංකුව කරනුයේ රජයට ණය දීමට මුදල් අවශ්‍ය වූ විට ලංසු කැඳවා විවෘත වෙළෙඳ පොළෙන් මුදල් ගැනීමය. මුදල්වල ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති නිසා බොහෝ බාහිර පාර්ශ්ව බැඳුම්කර හා බිල්පත් මිලට ගැනීමට පෙළඹීමේ ප්‍රවණතාව වැඩිය. මෙම සුරැකුම්පත්වල වටිනාකම රජයට දී තිබෙන ණයක් වනු ඇත. මේ ණයවල වටිනාකමට සමාන මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව අලුතින් මුද්‍රණය කරන නිසා මුදල් සැපයුම වැඩිවේ. මෙලෙස මුදල් වෙළෙඳපොළට එම නිසා උද්ධමනය ඉහළ යයි හෙවත් භාණ්ඩ සහ සේවාවල මිල වැඩිවේ. එය ජනතාවටද රටටද අහිතකරය.
මෙයින් සිදුවන තවත් අයහපතක් නම් ආනයන ඉල්ලුම ඉහළ යාමයි. ජනතාවට මුදල් ලැබෙන නිසා ආනයන වැඩිවේ. අනවශ්‍ය බඩු භාණ්ඩ රටින් ගෙන්වීම වැඩිවේ. පෞද්ගලික ආනයනකරුවෝ කිසිදු වගවිභාගයක් නොමැතිව ජනතාව වැඩි වැඩියෙන් ඉල්ලන භාණ්ඩ වැඩි වැඩියෙන් සපයති. මෙම තත්ත්වය පාලනය කිරීමට අද වනවිට ආණ්ඩුව මැදිහත් නොවන අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 2016 වෙළෙඳ හිඟය. ඩොලර් බිලියන 9 ඉක්මවා ගොස් තිබේ. ඒ හේතුවෙන් ගෙවුම් ශේෂ හිඟය වර්ධනය වන අතර රුපියලේ අගය සීඝ්‍රයෙන් කඩා වැටී විදේශ සංචිත දියවී යාමට හේතුවේ.
මෙම අහිතකර ප්‍රතිඵල එකිනෙකට පුරුක් බැඳුණු දම්වැලක් සේ දිගටම රටට බලපානු ඇත. වර්තමානයේ රට වැටී ඇති තත්ත්වය එයට හොඳ උදාහරණයකි. මෙහිදී සිදුව ඇත්තේ රටේ සංසරණය වන මුදල් ප්‍රමාණය අධික වන නමුත් මුදලේ අගය පහළ වැටීමයි. එවිට භාණ්ඩ ස්වල්පයක් මිලට ගැනීමට විශාල මුදලක් පාවිච්චි කිරීමට සිදුවේ. ඍජුම උදාහරණයක් වශයෙන් කිවහොත් රජයේ සේවකයන්ට රැපියල් 10000ක වැටුප් වැඩිකිරීමට පෙර මිලට ගත් භාණ්ඩවල වෙළෙඳ අගය වැටුප් වැඩිකළාට පසු ඉහළ ගොස් ඇත. එහිදී වැඩිකළ වැටුපේ ක්‍රය ශක්තිය හෙවත් මිලදී ගැනීමේ හැකියාව පහළ ගොස් තිබේ. මුදල් නෝට්ටු අතට ලැබුණද ප්‍රතිලය අවම වේ. මෙය එක්තරා පැත්තකින් ඔවුන් රැවටීමකි.
එසේම මුදල් නෝට්ටු අලුතින් මුද්‍රණය කරන තවත් හේතුවක් වන්නේ ව්‍යවහාරයේදී දුර්වර්ණව ගිය පළුදු වූ මුදල් නෝට්ටු වෙනුවට අලුත් නෝට්ටු මුද්‍රණය කිරීමය. මුදල් අතින් අත සංසරණය වීමේදී ඒවා දුර්වර්ණවීම, ඉරීයාම, පළුදු වීම ආදිය සිදුවේ. ඇතැමුන් මුදල් නෝට්ටු මත අත්සන් කිරීමට මෙන්ම විවිධ දේ ලිවීමටද පුරුදු වී සිටී. මේ නිසා එවැනි මුදල් නෝට්ටු වාණිජ බැංකුවලින් ශ්‍රී ලංකා මහ බැංකුවට එවූ විට ඒවා විනාශ කර ඒ වෙනුවට එම වටිනාකමෙන් යුතු නෝට්ටු අලුතෙන් මුද්‍රණය කරයි. මෙහිදී විනාශ කළ ප්‍රමාණයේ වටිනාකමටම නව නෝට්ටු එළි දක්වන නිසා රටේ මුදල් සැපයුමේ වෙනසක් ඒ හේතුවෙන් සිදු නොවේ.
එසේ වුවද රටට දරාගත නොහැකි වන තරමට මුදල් නෝට්ටු මුද්‍රණය කෙරේ නම් එයින් සිදුවන්නේ යහපතට වඩා අයහපතක් බව කිවයුතුය.
♦ යසවර්ධන රුද්රිගු