2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා

පාස්කුවේ එන චොකලට් බිත්තර

 2017 අප්‍රේල් 22 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 276

පාස්කු උත්සවය වූ කලී යේසුස් වහන්සේ මරණයෙන් උත්ථානය වීම සමරනු ලබන කිතුනු උත්සවයයි. බයිබලයට අනුව යේසුස් වහන්සේ මහ සිකුරාදා කුරුසයේදී මරණයට පත්ව ඇති අතර යළි ජීවය ලබා ඇත්තේ දින තුනකට පසුවය. වසන්තයේ පුරහඳ උදාවන දිනය අනුව මාර්තු 21 සහ අප්‍රේල් 25 යන කාලය තුළ පාස්කු දිනය යෙදේ. පාස්කුව නත්තල මෙන් අවුරුද්දේ එක් නිශ්චිත දිනයක පැවැත්වෙන උත්සවයක් නොවේ.

බොහෝ රටවල පාස්කු උත්සවය පවත්වද්දී සංකේත ලෙස බිත්තර හා හාවුන් යොදා ගනී. බිත්තර වලින් අලුත් ජීවීන් බිහිවීම සංකේතවත් කරන අතර හාවුන් පැටවුන් බොහෝ ප්‍රමාණයක් බිහිකරන නිසා උන්ගෙන් සාරවත් පලදාවක් සංකේතවත් වෙයි. සාරවත් කාලයක් පවතින වසන්ත කාලය මේ සියල්ලන්ගෙන් සංකේතවත් වෙයි.

පාස්කු මංගල්‍ය සමග අසාමාන්‍ය චාරිත්‍ර බැඳී පවතී. ඊස්ටර් බිත්තර හෙවත් පාස්කු බිත්තර ද එවැන්නකි. යුරෝපීය පේගන් අය වසන්ත විශූවය සැමරීම පිණිස පාට කළ බිත්තර ඔස්ටාරා දෙවඟනට පූජා කර ඇත. වෙනත් බොහෝ ශිෂ්ටාචාරවලත් වසන්ත දෙවඟන පිදීමට මෙම බිත්තර යොදාගෙන ඇත. පාස්කු උත්සවය සඳහා මෙම බිත්තර පැමිණෙන්නේ යුක්‍රේනියානුවන්ගෙනි. යුක්‍රේනියානු ජන කතාවකට අනුව එක්තරා රාක්ෂයෙක් ලෝකය ගිල ගැනීමට බලාසිට ඇත. එම රාක්ෂයා බැඳ ඇති යදම් වලින් නිදහස් වීමට නිරතුරුව උත්සාහ දරා ඇත. සෑම වසන්ත විශූවයකදීම මෙම යදම් නැවත ශක්තිමත් කරන්නේ එම අවුරුද්දේ හුවමාරු කරගන්නා බිත්තර ගණනට අනුවය.

බටහිර රටවල බොහෝ දෙනා පාස්කු මංගල්‍යය සමයේ චොකලට් බිත්තර අනුභව කරති. පාස්කු මංගල්‍යයට පෙර සතියේ බිත්තර අනුභව කිරීම අතීතයේ අකැප විය. එම කාලය තුළ දමන ලද බිත්තර සුරැකිව තබා සරසන ලදුව ශුද්ධ වූ සතියේ බිත්තර ලෙස දරුවන්ට තෑගි කෙරිණි. සැටින් රෙදි වලින් ආවරණය කළ කාඩ්බෝඩ් බිත්තර තුළ පාස්කු තෑගි තැන්පත් කිරීම අරඹා ඇත්තේ වික්ටෝරියානුවන් විසිනි. 19 වන සියවසේදී චොක්ලට් වලින් සැකසූ ඊස්ටර් බිත්තර ප්‍රංශයේ සහ ජර්මනියේ පළමුවරට දැකගත හැකි විය. එම චොකලට් බිත්තර තිත්ත රසකින් මෙන්ම දැඩි බවකින් යුක්ත විය. චොකලට් සැකසීමේ තාක්ෂණ ක්‍රමවේද දියුණුවීමත් සමග අද වනවිට වෙළඳ පොළේ දැකගත හැකි ආකාරයේ අභ්‍යන්තර කුහර සහිත චොකලට් බිත්තර බිහිවිය. එම චොකලට් බිත්තර ඉතා ජනප්‍රියත්වයට පත්වූ අතර අදටත් එම ජනප්‍රියත්වය එලෙසින්ම පවතී.

පාස්කු බිත්තර පිළිබඳ අදහස පැරණි දේවස්ථාන සිරිතක් නිසා ඇති වූවකි. අළු බදාදා සිට පාස්කුව දක්වා වන හතළිස් දවසෙ උපවාස කාලය තුළ බිත්තර තෑගි දීම බ්‍රිතාන්‍යයට හුරු වී වසර 100ක් පමණ වේ. මෙය ජර්මනියේ හුරු වූ සිරිතකි. බිත්තරය නව ජීවයක උපත සංකේතවත් කරන අතර නව යුගයක නව උදාවක් පිළිබඳ හැඟීම ද ජනිත කරයි.

 තනුජා ලුම්බිණි