
අන්තර්ජාතික අවධානය දිනූ සිංහරාජ වනාන්තරය හෙක්ටයාර් 11,250ක් පුරා පැතිරුණු පහතරට වැසි වනාන්තර පරිසර කලාපයේ වන රක්ෂිතයකි. ප්‍රදේශයට පිවිසීමේ අපහසුතා නිසාම වාණිජකරණය නොවූ භූමිය 1978 වසරේදී ජෛවගෝල රක්ෂිතයක් වශයෙන්ද 1988 වසරේදී ලෝක උරුම අඩවියක් ලෙසද යුනෙස්කෝ සංවිධානය මගින් නම් කෙරිණි.
ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සතුන් රාශියක් ගහණ එම සිංහරාජ රක්ෂිතයේ යෝධ මීවන ඇතුළු ශාක ගණනාවක් සිංහරාජයටම ආවේණිකය. මෙම ආවේණික මීවන ශාක සොරකම් කිරීම සම්බන්ධයෙන් ජර්මන් ජාතික වෛද්‍යවරයකු මෙන්ම උද්භිද විද්‍යා මහාචාර්යවරයකු වන අයකුද ඔහුගේ බිරියද අධිකරණයට ඉදිරිපත් කෙරුණේ වසර එකහමාරකට පමණ පෙරදීය. ඔවුන්ට එරෙහිව ඇසූ නඩුවෙන් පසු පැනවුණු දඩ මුදල වන අපරාධයක් වෙනුවෙන් මෙරට පැනවූ ඉහළම දඩ මුදලය. එය රුපියල් දහ අට ලක්ෂ හතළිස් දහසකි. ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රථයද රාජසන්තක කරනු ලැබීය.
මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ජර්මනියේ වෛද්‍යවරයා උද්භිද විද්‍යා මහාචාර්යවරයකු වශයෙන්ද කටයුතු කරයි. ඔහුගේ බිරිය ගණකාධිකාරිණියකි. ඔවුන් දෙදෙනාගේ පුත්‍රයා එරට විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන අතර ඔහුගේ පෙම්වතිය ඇතුළු සිවුදෙනා මෙරට සංචාරයකට පැමිණ තිබුණේ 2015 වසරේ දෙසැම්බර් මාසයේදීය. කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයෙන් පැමිණි පිරිස ඒ ආසන්නයේ කුලී රථ සේවා සපයන ආයතනයකින් සුඛෝපභෝගී මෝටර් රථයක් වෙන් කරගෙන ගමන් කර තිබුණේ බෙන්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් වෙතය.
මහාචාර්යවරයාගේ පුත්‍රයාට ජාත්‍යන්තර වශයෙන් රිය පැදවිය හැකි බලපත්‍රයක් තිබූ බැවින් මෝටර් රථය පදවාගන යනු ලැබුවේ ඔහු විසිනි.
නවාතැන් ගෙන සිටි හෝටලයේ සිට සංචාරකයන් පිරිස අවස්ථා කීපයක් සිංහරාජ වනාන්තරය නැරඹීමට ගොස් තිබුණේ ඉන්පසුවය. ඒ සඳහා මෙරට මඟ පෙන්වන්නකුගේ සහාය ලබාගන්නට ඔවුන් ක්‍රියාකර තිබිණි. එසේ පිරිස සිංහරාජ වනයට ඇතුල් වුවද මහාචාර්යවරයාගේ බිරිය අවස්ථා කීපයකදීම වනයට ඇතුළු නොවූයේ සෞඛ්‍ය ගැටලුවක් නිසාය.
එසේ රක්ෂිතයට ඇතුළු වූ සංචාරක පිරිසේ පියා, පුත්‍රයා හා ඔහුගේ පෙම්වතිය නැවත රක්ෂිතයෙන් පිටට පැමිණෙන විට විවිධ ශාක කොටස් රැගෙන එන්නට උත්සාහ ගන්නවා දුටු මග පෙන්වන්නා එය නොකරන ලෙස උපදෙස් දුන්නද ඔවුන් එය ගණනකට ගෙන නොතිබුණි. දිගින් දිගටම සිය උපදෙස් පිළිනොපැද තහනම් ක්‍රියාවක් සිදුකරන බව තේරුම් ගත් මඟපෙන්වන තැනැත්තා රක්ෂිත පිවිසුමේදී ආරක්ෂක නිලධාරීන්ට සිද්ධිය පවසා ඇත. වහා ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ නිලධාරීහු සිදුවීම සම්බන්ධයෙන් කලවාන අඩවි වන නිලධාරි ලක්ෂ්මන් රත්නවීර මහතාට දැනුම් දුන්හ.
“සිංහරාජ රක්ෂිතයට ඇතුළුවෙන ගේට්ටුවේ ආරක්ෂක නිලධාරීන්ගෙන් හදිසි පණිවුඩයක් ලැබුණා. අප එතනට යද්දි විදේශිකයන් හතර දෙනෙක් රඳවාගෙන සිටියා. ඔවුන් පරීක්ෂාවට ලක් කරද්දී ඔවුන් ළඟ මීවන ශාක කීපයක් සූක්ෂමව සඟවාගෙන හිටියා. පරීක්ෂා කරද්දී තේරුණේ මේ ශාක සිංහරාජයට ආවේණික ඒවා බව. ශාක කොටස් හානි නොවන විදිහට තෙත පුළුංවල ඔතලා තිබුණා.
ඒ වෙලාවේ ඔවුන් සතුව සාම්පල 6ක් පමණ තිබුණා. භාණ්ඩ සමඟ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළා. යැයි කලවාන අඩවි වන නිලධාරී ලක්ෂ්මන් රත්නවීර මහතා පැවසීය.
එහිදී ජර්මානු තානාපති කාර්යාලය හරහා සැකකරුවන් වෙනුවෙන් නීතිඥවරයෙක් පෙනී සිටියේය. කලවාන අඩවි වන නිලධාරීන් ඉල්ලා සිටියේ සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්‍ර නිදහස් නොකරන ලෙසත් ඔවුන්ට ඇප නොදෙන ලෙසත්ය. මේ අතර ඔවුන් ප්‍රවාහනය සඳහා යොදාගත් මෝටර් රථය සහ නවාතැන්ගෙන සිටි හෝටල් කාමරය පරීක්ෂා කරන්නට උසාවි නියෝගය අනුව ක්‍රියා කෙරිණි.
“මුලදි හෝටල් කාර්ය මණ්ඩලය අපට අවසර දුන්නේ නෑ. උසාවි නියෝගය නිසා අවස්ථාව ලැබුණා. අපි නියමිත කාමරය සොයාගෙන ගියා. යද්දී එකපාරටම මහාචාර්යවරයා කාමරයේ ඉද්දි ඔහුගේ බිරිය එළියට ඇවිත් දොර වැසුවා. ඒත් සමඟ කාමරය ඇතුළේ නාන කාමරයේ වතුර ප්ලෂ් කරනවා ඇහුණා.
එක දිගට කීප වතාවක් ඇහුණා. නවතින බවක් පේන්නෙ නෑ. අපි බලෙන්ම වගේ කාමරයට ඇතුළු වුණා. ඒ වෙද්දි මහාචාර්යවරයා ශාක බීජානු රාශියක් එක්ක නාන කාමරයේ හිටියා. ඔහු සැරින් සැරේට කීපයක් කොමඩ් එකට දාලා වතුර ගහනවා. අපි මැදිහත් වෙලා ඒක නවතා දැම්මා. සාම්පල් 10ක් විතර බේරාගන්න හැකිවුණා. බෝතල්, කුඩා කෝප්ප සහ පුළුන්වල ඒවා රඳවා තිබුණා. මේ වෙලාවේ හෝටලයේ කළමනාකරැත් ආවා. ඔහුත් තත්ත්වය අවබෝධ කොටගෙන අපට උදව් කළා. මේ ජාන මංකොල්ලයට විරුද්ධව “බී” වාර්තාවක් මගින් රත්නපුරය අධිකරණයට ඉදිරිපත් කළා. නඩු භාණඩ වශයෙන් හිටවා තිබූ මීවන ගස් දෙකක්ද ඉදිරිපත් කළා.”
වෛද්‍ය විද්‍යාව සහ උද්භිද විද්‍යාව ක්ෂේත්‍ර දෙකකි. මේ පුද්ගලයා අදාළ විෂයන් දෙකෙහි නිපුණත්වයට පත්ව උද්භිද විද්‍යා මහාචාර්යවරයෙක් බවට පත්වී ඇත්තේ ලොව දුලබ කීපදෙනෙකු අතරට එක්වෙමිනි. සැකකරුවන් පිරිස රත්නපුරය අධිකරණයට ඉදිරිපත් කළ පසුව ගිය වසරේ ජනවාරි මාසයේදී රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නට නියෝග කෙරිණ. සැකකරුවන් කුරුවිට බන්ධනාගාර ගතව සිටියදී කලවාන අඩවි වන නිලධාරීන් සැකකරුවන් භාවිතා කළ මෝටර් රථය පරීක්ෂාවට ලක් කළේද උසාවි නියෝගය මතය.
එහිදී මෝටර් රථයේ සඟවා තිබූ ශාක බීජානු සාම්පල 20ක් පමණද සොයාගැණින. මේ වනවිට අවස්ථා 3දී අත්අඩංගුවට ගෙන තිබූ බීජානු සාම්පල ගණන 35ට අධිකය.
“මේ බීජානු පිළිබඳ පරීක්ෂාවකට අප ඒවා පේරාදෙණිය ජාතික උද්භිත උද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් පෙරමුණුගම මහතාට යොමුකළා. ඔහු පවසන්නේ මෙම මීවන ශාක හා බීජානු ඇතැම් ඒවා සිංහරාජයට පමණක් ආවේණික බවයි. සමහර මීවන වර්ග ඉතා වටිනා ඖෂධීය ගුණයෙන් යුක්තයි. ඔවුන්ගේ උත්සාහය ජාන සොරකම බව පැහැදිලියි. මේ නිසා ඔවුන්ට නියම වූ දඩය රුපියල් 18,40,000ක්. මේක ලංකාවේ වන අපරාධයක් වෙනුවෙන් නියම කළ ඉහළම දඩ මුදලයි. ජර්මන් ජාතිකයන් හතර දෙනාගෙන් මහාචාර්යවරයාගේ පුත්‍රයා සහ පෙම්වතිය නිදහස් වුණා. මහාචාර්යවරයා වරද පිළිගත්තා. පසුව මේ සඳහා යොදාගත් මෝටර් රථයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අධිකරණයට දැනුම් දුන් පසුව එහි හිමිකාරියගෙන් කරුණු විමසුවා.
ඇය හිතවතකු මගින් වාහනය කුලී රථ සේවයට යොදා තිබුණා. නමුත් පසු විපරමක් කරලා නෑ. මේ නිසා ලක්ෂ 70ක් පමණ වටිනා මෝටර් රථය වන ආඥා පනත යටතේ රාජසන්තක කරන්නට නියම කෙරුණා. යැයි ලක්ෂ්මන් රත්නවීර මහතා පැවසීය.
මෙම ජර්මන් ජාතිකයා බීජානු ලබාගෙන තිබූ ඇතැම් මීවන ශාක සිංහල වෙදකමේ දණහිස් අමාරුව සඳහා යෝග්‍ය ඖෂධයකි. මෙවැනි පුද්ගලයන් ස්වභාවික ඖෂධ රසායනික ක්‍රමවේදයන්ට ලක්කර නවීන තාක්ෂණයෙන් කෘත්‍රිම ඖෂධ නිපදවන බවත් ඒ සඳහා විදේශීය ප්‍රධාන පෙළේ ඖෂධ සමාගම් වෛද්‍යවරැන්ට හා උද්භිද විද්‍යාඥයින්ට විශාල මුදල් ගෙවන බවත් වාර්තා වේ. එවැනි ජාවාරමක් සිදු කරන්නට ගිය අවස්ථාවක් වළක්වා ඊට එරෙහි ක්‍රියාත්මක වූ නඩුව අවුරුදු එකහමාරක් විමසා තීණ්දුව ලබාදුන්නේ ඉකුත් 22 වැනිදාය.
දිසා වන නිලධාරි සුමිත්ත ගුණතිලක, සහකාර දිසා වන නිලධාරි තිස්ස ඩයස්, කලවාන අඩවි වන නිලධාරි ලක්ෂ්මන් රත්නවීර ඇතුළු නිලධාරීන්ගේ මෙහෙයවීමෙන් සැකකරුවන්ට එරෙහි චෝදනා 14ක් අධිකරණයේදී ඔප්පු කෙරිණි.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර