2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා

ඉස්කෝලෙටත් පාට අැඳුම්

 2017 අප්‍රේල් 08 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 266

කොළඹ පාසල්වල දරුවන්ට ස්මාර්ට් පන්ති කාමර, ටැබ් ලබාදෙද්දී ශ්‍රී ලාංකික ජාතික අධ්‍යාපනය තාක්ෂණයේ උපරිමයෙන් හා පහසුකම්වලින් සන්නද්ධ යැයි කවර හෝ බලධරයකු සිතනවා නම් එය මිථ්‍යාවකි. අගනගරයේ පාසල් දරුවන් සුපිරි වරප්‍රසාද සහිත අධ්‍යාපනයකට වග වෙද්දී වතුර ටිකක් බොන්නට ජල කරාමයක් නැති, වැසිකිළි පහසුකම් නැති, රිලවුන් වදුරන් පැන කැත කරන පන්ති කාමර උදේට සෝදා පන්තිකාමර වේලෙන තුරු අව්කූඨකේ සිට සිප් සතර සොයන, ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව වැනි අත්‍යවශ්‍ය විෂයන්ටවත් ගුරුවරු නැතුව හූල්ලන දරුවෝද අපමණක් සිටිති. උදේට ඒදඬු දිගේ, මහපාරවල් දිගේ කිලෝමීටර් ගණන් මඟ ගෙවා පාසලට පැමිණෙන දරුවෝද සිටිති. වරප්‍රසාද හා සමානාත්මතාවය අතින් ඇති මේ ඝට්ටනය අගනගරයේත් නගරාශ්‍රිතවත් ඇති පාසල් හා ගම්බද පාසල් දරුවෝ අරුම පුදුම හා කටුක අයුරකින් වෙන් කර ඇත. කොළඹ දරුවන්ට ඇති පහසුකම්, සම්ප්‍රදායන්, බිග් මැච්, ස්කූල් ක්ලබ් හා ඉංග්‍රීසි මේ ඈ කී නොකී තවත් බොහෝ දෑ ඒ ගමේ දරුවන්ට උභතෝකෝටියකි. අපභ්‍රංසයකි. එහෙත් ඒ උභතෝකෝටිය හා අපභ්‍රංසය මැද ගමේ පාසලින් උගත් අකුරින් ලොව දිනුවෝද බිහිවූහ. ඒ වෙනමම කතාවකි.

ගමේ පාසල් දරුවන් අගනුවර හා වෙනත් නගරාශ්‍රිත පාසල් දරුවන් අතර සමානාත්මතාවයක් තිබුණානම් ඒ ඔවුන්ට හා මොවුන්ටත් උරුම නිල ඇඳුම පමණය. එහෙත් දැන් එයටත් අනේකවිධ විච්චූරණ එක් කිරීමේ යෝජනාවක් පිළිබඳව කතාබහක් මතු වී තිබේ.

ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වය, සමාජයීය ගැටලුවකදී, අනතුරකදී හෝ වෙනත් ප්‍රශ්නයකදී අවශ්‍ය අනන්‍යතාවය හා ආරක්ෂාව, පිළිගැනීම වැනි කී නොකි කරුණු රැසක් පදනම් කරගෙන සුදුපාට නිල ඇඳුමේ විශේෂ අනන්‍යතාවයක් හා වැදගත්කමක් විය. අනෙක් අතට පාසල් නිල ඇඳුම තුළින් පන්ති භේදය හෝ ඇති නැති පරතරය පිළිබිඹු වේනම්, පාසල් නිල ඇඳුම විශේෂයෙන්ම දුප්පත් පාසල් දරුවන්ගේ මනසට මානසික පීඩනයක් බවට පත්වන කරුණක් වේනම් එතැන පැහැදිලිවම ගැටලුවක් පවතී.

යහපත් ආකල්පයක පිහිටා යහපත් සංශෝධන පාසල් දරුවන් වෙනුවෙන් සිදුවේනම් කවර ආණ්ඩුවක් විසින් එකී සංශෝධන සිදුකළත් අපට ගැටලුවක් නැත. එහෙත් රටක අධ්‍යාපනයක ආර්ථිකය හා සෞඛ්‍ය වැනි ක්ෂේත්‍ර ආණ්ඩු මාරු සමඟ වෙනස් නොවිය යුතු ප්‍රතිපත්ති මත පිහිටිය යුත්තක් හා සුබවාදීව යාවත්කාලීන විය යුත්තක් බවද අපි අවධාරණය කරනු කැමැත්තෙමු. එමෙන්ම එවන් ක්ෂේත්‍ර තුළට දේශපාලන අරමුණු සම්බන්ධ නොවිය යුතු වගද අපි විශ්වාස කරමු.
වර්තමාන ශ්‍රී ලංකාවේ පාසල් නිල ඇඳුම සමාජයේ මෙන්ම ජාතික දේශපාලනයේද කතාබහට ලක්වූ අවස්ථා බොහෝමයක් ඇත. නිදහස් අධ්‍යාපනයෙන් වසර කිහිපයකට පසුව සිසුන් වෙත රජය විසින් නොමිලයේ ලබාදුන් පාසල් නිල ඇඳුම පසුගිය වසර දෙක තුන තුළ වඩාත් කතාබහට ලක්වූයේ වවුචර් ක්‍රමයට එය ලබාදීමට වර්තමාන රජය විසින් පියවර ගැනීමත් සමඟය. ගුරු සංගම්, ඇතැම් දේශපාලනඥයන් මෙන්ම ඇතැම් මවුපියන්ද පාසල් නිල ඇඳුම වව්චර් ක්‍රමයට ලබාදීම ගැන රජයට චෝදනා මුඛයෙන් යුතුව දොස් නැගූහ.

නැවතද පාසල් නිල ඇඳුම ගැන කතාබහ කරළියට පැමිණ ඇත්තේ නිල ඇඳුමේ වර්ණය වෙනස් කිරීම පිළිබඳව පසුගියදා වත්මන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සිදුකළ ප්‍රකාශය සමඟිනි.
වසර ගණනක් මුළුල්ලේ සිටම අපේ රටේ පාසල් නිල ඇඳුම සඳහා භාවිත වූයේ සුදු වර්ණයයි. පෞද්ගලික පාසල් හැරුණ විට අනෙකුත් සියලුම පාසල්වල නිල ඇඳුම ලෙස භාවිත වූයේ සුදු ඇඳුමය. වර්තමාන අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අදහස වන්නේ පාසල් ළමුන්ගේ නිල ඇඳුම් වර්ණවලින් ලබාදීම සුදුසු බවයි. ඒ සඳහා භාවිත කළ යුතු වර්ණ 5ක් පිළිබඳව සොයාබලන බවද ඔහු පසුගියදා පවසා තිබිණි. පාසල් ළමුන් ක්‍රීඩා හා බාහිර ක්‍රියාකාරකම්වල නිරතවීමේදී සුදු නිල ඇඳුම ඉක්මණින්ම අපිරිසුදු වීම මෙම අදහස ඉදිරිපත් කිරීමට එක් හේතුවක් බව කියයි. නමුත් පාසල් ගුරුවරුන්ගෙන්, මාපියන්ගෙන් සහ ළමුන්ගෙන් මේ පිළිබඳව මත විමසුමක් සිදුකළ යුතු බවද බොහෝ දෙනාගේ අදහස වී තිබේ.

කෙසේ වෙතත් මෙම තීරණයට විරුද්ධ වූ නුගේගොඩ ප්‍රදේශයේ මව්පියන් පිරිසක් පැවසුවේ පාසල් නිල ඇඳුම වෙනස් කළහොත් දරුවන් සමඟ පාරට බසින බවයි.
වත්මන් ලංකාවේ පාසල් නිල ඇඳුම දරුවන්ට උචිත බවත් මේ නිල ඇඳුම ඇඳ සිටින්නේ පාසල් දරුවකු බවට ඕනෑම තැනකදී පැහැදිලිවම වෙන්කොට හඳුනාගත හැකි බවත් ඔවුහු පැවසූහ.
බොහෝ කාලයක් මුළුල්ලේම පාසල් දරුවන්ගේ අනන්‍යතාවය බවට පත්ව තිබූ සුදු නිල ඇඳුම වෙනත් වර්ණයකට හැරවීමේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ අදහස පිළිබඳව අපි පාර්ශ්ව කිහිපයකින්ම මෙලෙස අදහස් විමසා බැලුවෙමු.

හිතුමතේ මෙහෙම තීන්දු ගන්නවාට විරුද්ධයි
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්:

මේ පාසල් නිල ඇඳුම වෙනස් කිරීම කියන එක මේ මොහොතේ අධ්‍යාපනයේ තියෙන ප්‍රමුඛතම ගැටලුව නොවෙයි. මෙයට වඩා ගැටලු තියෙනවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ. මේ නිල ඇඳුමෙන් තමයි පාසල් ශිෂ්‍යයන් අඳුරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමයි පාසල් තුළ සමානාත්මතාවයක් ඇතිකරලා තමයි මේ විදියේ තීන්දු තීරණ ගන්නත් ඕන. ඒ වගේම තමයි අධ්‍යාපනය පැත්තෙන් තීන්දු තීරණ ගන්නකොට ඒක හොඳට හිතලා බලලා තමයි ගන්න ඕන. හිතුමතේට එකපාර තීන්දු තීරණ අරන් වැඩකරන එක ගැන අපි අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා.

මේක විහිළුවක්
ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමයේ සභාපති මොහාන් වීරසිංහ:

මෙතෙක් කල් පාසල් ළමුන් පාසලට ඇඳගෙන ගිය සුදු ඇඳුම වෙනුවට විවිධ වර්ණයෙන් නිල ඇඳුම් ලබාදීමට අදහස් කිරීම පවා අපි දකින්නේ විහිළුවක් විදියට. මොකද මේ දරුවන්ගේ නිල ඇඳුමේ වර්ණය වෙනස් කළ පමණින්ම පාසල් අධ්‍යාපනය තුළ තිබෙන ගැටලු විසඳෙන්නේ නැහැ.

සුදු ඇඳුම ළමුන්ගේ සෞඛ්‍යයට හොඳයි
රජරට විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ උපකුලපති වෛද්‍ය ජයන්තලාල් රත්නසේකර:
පාසල් නිල ඇඳුම සාමාන්‍යයෙන් සම්මත කරලා තියෙන්නේ සුදු කියන වර්ණයට. මොකද සුදු වර්ණය පරිසරයේ පාරජම්බුල විකිරණ පරාවර්තනය කරනවා. එනිසා ළමුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට හොඳයි. ඒ වගේම ළමුන් දහවල් කාලයේදී විවිධ ක්‍රියාකාරකම්වල යෙදෙනවා. ඉතින් ඒ උෂ්ණත්වය අඩුකිරීම සඳහා තමයි මේ සුදු ඇඳුම භාවිතා කරන්නේ. ක්‍රීඩකයන් පවා දහවල් කාලයට පිට්ටනියට පවා අඳින්නේ සුදු පැහැති ඇඳුම්. ඒ අන් කවරක් නිසාවත් නොව තාප විකිරණ පරාවර්තනය කරන නිසා. ඒ වගේම තමයි දැන් කාලයක් මුළුල්ලේ ඉඳන්ම සුදු ඇඳුම අපගේ ඇහැට හුුරුයි. ඉතින් මේ පිළිබඳව තීරණයක් ගන්න කළින් ටිකක් හිතලා බලලා හිටියනම් හොඳයි කියන එක තමයි මගේ අදහස.

සුදු තමයි අනන්‍යතාව
මනෝ උපදේශකයකු හා අධ්‍යාපනඥ ධර්මදාස ගලබොඩ:

මේ සුදු ඇඳුම පාසල් නිල ඇඳුම ලෙස භාවිත කිරීම ඉතා යෝග්‍යයි කියලා තමයි මම හිතන්නේ. මොකද ඒකට විශේෂ හේතු ගණනාවක්ම තියෙනවා. නමුත් මේ සුදු ඇඳුම පොඩ්ඩක් හරි කිලිටු වෙනකොට ළමයා සෝදා ගන්නවා. අනික දැන් සුදු ඇඳුම තමයි පාසල් ළමුන්ගේ අනන්‍යතාවය වෙලා තියෙන්නේ. මුළු ලෝකෙන්ම ලංකාවේ විතරයි මේ විදියේ අඳුමක් තියෙන්නේ. අනික පාසල් නිමවුණු වෙලාවට මේ සුදු ඇඳුම ඇඳගත් ළමයි බලන්නත් ලස්සනයි.
සමාජයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් විසින් සිදුකරන ලද ඉහත ප්‍රකාශයන් තුළින් අපට ගම්‍ය වන්නේ අධ්‍යාපන අමාත්‍යවරයා අදහස් කරන වර්ණ නිල ඇඳුම් සංකල්පය මෙරට පාසල් පද්ධතියට හඳුන්වාදීම ගැටලුවක් විය හැකි බවයි. ලොව අනිකුත් රටවල විවිධ වර්ණයේ ඇඳුම් භාවිත කළද අප රටෙහි පාසල් නිල ඇඳුම වෙනස් කරනවාට බොහෝ දෙනාගේ අකමැත්ත පළවන බව පෙනේ. 

වත්මන් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගැටලු බොහෝමයක් දිනපතාම පාහේ මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අපට නිරතුරුවම දැනගන්නට ලැබේ. එවැනි වකවානුවක් තුළ පාසල් සුදු නිල ඇඳුම වර්ණ ගැන්වීමට වඩා අධ්‍යාපන බලධාරීන් විසින් සිදුකළ යුතු දේ බොහෝමයක් ඇති බව තවත් පිරිසකගේ අදහසය.

රටක ඉදිරි ගමන් මග රඳා පවතින්නේ එරට දරුවන් මතය යන කියමන පෙර සිටම අපි අසා ඇත්තෙමු. දරුවන්ට නිසි දේ ලබාදීම අප සතු වූ යුතුකමකි. බලයට පත්වන සෑම ආණ්ඩුවක්ම ඉතා විශාල මුදල් ප්‍රමාණයක් අයවැය තුළින් අධ්‍යාපනයට යෝජනා කරන්නේද දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් වර්ධනය කිරීම සඳහාය. පාසල් නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධෆයන් තීන්දු, තීරණ ගතයුතු වන්නේ විධිමත් අධ්‍යාපනයකින් පසුව බව පැහැදිලිය.

 හසිත් අංජන