
මෙරට වී නිෂ්පාදනයේ ප්‍රමුඛස්ථානයක් මෙන්ම සහල් නිෂ්පාදන කර්මාන්තයේද ප්‍රධාන තැනක් පොළොන්නරුවට හිමිව තිබෙනුයේ දිගුකලක පටන්ය. වෙළෙඳපොළේ ඉතාමත් ජනප්‍රිය වෙළෙඳ නාම සහිත ප්‍රකට සහල් වර්ග බොහොමයක් මෙබිමේ නිපදවෙන ඒවායි. දකුණු ආසියාවේ විශාලතම සහල් නිෂ්පාදන කර්මාන්ත ආයතනය නොහොත් සහල් මෝල පොළොන්නරුවේ වැලිකන්ද ප්‍රදේශයේ පිහිටා තිබෙන බව ඇතැම්විට බොහෝ දෙනා නොදන්නවා විය හැක.
මේ දිගහැරුම සහල් නිෂ්පාදනය සම්බන්ධයෙන් හිමිව තිබෙන එම අද්විතීය ස්ථානය පිළිබඳව නොව එයට බැහැරින් ඇසෙන අප්‍රකට කථාන්තරයක් වන සහල් මෝල් වැසීයාමේ ඛේදවාචකයක් ගැනය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙතෙක් පවත්වාගෙන ගිය සහල් මෝල් 150ක් පමණ මේ වනවිට වැසී ගොස් ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය කියයි. එම සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පසුගියදා මේ බව මාධ්‍ය මගින් රටට අනාවරණය කළේය.
ඇසුරුම දේශීය: ඇතුළේ රටහාල්
පොළොන්නරුවේ, කදුරුවෙල මුස්ලිම් කොළණිය යනු ලොකු කුඩා සහල් මෝල් රැසක් පිහිටා තිබෙන සහල් නිෂ්පාදන ජනපදයක් වැනි කලාපයෙකි. කදුරුවෙල මුස්ලිම් කොළණිය සහල් නිෂ්පාදන කර්මාන්තයේ පුරෝගාමීන් වෙසෙන ප්‍රදේශයක් බවට පත්ව ඇත්තේ අද, ඊයේ පටන් නොව දීර්ඝ කාලයක සිටය. මේ වනවිට කදුරුවෙල මුස්ලිම් කොළණියේ පමණක් සහල් මෝල් 50ක් පමණ වැසීගොස් තිබෙන බව මුදිත් පෙරේරා මහතා පවසයි. මෙසේ වැසී ගොස් ඇත්තේ මෑතක ආරම්භ කරන ලද සහල් මෝල් හෝ සහල් නිෂ්පාදන කර්මාන්තයට ආධුනිකයන් විසින් පවත්වාගෙන ගිය ව්‍යාපාරද නොවීම විශේෂත්වයකි.
එපමණක් නොව දැනට පවත්වාගෙන යන තවත් සහල් මෝල් සීයකට අධික සංඛ්‍යාවක් ඉදිරි දින කිහිපය තුළ වැසීයාමේ බරපතළ අවදානමක් පවතින බවද මුදිත් පෙරේරා මහතා පෙන්වා දෙයි.
සහල් මෝල් වැසීයාම හෙවත් පොළොන්නරුවේ සහල් නිෂ්පාදන කර්මාන්තයට කණකොකා හැඬීමේ කාරණයට මුල් වී ඇති හේතු ගණනාවක් තිබෙන බව මුදිත් පෙර්රා මහතා මෙන්ම එම වැසුණු සහල් මෝල් හිමියන් කිහිප දෙනකුද සමඟ කළ කතාබහේදී අපට පැහැදිලි විය.
මේ දිනවල සහල් මෝල් වැසීයාමට ප්‍රධාන හේතුව පිටරටවලින් මෙරට සහල් ගෙන්වීම සහ එය දිගින් දිගටම සීමාවකින් තොරව දේශීය වෙළෙඳපොළට මුදාහැරීම බව මුදිත් පෙරේරා මහතා කීය.
“පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විතරක් මේ වෙනකොට සුළු හා මධ්‍ය පරිමාණයේ සහල් මෝල් 150ක් විතර වැහිලා ගිහින් තිබෙනවා. මෙයින් වැඩිම වී මෝල් ප්‍රමාණයක් අයත් වෙන්නේ කදුරුවෙල මුස්ලිම් කොළණියටය. මුස්ලිම් කොළණියේ මේ වෙනකොට වැහිලා තිබෙන වී මෝල් ගණන 50ක් පමණ වෙනවා. දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රදේශවලත් මේ විදියට පවත්වාගෙන ගිය මෝල් වැහිලා තිබෙනවා. එපමණක් නොවෙයි ඉදිරි දිනවලදී, ඉතාමත්ම ඉක්මණින් තවත් වී මෝල් 100ක් විතර වැසී යන අවදානමක් තිබෙනවා. මේක ඉතාමත්ම බරපතළ කාරණයක්.
රජය මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතුයි. මේ වෙනකොට සීමාවකින් තොරව පිටරටින් හාල් ගෙන්වනවා. ඒවා සීමාවක් නැතිව වෙළෙඳපොළට මුදාහරිනවා. සුළු හා මධ්‍ය පරිමාණ මෝල් වැසීයාමට මෙය ඉතාමත්ම තදින් බලපා තිබෙනවා. මේ ආනයනික සහල් සමඟ අපේ රටේ සහල් කලවම් කරලා විකිණීමෙන් තමයි අද මහා පරිමාණ මෝල් විශාල වශයෙන් ලාබ ලබන්නේ. ඇතැම් සහල් මෝල් හිමියන් එහෙම පිටින්ම දේශීය ඇසුරුම්වලට දාලා දේශීය සහල් විදියට අලෙවි කරනවා.
දැනට වෙළඳපොළේ පවතින වී මිලට අනුව වී මිලදී අරන් සහල් නිෂ්පාදනය කරලා රජයේ පාලන මිලට දෙන්න කොහොමටවත් බෑ. එහෙම වුණොත් අතින් පාඩුවටයි සහල් දෙන්න වෙන්නේ. දැන් නාඩු වී කිලෝ එකක මිල රුපියල් 41,42ක් වෙනවා. ඒ අනුව වී කිලෝ එකක් නිෂ්පාදනය කරන්න රුපියල් 88ක් විතර වැය වෙනවා. නමුත් නාඩු සහල්වල තොග මිල කිලෝ එකක් රුපියල් 76යි. ඒකයි මම කිව්වේ දැන් පවතින මිලට වී අරගෙන හාල් නිෂ්පාදනය කරලා අතින් පාඩුවට දෙන්න වෙන්නේ කියලා. රට හාල් මෙරට හාල් එක්ක කලවම් කරලා වෙළඳපොළට යවන මහා පරිමාණ හාල් මෝල් හිමියන්ට විතරයි මේ තත්ත්වය තුළ පවතින්න පුළුවන්.” මුදිත් පෙරේරා මහතා කියයි.
පොළොන්නරුව, කදුරුවෙල මුස්ලිම් කොළණියේ වසා දැමුණු සහල් මෝලක හිමිකරැවකු වන එම්.එස්.එම්. මාහීර් (52) මහතා අප සමඟ කියා සිටියේද දැනට පවතින වී මිලට අනුව සහල් නිපදවීම කිසිසේත්ම ලාබදායී ලෙස සිදුකළ නොහැකි බවයි. එම නිසා සහල් නිෂ්පාදන කර්මාන්තය මේ වනවිට අත්හැර දමා තිබෙන බව ඔහු කීය.
“රටින් හාල් ගෙන්නපු කාරණයත් අපේ වී මෝල් වැහිල යන්න එක හේතුවක් වුණා. අනෙක් කාරණය දැනට තිබෙන පාලන මිලට අපිට හාල් නිපදවලා දෙන්න පුළුවන් කමක් නෑ. මහා පරිමාණ හාල් මෝල් හිමියන් දැනට හාල් නිෂ්පාදනය කරන්නේ ඒ අය රුපියල් 32ට 34ට වී කිලෝ එක මිලදී ගත්ත වී තොගවලින්. අපිට ඒ වගේ විශාල වී තොග මිලදී අරගෙන ගබඩා කරගන්න විදියක් නෑ. මූලික කාරණය අපිට ඒ තරම් විශාල මුදලක් නැතිකම. මහා පරිමාණ මෝල් හිමියන්ට බැංකුවලින් කෝටි ගණනින් ණය දෙනවා. ඉතාමත්ම අඩු පොලියකට ඒවා දෙන්නේ. ඒ වගේම දීර්ඝ කාලයකට. එම නිසා විශාල වී තොග අරගෙන ගබඩා කරන්න ඒ අයට පුළුවන්. නමුත් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන්ට එහෙම පහසුකම ලැබෙන්නේ නෑ. රජය මේ කාරණය ගැන විශේෂ අවධානයක් යොමුකරලා අපි වගේ අයටත් ඒ විදියෙ ණය පහසුකම් දෙනවා නම් අපිට නැවතත් මේ වී මෝල් ආරම්භ කරන්න පුළුවන්.”
මින්නේරිය, කටුකැලියාව පාරේ පිහිටි සහල් මෝල් සංකීර්ණයේ වසර 20ක පමණ කාලයක් සහල් මෝලක් පවත්වාගෙන ගිය මොහමඩ් හරිස් (50) මහතා මේ වනවිට එම ව්‍යාපාරය වසා දමා පමණක් නොව ව්‍යාපාරික ආයතනයද විකුණා දමා ඇති අයෙකි.
දිනකට සහල් කිලෝ 10,000ක් පමණ නිපදවූ තම සහල් මෝලේ සේවකයින් විසි දෙනෙකු පමණ සේවයේ යොදවා සිටි බවද මොහමඩ් හරිස් මහතා අප සමඟ කීය.
තම සහල් මෝල වැසීයාමට බලපෑ හේතු පිළිබඳව සඳහන් කරමින් ඔහු මෙසේ පැවැසීය.
“මගේ හාල් මෝල වැහුණේ 2014 අවුරුද්දේ පහුගිය ආණ්ඩුව කාලේ. එතකොටත් මේ වගේම තමයි රටින් හාල් ගෙන්නුවා. අපේ දේශීය හාල් විකුණගන්න බැරිවුණා. ඒකට හේතුව රට හාල් මිල අඩුයි. මෝල් හිමියෝ ගොඩක් දෙනෙක් වැඩි මිලට වී අරගෙන ගබඩා කරලා තිබුණේ. වැඩි මිලට ගත්තු වී තොගවලින් හාල් නිෂ්පාදනය කරලා අඩුමිලට දෙන්න සිද්ධ වුණා” හෙතෙම කීය.
“මම දැන් කරන්නේ බදු ක්‍රමයට මෝලක් කුලියට අරගෙන ඒකේ සත්ව ආහාර නිෂ්පාදනය කරනවා. මේ මෝලට මාසෙකට රුපියල් 50,000ක් කුලිය දෙනවා. ලොකු ලාබයක් මේ කර්මාන්තයෙන් ලබන්න බෑ. වියදම් වැඩියි. නමුත් වෙන කරන්න දෙයක් මම දන්නේ නෑ. මම වැඩි කාලයක් කළේ හාල් මෝලක් කරන එකයි. මේ සත්ව ආහාර නිපදවීමත් ඒ ආශ්‍රිත දෙයක්. මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා ඒ අය තවම ඉගෙන ගන්නවා. ඒ සඳහා මුදල් අවශ්‍යයි. එම නිසා මේ රස්සාවෙන් හරි ඒ සඳහා මුදල් හොයාගන්න සිද්ධවෙලා තිබෙනවා. නමුත් මම කැමතියි හාල් මෝලක් කුලියට හරි අරගෙන හාල් නිෂ්පාදනය කරන්න. ඒ සඳහා රජය මැදිහත් වෙලා වැඩ පිළිවෙළක් යොදන්න කියලයි අපි ඉල්ලා හිටින්නේ.” මොහොමඩ් හරිස් මහතා අප සමඟ කීවේය.
මින්නේරිය, කටුකැලියාව පාරේ සහල් මෝල් සංකීර්ණයේ සහල් මෝල් හිමියෙකු වන කේ.එච්.එම්. ඉසාත් මහතා පැවැසුවේ සුළු හා මධය පරිමාණ සහල් මෝල් මේ අන්දමට වැසීයාම තුළ සහල් නිෂ්පාදන ක්ෂේත්‍ර යේ ඒකාධිකාරයක් ඉබේම නිර්මාණය වන බවයි. වෙළඳපොළේ සහල් මිල ඉහළ යාමට එයද දැඩි ලෙස බලපාන බව ඔහු කීය. සහල් වෙළඳපොළෙහි තරගකාරී තත්ත්වයක් ඇතිවීමට නම් සහල් නිෂ්පාදකයන්, සහල් මෝල් හිමියන් වැඩි පිරිසක් සිටිය යුතු යැයිද ඔහු කීවේය. දැනට වැසී යමින් තිබෙන සහල් මෝල් නැවත යථා තත්ත්වයට පත්කොට වෙළඳපොළට විශාල වශයෙන් සහල් තොග ලැබීමට සැලැස්වීම තුළින් සහල් මිල ඉහළ යාම ඇතුළු සහල් අර්බුද රැසක් මඟහරවා ගත හැකි යැයි ඔහු පෙන්වා දුන්නේය. එමෙන්ම සීමාවකින් තොරව පිටරටින් සහල් ගෙන්වීමද මෙරට සහල් නිෂ්පාදන කර්මාන්තය බිඳ වැටීමට විශාල වශයෙන් බලපාන බවද ඉසාත් මහතා කීවේය.
මෑත ඉතිහාසයේද අප අපේ රටේ නිපදවෙන සහලින් පෝෂණය වී සිටියෙමු. එකල රටේ සහල් අතිරික්තයක්ද පැවැති හෙයින් වී නිෂ්පාදනය සීමා කිරීමට වත්මන් රජයේ මැති ඇමැතිවරුන් පවා යෝජනා කළ බැව් අපට අමතක නැත. මේ වනවිට රටේ වී නිෂ්පාදනයේ යම් අඩුවක් ඇතිවී ඉහළ යමින් තිබූ සහල් මිල පාලනය කිරීම සඳහා රජය පියවර ගත්තේය. එම සහල් මිලෙන් අඩුවුවද තත්ත්වයෙන් එතරම් ඉහළ නැතැයි පාරිභෝගික ජනතාව කියති. අපේ රටේ නිපදවෙන සහල් වැඩි මිලක් ගෙවා රැගෙන යන්නට වැඩිදෙනා පෙළඹී ඇත්තේද එම නිසාය. එසේ වුවද අපේ රටේ සහල් ලෙස පාරිභෝගිකයන් රවටා රට මෙරට සහල් දෙවර්ගය එකට කලවම් කොට අලෙවි කරන බවට මහජනයා චෝදනා කරති. ඇතැම් මෝල් හිමියන්ද එම චෝදනාව සනාථ කෙරෙන ප්‍රකාශ නිකුත් කිරීම අවස්ථා කිහිපයකදීම කර තිබෙන බවද අපි දනිමු. බත් කන මිනිසුන් රවටන එම කූට ජාවාරමේ තවත් අතුරු ප්‍රතිඵලයක් ලෙස මේ රටේ මෙතෙක් කලක් පවත්වාගෙන ගිය සහල් මෝල් රැසක් වැසීයාමට එයද එක් හේතුවක් ලෙස බලපා ඇත්නම් වහාම සොයාබලා පිළියම් යෙදිය යුතු ප්‍රශ්නයක් මෙන්ම සරල ලෙස බැහැර කළ හැකි කාරණයක්ද නොවන බව පෙන්වා දිය යුතුය.
♦ කතාව හා සේයාරූ / කරුණාරත්න ගමගේ