
“අනේ පින් සිද්ධවෙයි... සර්... මට මගේ දරුවා බේරලා දෙන්න. මම දෙවියෙක්ට වගේ සර්ට කතා කරන්නේ... මට ඉන්නේ එක දරුවයි. රෑට රෑට හෝටල්වලටයි බීච්වලටයි යන්නේ පාටිවලට යනවා කියලා... ගිහින් කන බොන දෙයක් ගැන දන්නේ නෑ... හැමතිස්සෙම කුඩු ගහලා වගේ හැසිරෙනවා... මම දන්නවා සර්... මෙයා යන එන තැන්වල කුඩු ගංජා... මත්පෙති එහෙම විකුණනවා කියලා...”
තම එකම දරුවා මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇති බවත් ඔහු යන එන ස්ථානවල එවැනි ජාවාරම්කරැවන් ගැවසෙන බවටත් තොරතුරක් මේ ආකාරයට සුරාබදු දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපතිවරයා හමුවට පැමිණි එක්දරු පියකු විසින් තොරතුරු දන්වා තිබුණේ ඉකුත් 1 වැනිදා පස්වරුවේය.
හදිසියේ ලද හෝඩුවාවත් සමඟ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පී.එන්. හේමන්ත මහතා ක්‍රියාත්මකව තොරතුරු සොයා බලන්නට විය. එහිදී අනාවරණය වූයේ කොළඹ ප්‍රසිද්ධ තරුපහේ හෝටලයක සුවිශේෂී සාදයක් පවත්වන්නට සූදානම් වන බවය.
ඒ සඳහා අන්තර්ජාලය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලබාගෙන තිබුණි. මාධ්‍ය අනුග්‍රහය ප්‍රසිද්ධ ඉංග්‍රීසි රේඩියෝ එෆ්.එම්. මාධ්‍යයකිනි. ඒ අතර ප්‍රසිද්ධ ඉංග්‍රීසි පුවත්පත්වලද සාදය පිළිබඳ දැන්වීම් පළකර තිබුණි. සාදයේ සම අනුග්‍රාහකත්වය සඳහා ප්‍රසිද්ධ බියර් සමාගමක් සහ ශක්තිජනක පාන නිෂ්පාදන ආයතනයක්ද ඉදිරිපත්ව සිටියේය. සියලු වෙළෙඳ ප්‍රචාරණ ඔස්සේ තරුණ තරුණියන්ට ආයාචනය කර තිබූ අතර සාදයට ඇතුළුවීම සඳහා පමණක් රුපියල් 2500ක් අය කරන බවද ප්‍රසිද්ධ කර තිබිණ.

ප්‍රමාණවත් තොරතුරු ලද සැණින් මෙහෙයුම් නිලධාරීහු තිදෙනෙක් උපාය දූතයන් ලෙස සැරසී සාදය පැවැත්වෙන ස්ථානය බලා ගියහ. ස්ථානය කොළඹ කොටුවට ආසන්නය. තරුපහේ හෝටලයක් වූ එහි පසුපස භූමියට දර්ශනීය ලෙස මුහුද දිස්වෙයි. හෝටලයේ ප්‍රධාන පිවිසුමෙන් ඇතුළු වූ උපාය දූතයෝ හෝටල් පරිශ්‍රයට පිවිසියහ. වෙලාව රාත්‍රී 10.30 පමණ වූ නිසා පළාතම එළිය වූයේ විදුලි බල්බවලිනි. හෝටල් රථගාල සුපිරි මෝටර් රථවලින් පිරී ගොසිනි. හෝටල් පරිශ්‍රයට ඇතුළු වන බොහෝ පිරිස තරුණ වියේ පෙම් යුවළවල් වැනිය. ඇතැමුන් කණ්ඩායම් වශයෙන් ගමන් කරති. සියලුදෙනා ගමන් ගන්නේ හෝටල් බිමේ එළිමහන් පරිශ්‍රය වෙතය. ඒ තුළට ඇතුල් වන්නට මත්තෙන් ඇතුල් වීමේ ගාස්තුව රුපියල් 2500 ගෙවිය යුතුය. ඒ වෙනුවෙන් නිකුත් කරන රබර් අත් පළඳනාව පැළඳ ගත යුතුය. ඉන් එහා භුක්ති විඳින නිදහස සම්පූර්ණයෙන් එහි තරුණ තරුණියන්ට අදාළය.
“උපාය දූතයන් තුන්දෙනෙක් සාදය තිබෙන භූමියේ ඉඳලා තොරතුරු සොයා බැලුවා. ඔවුන්ගේ උපදෙස් අනුව වැටලීමේ නිලධාරීන් එම ස්ථානයට ගියා. සාදයට ඩී.ජේ. සංගීතය සැපයීම සඳහා ලෝක ප්‍රසිද්ධ පුද්ගලයෙක් පැමිණ සිටියා. ඔහුගේ අය කිරීම රුපියල් ලක්ෂ 15 ක්. මෙතනට ඇවිත් හිටිය සේරම තරුණ ළමයි. ගෑනු, පිරිමි භේදයක් නෑ. අවුරුදු 18, 20 ළමයි. හැමෝම මේ රටේ ධනවත් ඉහළ පැලැන්තියේ ප්‍රභූ පවුල්වල දරුවෝ. හැම ගෑනු, පිරිමි දරුවෙක්ම කොට කලිසමක් ඇඳලා හිටියේ. හිටපු බහුතරයක් අතේ වතුර බෝතලයක් තිබුණා. ඒ අය හැමෝම මත්පෙති බීපු අය. එම පෙත්ත බීපුවට පස්සේ අධික තිබහක් ඇතිවෙනවා. ඒ නිසයි ඒ අය වතුර බෝතල් අතේ තියන් ඉන්නේ.” යැයි සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති හේමන්ත මහතා පැවසීය.
සාදය පැවැත්වෙමින් තිබෙන්නේ හෝටල් සංකීර්ණයේ මිදුල ආශ්‍රිත ප්‍රදේශයේය. වත්ත කෙළවරක පිහිටි තාවකාලික රටබීම හලකි. එහි නානා විදියේ මත්පැන් බෝතල අලෙවි කෙරෙමින් තිබිණි. ඒ සාමාන්‍ය මිලට වඩා හත් අට ගුණයකින් ඉහළ මිලකටය. එහි එක් අරක්කු බෝතලයක් අලෙවි කෙරුණේ රුපියල් 15000ක මුදලකටය. උපාය දූතයන් අනාවරණය කරගත් ආකාරයට එම මත්පැන්හලට බලපත්‍ර තිබුණේ නැත. හෝටල් බලපත්‍රයට අදාළ සීමාවේ එය සිදුකෙරුණේද නැත. මේ ආකාරයට සාදය තුළ ගැවසෙන විශේෂ පුද්ගලයන් කීපදෙනකු පැහැදිලිවම හඳුනාගන්නට නිලධාරීහු සමත්ව සිටියහ.
“උපාය දූතයන්ගේ තොරතුරු ලබාදීමත් සමඟ අපේ කණ්ඩායම හෝටලය වැටලුවා. හෝටලයට යන ප්‍රධාන මාර්ගයේ මත් වූ තරුණ තරුණියන් හිටියා. හෝටලයේ රථගාල තුළත් මත්පැන් පානය කරන සහ ගංජා උරන තරුණ පිරිස් හිටියා. සියල්ල ගැන අවධානයෙන් හෝටල් මිදුලට ගිහින් සාදය පැවැත්වෙමින් තිබූ තැන පරීක්ෂා කළා. බහුතරයක් මත්වෙලා නටමින් ඉන්නවා. වැඩිදෙනෙක්ට කිසිම කල්පනාවක් නෑ සාදය නවත්වන තැනට පත්වෙලා වැටලීමක් කරනවා කියලා. තරුණ තරුණියන් වැඩි වශයෙන් යුවළ විදිහට හිටියා. ඇතැමුන් කණ්ඩායම් විදිහට පෙනුණා. මේ ස්ථානයේ හොර මත්පැන්වලට අමතරව ගංජා, හෂීෆ්, ස්ටෑම්ස් සහ එක්ස්ටසි පෙති අලෙවි කරන බවත් හඳුනා ගත්තා. බාර් එකේ තිබූ මත්පැන්වලට බලපත්‍ර හෝ තොග නිකුත් කළ ආයතනයේ ඉන්වොයිස් එකවත් නෑ. මේ සාදයේ සංවිධායකවරයෙක් තමා මත්පැන්හල පවත්වාගෙන ගිහින් තිබුණේ. ඔහු ඒ මොහොතේම අත්අඩංගුවට ගත්තා. ගංජා ළඟ තබාගෙන සිටි අය 5 දෙනෙක් අත්අඩංගුවට ගත්තා. සංවිධායකවරයා ළඟ විස්කි, බ්‍රැන්ඩි, වොඩ්කා, බියර් වැනි රුපියල් ලක්ෂ 14කට අධික වටිනා මත්පැන් බෝතල් 1500ක් පමණ තිබුණා.”
කරුණු විමසීමේදී අනාවරණය වී ඇත්තේ සාදය පැවැත්වෙන ස්ථානය වටා ආරක්ෂාව සඳහා හෝටලයට පිටතින් පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරීන් යොදවා තිබූ බවය. මත්පැන් හා වතුර බෝතල් අලෙවි කර ඇත්තේ සංවිධායක මණ්ඩලයේ සාමාජිකයන් විසිනි. වතුර බෝතල් අලෙවිය තුළින්ද ලබා තිබුණේ අසීමිත ආදායමකි. වාර්තා වූ පරිදි හෝටලයට මුදල් ගෙවීමෙන් අනතුරුව හෝටලයෙන් නිකුත් කර තිබුණේ ආහාර ද්‍රව්‍ය පමණය. රාත්‍රී 10.30ට පමණ වැටලීම සිදුකළද ඒ වනවිටත් තරුණ තරුණියන් රාශියක් එම ස්ථානයට පැමිණෙමින් සිටියහ. ඒ අනුව සාදය පසුදා අලුයම දක්වා පැවැත්වෙන බව පැහැදිලි විය.

වාර්තා වන ආකාරයට සාදයේ සංවිධායකවරුන් හෝටලය සමඟ ගිවිසුමක් අත්සන් තබා සාදය සඳහා ඉඩ පහසුකම් වෙන්කරගෙන ඇත. ඒ සඳහා හෝටලය වෙත ගෙවා තිබූ මුදල රුපියල් ලක්ෂ 11 කි. සාදය අතරතුර එහි මත්පෙත්තක් අලෙවි කොට ඇත්තේ රුපියල් 3800ක මිලකටය. සාදයට සහභාගි වී සිටි තරුණ තරුණියන් ඇතැම් දෙනා ප්‍රසිද්ධ ප්‍රභූ පවුල්වලට සම්බන්ධය. රැස් වූ පිරිසේ සැවොම අධිකව මත් වී සිටි අතර ඔවුන් අවුරුදු 25ට අඩු අය බව හඳුනාගෙන ඇත. මේ සුපිරි සාදයේ සංවිධායකවරුන් වශයෙන් කටයුතු කර තිබුණේ රාජගිරියේ පිහිටි ආයතනයකි.
ප්‍රසිද්ධ තරුපහේ හෝටල් පරිශ්‍රයක පැවැති සුපිරි සාදය පසුගිය කාලයේ ඇතැම් ස්ථානවල පවත්වන ලද බීච් පාටිවලට වඩා වෙනස් නැත. අධික ශබ්දයෙන් යුත් ඩී.ජේ. සංගීතයත්, මත්පැන් හා මත්ද්‍රව්‍යවලින් මත් වී නොනවතින රංගනයක නිරතවීමෙන් පසුව පැය කීපයක් තුළ එක් පුද්ගලයකුට වන වියදම රුපියල් දහස් ගණනකි. මේ අතර සිදුකෙරෙන නීතිවිරෝධී ක්‍රියා සහ අපචාර ප්‍රමාණය අසීමිතය. ඒ ඔස්සේ නොමඟ යන යෞවන යෞවනියන් පිරිස විශාලය. ඇතැම් තරුණ තරුණියන් කිසිදු රැකියාවක නියැලෙන බවක් පෙනෙන්නට නැත. ඔවුන් අත දිගහැර වියදම් කරන්නේ මවුපියන්ගෙන් ලබාගන්නා මිල මුදල්ය.
මේ සම්බන්ධයෙන් දරු දැරියන්ගේ මවුපියන් ඔවුන් අවේලාවේ යන ගමන් සහ රාත්‍රියේ සහභාගී වන සාද පිළිබඳව සැලකිලිමත් වීම අවශ්‍යය. නොඑසේනම් මේ තරුණ තරුණියන් නවතින්නේ මතට ඇබ්බැහි වී අපචාර ඔස්සේ ජීවිත විනාශ කරගනිමිනි.
සැකකරුවන් මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර කොළඹ සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පී.එන්. හේමන්ත මහතා ඇතුළු එම ඒකකයේ නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදුකරති.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර