2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා

අනුරපුර ගොවියෝ වී ටික විකුණගන්න යුද්දෙක

 2017 අප්‍රේල් 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 145

තඹුත්තේගම ඇතුළු මහවැලි එච් කලාපයේ ප‍්‍රදේශ ගණනාවක මෙවර මහ කන්නයේ  වී අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගැනීමට මෙතෙක් කිසිවෙක් ඉදිරිපත්ව නැති බව ගොවීන් පවසති. පෞද්ගලික වෙළෙඳුන් බොහෝදෙනකු වී මිලෙහි හදිසි උච්චාවචනයන් පිළිබඳව ඇති අවිශ්වාසය හේතුවෙන් වී මිලදී ගැනීම නවතා ඇති බව ගොවීන්ගේ අදහසය. රජය මගින් ප්‍රකාශයට පත්කොට ඇති සහතික මිල ගණන් යටතේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයේ ගබඩා කිසිවක් මෙතෙක් විවෘතව නැති බවද ඔවුහු සඳහන් කරති. කලාපයේ සමස්ත භූමියෙන් සීමිත වපසරියක පමණක් වී වගාකොට ඇති පසුබිමක ලැබෙන සීමාසහිත අස්වැන්න මිලදී ගැනීමට නිසි මිලක් සහ වැඩපිළිවෙළක් නොවීම පිළිබඳව ගොවීහු සිය කනස්සල්ල පළ කරති. 

   

 

තලාවල මල්වානේගම ජේ.ඒ.යු. ජයකොඩි මහතා මෙසේ කියයි.
වී ගන්ඩ එන වෙළෙන්ඳෝ හිතු හිතු ගණන්වලට වී ඉල්ලන්නේ. මේ කුඹුරේ ගොවියට කියන ගාණ නෙමෙයි එහා කුඹුරේ ගොවියට කියන්නේ. ඇත්තටම ගොවියෝ මේ වෙලාවේ අසරණයි. ගොයම් කැපෙනකන් තිබ්බේ නැති වැස්ස දැන් වහින්ඩ පටන් අරගෙන තියෙනවා. ණයවෙලා ගොවිතැන් කරපු මිනිස්සු බලන්නේ වී ටික කීයට හරි විකුණගන්ඩ. එහෙම නොකර මේ ප‍්‍රශ්න බේරන්නේ කොහොමද තුට්ටු දෙකට වී දීලා. ණය බේරලා බලනකොට හිටියා වගේමයි. කන්ඩවත් වී ටිකක් ඉතුරු කරගන්ඩ වෙන්නෑ.”

ගොවීන්ගේ අසරණ බව දඩමීමා කොටගත් පෞද්ගලික වෙළෙඳුන් කිහිපදෙනකු කලාපයේ ඇති සීමිත වී අස්වැන්න කුණු කොල්ලයට මිලදී ගැනීමට ඉදිරිපත්ව ඇති බව ගොවීන්ගේ මැසිවිල්ලය. නාඩු වී කිලෝවක් රැපියල් 30 – 35 ත් අතර මිලකටත්, සම්බා වී කිලෝවක් රුපියල් 36 - 38 ත් අතර මිලකටත් මෙම වෙළෙඳුන් මිලදී ගන්නා බව ගොවීහු පවසති. අස්වැන්න නෙලන වකවානුවේ හිටි හැටියේ ඇදහැලෙන වැස්ස ද මේ වෙළෙඳුන්ට ආශීර්වාදයක් වී ගොවීන් කබලෙන් ළිපට ඇද දමන්නක් වී ඇති බවත් පවසති. 

වී ගොවිතැනෙහි නියුතු තඹුත්තේගම, රාජපක්ෂගම කේ.බී. සුරත් ගුණවර්ධන මහතා පැවසූයේ මෙවැන්නකි. 
වී අලෙවි මණ්ඩලෙන් බෝඩ් දාලා තිබ්බට කිසිම ගබඩාවක් තවම ඇරලා නෑ. අපි ණයවෙලා මේ ගොවිතැන් කරලා තියෙන්නේ. කරුමේ කියන්නේ ගොයම් ටික කපනකොටම එහෙන් වැස්ස. මේවා අපිට තියාගන්න තැනක් නෑ. සුනාමි කරපුවට ගෙවන්න  ඕන. කුලීකාරයන්ට දෙන්න  ඕන. ණය පියවන්ඩ  ඕන. ඉතින් කොහොමද වී ගෙවල්වල තියාගන්නේ. මෙහේ මෝල්කාරයෝ, කඩකාරයෝ හැමෝම වී ගන්නෙත් නෑ. ගන්න මිනිහට තුට්ටු දෙකට හරි අපිට වී විකුණන්ඩ වෙලා තියෙන්නේ. ආණ්ඩුවෙන් තවම කිසිම මැදිහත්වීමක් කරන පාටක් නෑ. ඔහේ යන්ඩ ඇරලා තියෙන්නේ.

හෙක්ටයාර් 25,363 ක්, නොඑසේනම් අක්කර හැටපන්දහසකට ආසන්න භූමි වපසරියකින් යුතු අනුරාධපුරයේ ප‍්‍රධානතම ජලාශය ලෙස සැලකෙන කලා වැව කේන්ද්‍රීයව පවතින මහවැලි එච් කලාපයේ මෙවර මහ කන්නයේ දියවර නිකුත් කෙරැණේ සමස්ත වාරි ඉඩම් ප‍්‍රමාණයෙන් 40කට පමණි. ඒ වී වගාව සඳහා 20 ක්ද, එළවළු ඇතුළු අතිරේක බෝග වගාවන් සඳහා 20ක්ද වන අන්දමිනි. 

ඒ අනුව කලාපයේ වැඩි භූමි ප‍්‍රමාණය මුකලන් වැහී ගිය අතර, අක්කර දොළොස්දහසක පමණ සමස්ත කලාපය පුරා වී වගා කොට ඇති බව එච් කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකරණ කාර්යාලයේ නිගමනය වී ඇත. එහෙත් ගොවි සංවිධාන නියෝජිතයන් පවසනුයේ වී වගා කොට ඇත්තේ ඊටත් වඩා අඩු භූමි වපසරියක බවය. මාස් කන්නයේ මෙසේ සමස්ත භූමියෙන් වැඩි ප‍්‍රමාණයක් මුකලන් වැහී ගියේ දශක කිහිපයකට පසුව බවද ඔවුහු පවසති. තත්ත්වය එසේ වූ හෙයින් ලැබෙන සීමිත වී අස්වැන්නට ඉහළ මිලක් ලැබෙතැයි අපේක්ෂා කළද, දැන් සිදුව ඇත්තේ වෙනකක් බව සඳහන්ය. 

වසර පහළොවක පමණ කාලයක සිට වී මිලදී ගැනීමේ නියුතු පෞද්ගලික ව්‍යාපාරිකයකු වන තලාවල මල්වානේගම ධර්ම ශ‍්‍රි විජයවර්ධන මහතා පැවසූයේ මෙවැනි කතාවකි.  
මේ යන විදිහට වී මිල මොන විදිහට වෙනස් වෙයිද කියලා විශ්වාසයක් නෑ. ඒ හින්දා දැනට වී ගන්න එක පොඩ්ඩක් නවත්තලා තියෙන්නේ. ලොකු දෙගිඩියාවක් තියෙන්නේ. අපි වී ගන්නවනම් නාට්ටාමී කුලී ගෙවන්න ඕන. වේලුම් බර ගැන හිතන්න ඕන. අනිත් එක බැංකු පොලී, රක්ෂණ ගාස්තු ගැන බලන්න ඕන. මේ හැමදේමත් එක්ක විශ්වාසයක් නැතිව වී අරගෙන කාලයක් තියාගෙන අතේ පාඩුවට දීලා මේ ව්‍යාපාරේ කරන්න බෑ.” 
මේ වන විට නාඩු කිලෝග්‍රෑම් 01 ක් රුපියල් 38 කටත්, සම්බා වී කිලෝග්‍රෑම් එකක් රුපියල් 41කටත්, කීරි සම්බා කිලෝග්‍රෑම් එකක් රුපියල් 50කටත් වන සේ රජය මගින් සහතික මිලක් ප‍්‍රකාශයට පත්කොට ඇත. එහිදී සහතික මිලට වී අලෙවි කිරීමට නම් වී කිලෝග්‍රෑම් එකක නියැදියක් ප‍්‍රධාන වශයෙන් පහත තත්ත්වයන්ගෙන් සමන්විත විය යුතු බවද වී අලෙවි මණ්ඩලයේ නිර්දේශය වී ඇත.

උපරිම තෙත බර 14කට නොවැඩි විය යුතුය
ඝණ අපද්‍රව්‍ය 1 නොඉක්මවිය යුතුය
බොල් වී ප‍්‍රතිශතය 9 නොඉක්මවිය යුතුය
වෙනත් වී ප‍්‍රභේද මිශ‍්‍ර වීම 6කට නොවැඩි විය යුතුය
මේ හැරුණු විට ගල්වැලිවලින් තොරවීම, දුර්වර්ණ බීජ රහිත වීම, පුස් ආදී දිලීර මගින් හානි වූ බීජ නොවීම, කෘමි හානි රහිත වී බීජ වීම ආදී කරැණු ද එහිදී සලකා බැලෙනු ඇත. මෙම කවර තත්ත්වයක් යටතේ හෝ සහතික මිල ගණන් යටතේ වී මිලදී ගැනීම තවදුරටත් ප‍්‍රමාද වීම මගින් රජය විසින් ඇති කිරීමට අපේක්ෂිත වෙළෙඳපොළ තරගකාරීත්වය හුදු මුලාවක් පමණක් වනු ඇති බව ගොවීන්ගේ අදහස වී ඇත. 
ප‍්‍රතිපත්තිමය වශයෙන් වී මිලදී ගැනීමේ තීන්දුව රජය විසින් ගනු ලැබුවද, ඒ සඳහා නිසි යාන්ත‍්‍රණයක් නොවීම සහ නිසි වේලාවට ක‍්‍රියාත්මක නොවීම ආදිය ඉකුත් කන්නවලදීද විවේචනයන්ට හේතු විය. එමෙන්ම නිලධාරී නොහැකියාවන්, කෙනෙහිළිකම්, අංචි ඇදීම් ආදිය පිළිබඳවද බලවත් විවේචන මතුවන්නට විය. මෙම තත්ත්වය හමුවේ පෞද්ගලික වෙළෙඳුන් ඉහළ ප‍්‍රමිතියක් නොසලකන හෙයින්ම සමහර ගොවීන් පෞද්ගලික වෙළෙඳුන්ට වී අලෙවි කිරීමට පෙළැඹී ඇත්තේ සහතික මිලට ගන්නා වීවලට මුදල් ලැබීමේ පමාව සහ අනෙකුත් අවහිරතාවයන්ද අවධානයට ලක් කරමිනි. 
දහදුක් විඳිනවට වැඩිය මේ ගාණට දෙන එක ලාභයි” යැයි සමහරකු හිත හදාගෙන ඇති බව එප්පාවල, දෙල්ලේගම ඩබ්ලිව්. මුතුබණ්ඩා ගොවි මහතා කීය. සිය අස්වැන්නට සාධාරණයක් ඉටු නොවීම පිළිබඳව තඹුත්තේගම, රාජපක්ෂගම කේ.බී. වීරසිංහ මහතා මෙසේ පැවසීය.

ආණ්ඩුවෙන් කියලා අපිට කිසි සාධාරණයක් වෙන පාටක් නෑ. වී නැති හින්දා හාල් ගණන් යනවා කිව්වට තියෙන වී ටික ගන්න වැඩපිළිවෙළක් නෑ. මොනවද මේ කරන්නේ කියලා අපිට හිතාගන්න බෑ. ගොවියෝ අතේ තියෙන වී ටික වෙළෙන්ඳන්ට වික්කට පස්සේ අලෙවි මණ්ඩලේ ගබඩා ඇරියට වැඩක් නෑනේ. එතකොට ගන්ඩ වෙන්නේ ගොවියන්ගේ වී නෙමෙයි වෙළෙන්ඳෝ අතේ තියෙන වී. මේ යන විදිහට ඒක තමයි මෙදා පාරත් මේ වෙන්න යන්නේ.”
වී අලෙවි මණ්ඩලයේ, අනුරාධපුර ප‍්‍රාදේශීය කළමනාකරු ශාන්ත කුමාර මහතා වෙතින් කළ විමසීමකදී මෙසේ පැවසීය.

දැනට අපේ ගබඩා අරින්න කියලා ගොවි සංවිධානවලින් ඉල්ලීමක් ඇවිල්ලා නෑ. අනිත් එක තවම සමහර ප‍්‍රදේශවල ගොයම් කැපෙන්නෙ නෑ. කොහොමත් මේ පාර ලොකු වී අස්වැන්නක් එන්න හේතුවක් නෑ. අපේ ප‍්‍රමිතීන්වලට වේලලා වී දෙනවට වැඩිය ගොවීන්ට අමුවෙන්ම ෙපෟද්ගලික වෙළෙන්ඳන්ට දෙන එක ලාභයි. සමහරවිට මේ කන්නේ අපේ ගබඩා අරින්න අවශ්‍ය වෙන එකක් නෑ. අපි වේලලා නිසි ප‍්‍රමිතියට තියෙන නාඩු වී කිලෝ එකක් ගන්නේ රුපියල් තිස් අටකට. එහෙම බලන කොට ගොවීන්ට ඊට ටිකක් අඩුවෙන් පෞද්ගලික වෙළෙන්ඳන්ට වී දෙන එක ලාභයි. 

සටහන හා සේයාරූ - 
තඹුත්තේගම ප‍්‍රදීප් රණතුංග