

කොළඹ ලංකාවේ ප්‍රධානම වාණිජ නගරයයි. අගනුවර විදිහට හැඳින්වුවත් වැරදි නැත. ආර්ථික කේන්ද්‍රස්ථානය නිසාම දිනපතා දස ලක්ෂයක් පමණ ජනයා කොළඹට පැමිණෙති. දුම්රිය සහ බස් ප්‍රවාහන සේවා මගින් කොළඹ නගරයට පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත ජනයා කොටුව සහ පිටකොටුවට පැමිණිය යුතුම වේ. නාගරික පමණක් නොව ග්‍රාමීය ජනයාත් විදේශිකයෝත් කොටුව සහ පිටකොටුව ප්‍රදේශයට පැමිණෙති. එමනිසා ඒ ප්‍රදේශය දැඩි කාර්යබහුල වෙළෙඳ කලාප බවට පත්විය. ඒ කෙතෙක්ද කිවහොත් අතුරු පාරවල්වල වාහන එහා මෙහා යා නොහැකි තරමට මාර්ග මිනිසුන්ගෙන් පිරෙයි. පාර දෙපස පදික වෙළෙන්දෝ වෙළෙඳ කුටි තබාගෙන විවිධ දෑ විකුණති. වෙළෙන්දෝ තරගෙට පාරිභෝගිකයන් තමා වෙත කැඳවාගැනීමට විවිධ දෑ කියමින් කෑගහති. සමහරු පාරිභෝගිකයන්ට වෙට්ටු දමති. පාරිභෝගිකයාට අසාධාරණයක් සිදුවී ප්‍රශ්න කළොත් අවට හිතවත් වෙළෙඳුන්ද එක්ව සත්තම දමා මට්ටු කරයි. මේ නිසා විශේෂයෙන් ග්‍රාමීය අසරණ ජනයාට අපමණ පීඩා සහ අසාධාරණකම් කොළඹ නගරය තුළදී සිදුවෙයි. පළමු හරස් වීදීයේ, දෙවන හරස් වීදියේ හා තෙවැනි හරස් වීදියේ තත්ත්වය තාමත් එසේමය. මීට වසර තුන හතරකට ඉහතදී බැස්ටියන් මාවතේ තත්ත්වයද එසේම විය.
බැස්ටියන් මාවත වෙළෙඳාම අතින් අතිශයින් කාර්යබහුල වුවද ඇතැම් දවස්වල මහ අපායක් වූයේ එතැන පිහිටි බේරේ වැවෙන් හමන දුර්ගන්ධය නිසාවෙනි. ප්‍රධාන බේරේ වැවෙන් වෙන්ව හුදකලාව පිහිටන මේ කුඩා වැව් ජලයට අවට වෙළෙඳසල්වලින් බැහැර කරන අපද්‍රව්‍ය එක්වී පල්වීම නිසා ඒ අවට නාසය ඇති සතකුටවත් සිටිය නොහැක. වැවෙන් එහා කොටස කැලෑවකි. එම ප්‍රදේශයට කාන්තාවක් තනිව යාමත් අනතුරුදායකය. මුළු කොළඹ නගරයේම අලංකාරය නැති කරන මෙම වැව හා කැලෑව නගර සංවර්ධනයට ප්‍රධාන බාධාවක් විය. ඒ බව වටහාගත් හිටපු නාගරික සංවර්ධන හා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් එම ස්ථානයේ පාවෙන වෙළෙඳපොළක් නිර්මාණය කිරීමට යෝජනා විය. යුද්ධය අවසන් වීමෙන් පසු සංචාරක කර්මාන්තය දියුණු කිරීමට අවධානය යොමුවන්නේ ප්‍රධාන දේශීය ආදායම් මාර්ගය බවට සංචාරක කර්මාන්තය පත්කිරීමේ අරමුණ ඇතිවයි. සංචාරක කර්මාන්තය මත රඳාපවතින තායිලන්තය, පිටකොටුව පාවෙන වෙළෙඳපොළ නිර්මාණය කිරීම සඳහා ආදර්ශය කොට ගැනිණි. තායිලන්තයට අමතරව ආසියාතික රටවල් වන මියන්මාර සහ මැලේසියානු පාවෙන වෙළෙඳපොළද ප්‍රසිද්ධියක් උසුලයි. නමුත් සංචාරක කර්මාන්තය ඉලක්ක කරමින් ක්‍රියාත්මක තායිලන්ත පාවෙන වෙළෙඳපොළ ලෝ ප්‍රසිද්ධ සංචාරක ආකර්ශනය හිමිකරගත් ස්ථානයකි. බැංකොක් නගරයෙන් කි.මී. 80ක් පමණ දුරින් රාජ්බූරි නගරයේ පිහිටි මෙම ස්ථානයේ අතීතයේ පටන්ම වෙළෙඳපොළක් පිහිටා තිබුණි. එම ප්‍රදේශයෙන් ගලාගිය සුප්‍රකට ඇළ මාර්ගයේ සංචාරක ආකර්ශනය ඉලක්ක කර පාවෙන වෙළෙඳපොළක් නිර්මාණය විය. එගි ගමනාගමනය සිදුකරන්නේ බෝට්ටු මගිනි.
මෙම වෙළෙඳපොළේ විවිධ දෑ අලෙවි කරයි. ඒ අතර ප්‍රධාන තැනක් හිමිවන්නේ දේශීය නිෂ්පාදන කෙරෙහිය. විශේෂයෙන්ම, පළතුරු, එළවළු, රෙදිපිළි, ආහාරපාන, තෑගි භාණ්ඩ මිලදී ගත හැකිය. එමනිසා අතිවිශාල සංචාරක පිරිසක් දිනපතා පැමිණෙති. මෙම වෙළෙඳපොළ තායිලන්ත සංචාරක ආර්ථිකයේ ප්‍රධානම සාධකයයි. එම ආදර්ශය ඇතිව ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ආරම්භ කළ පිටකොටුව පාවෙන වෙළෙඳපොළ හරිහැටි නඩත්තුවක් නැතිව අත්හැර දැමූ තත්ත්වයකට පත්ව ඇත. 2013 මාර්තු මාසයේදී හමුදාව විසින් පාවෙන වෙළෙඳපොළ නිර්මාණය ආරම්භ කළේය. එක් වසරක් ගතවෙද්දී අලංකාර නගරයක් නිර්මාණය විය. ඉඳුල් ගලාගිය පෙට්ටි කඩපේළි වෙනුවට වැව් දිය මත අලංකාරවත් විසල් ආපනශාලා හයක් ඉදිවිය. තවත් සිත්ගන්නාසුළු වෙළෙඳසල් 80ක් පමණ නිර්මාණය කෙරුණි. වැව වටා ඇවිද යාමට ලී දඬුවලින් පාලමක්ද ඉදිවිය. අවට විදුලි බුබුළුවලින් අලංකාරවත් කර තිබුණි. එම ස්ථානයට පැමිණෙන්නට වාඩිවීමට පුටු, බෝට්ටු සවාරි, වාහන නැවතුම්පොළ ආදියෙන්ද වෙළෙඳපොළ පරිපූර්ණ විය. වෙනදා අතින් නාස්පුඬු තදකරගෙන එහි ගිය ජනයාගේ නෙත් සිත් ඇදගන්න මනස්කාන්ත පරිසරයක් නිර්මාණය විය. කොන්ක්‍රීට් වනාන්තර මධ්‍යයේ පරිසර හිතකාමී ප්‍රදේශයක් බවට එය පත්විය.
පිටකොටුව පාවෙන වෙළෙඳපොළේ නඩත්තු කටයුතු කෙටි කාලයක් හමුදාව විසින්ම කරන ලදී. ඒ කාලය තුළදී, කුණු ඉවත් කිරීම, වැවේ ජලය පිරිසිදු කිරීම ආදිය ක්‍රමවත්ව සිදුවිණි. බැස්ටියන් මාවතෙන් ඉවත දැමූ වෙළෙන්දෝ බේරේ වැව් ඉස්මත්තේ සිහින මාළිගා තනන්නට වූහ. කොපමණ මුදලක් වැය කළත් එහි ලාභය කෙටි කලකින් උපයාගත හැකි යැයි සිතූහ. එම නිසා ලක්ෂ 09ක මූලික තැන්පතුවක් හා රුපියල් හය දහසක මාසික කුලියට ඔවුහු පාවෙන වෙළෙඳපොළෙන් වෙළඳසල් ලබාගත්හ. අනතුරුව පාවෙන වෙළෙඳසලට විදේශ සංචාරකයෝ කෙසේවෙතත් දේශීය සංචාරක ආකර්ශනයක් ලැබුණි. එමනිසා පාවෙන වෙළෙඳසල ආරම්භ කළ මුල් මාස කිහිපය තුළ සැලකිය යුතු වෙළෙඳාමක් ලාභයක් වෙළඳුන්ට ලැබුණේය.
පිටකොටුව පාවෙන වෙළෙඳපොළේ විවෘත වෙළඳසල් 10ක පළතුරු, කිරි, පැණි, හකුරැ වැනි දේශීය ආහාරපාන අලෙවි කෙරුණි. ගෘහස්ත කඩ කාමරවල සපත්තු, බෑග්, රෙදි, සංගීත භාණ්ඩ අලෙවි කෙරුණි. නමුත් ක්‍රමයෙන් දේශීය සංචාරකයෝ අඩු වූහ. වෙළෙඳසල ආරම්භ කර මාස කිහිපයක් ගතවෙද්දී සංචාරකයන් තබා බැස්ටියන් මාවතේ එළවළු මිලදී ගැනීමට සිටි සෙනඟවත් පාවෙන වෙළෙඳසලට ආවේ නැත. වෙළෙන්දෝ පාඩු ලබන්නට වූහ. ණය වූහ. මාසික කුලිය, විදුලි බිල හා වතුර බිල ගෙවනවාට වඩා පාවෙන වෙළෙඳපොළේ වෙළෙඳාම අත්හැරීම ඔවුන්ට ලාභදායකය. බොහෝ වෙළෙන්දෝ පාවෙන වෙළෙඳපොළ අත්හැර දැමූහ. ඇතැම් කුටි ඉවත් කළ බඩු ගබඩාවකි. විවෘත කළ ආපන ශාලා හයෙන් පහක්ම හිස්ය. වෙළෙඳසල් 80න් 50ක්ම වැසී ගොස්ය. විවෘතව ඇති කඩවල්ද හිස්ය. බොහෝ වෙළෙඳසල් නඩත්තුවක් නැති නිසා කැඩී බිඳි ගොසිනි. ඇතැම් ඒවා වතුරට බරවී ඇත. පැත්තකට ඇලවී ඇත. සමහර කුටිවල තිබුණු ලෑලි ගලවාගෙන ගොසිනි. වැව නීල පැහැ ගැන්වී ඇත. පිරිසිදුවට තිබුණු පරිසරය ජරාජීර්ණ වී තිබේ.
විවෘත කරන විට තිබුණු මල්පැළ අද නැත. අරලිය ගස් වියළී ගොසිනි. බෝට්ටු සවාරිය සඳහා යොදා තිබුණු බෝට්ටුද නැත. ඇත්තේ හංස බෝට්ටු හතරක් පහක් පමණි. ජලාශය පවිත්‍ර කිරීමට යොදා තිබුණු උපකරණද අක්‍රීය වී ඇත. අද වනවිට පාවෙන වෙළෙඳපොළ දහවල් කාලයේ තරුණ පෙම්වතුන්ගේ පාරාදීසයකි. රේල් පාර පැත්තේ පිහිටි වෙළෙඳ කුටි ගොඩනැගිලි දෙකෙහි පෙම්වතුන් පෙම්සුව විඳිති. එය පොදු ස්ථානයක් නොව පෞද්ගලික කාමරයක් සේ ඔවුන් හැසිරෙති. එම ස්ථාන රාත්‍රී කාලයේ ගණිකාවන්ගේ සහ කුඩ්ඩන්ගේ රජදහනයි. ඒ හැරුණු විට පාරිභෝගිකයෙන් සුළු ප්‍රමාණයක් හැර වෙන කිසිවකුත් පාවෙන වෙළෙඳපොළට ගොඩවන්නේ නැත. වෙළෙඳපොළේ සිටින වෙළෙඳුන්ගේ එකම බලාපොරොත්තුව අවුරුදු සමය වී තිබේ.
පාවෙන වෙළෙඳපොළට සෙනඟ අද්දවා ගැනීමට පහුගිය ආණ්ඩුවේ අවසාන කාලයේ පිටකොටුව බෝගහ යට සිට පාවෙන වෙළෙඳපොළට පාරක් නිර්මාණය කිරීමට ආරම්භ කෙරිණි. නමුත් ආණ්ඩුව පෙරළුණ පසු එය නැවැතුණේය. ඊට අමතරව දුම්රිය පොළ පිවිසුම් දොරටු පාර පාවෙන වෙළෙඳසල හරහා දැමීමට ගත් තීරණයත් යටපත්ව ඇත. පාවෙන වෙළෙඳසල සංවර්ධනය කිරීමට තියා එයට මිනිස්සු අද්දවා ගැනීමටවත් වත්මන් ආණ්ඩුවට වුවමනාවක් නැත. වෙළෙඳසල ආරම්භ කර තාමත් ගතවූයේ වසර තුනක් පමණි. නමුත් පිච්චුණු විදුලි බුබුළු පවා සවිකර නැත. වැව පිරිසුදු කිරීමක්ද සිදුනොවේ. වැව් අයිනේ කුණුරොඩු පිරී ඇත. වෙළෙඳපොළේ වෙළඳාම් කළ නොහැකි නිසා වෙළෙඳුන් නැවතත් බැස්ටියන් පාර දෙපස පදික වේදිකාවේ අනවසර වෙළෙඳ කුටි නිර්මාණය කර තිබේ ව්‍යාපාර කරති. පාවෙන වෙළෙඳසල ඔවුන්ගේ ගබඩා කාමරයයි.


මීට වසර තුනකට පමණ පෙර ලොව වේගයෙන්ම සංවර්ධනය වන නගරය බවට කොළඹ නම් කෙරුණි. දිනකට දෙතුන් වරක් නගරයේ කුණු ඉවත් කෙරුණි. නගර අලංකරණයට වැඩි අවධානයක් යොමුකර තිබුණි. අභිමානවත් දේශීය අනන්‍යතාවය, සංස්කෘතිය, පෞරුෂය විදහාපාන ප්‍රධාන නගරයයි කොළඹ. නමුත් එම නගරයේ ගෞරවය අද කෙලෙසී ඇත. නැවතත් පේමන්ට් පුරා තට්ටු බට්ටුය. නගරය පුරා කුණුරොඩුය. කාණු අවහිර වී කුණු ජලය එකතු වී ඇත. සොරුන්ගෙන් සහ මං පහරන්නන්ගෙන් පිරී ඇත. මීට වසර තුනකට පෙර පිටකොටුව පාවෙන වෙළෙඳසල විවෘත කළේ අන් කවරකුත් නොව, එවක හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා වූ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. යහපාලනයට නායකත්වය දෙන ඔහු යටතේ තම සුරතින් ආරම්භ කළ දැවැන්ත ව්‍යාපෘතියක් වල්වැදීමට.
වැදගත් වන්නේ කවුරු කුමන කාර්යය කළත් එය නිසි ලෙස කළමනාකරණය කර සංවර්ධනය කිරීමයි. පාවෙන වෙළෙඳපොළ සැබැවින් දියුණු කළ හැකි සංකල්පයකි. සංචාරක කර්මාන්තය දියුණු කිරීම අතින් වැදගත්ම කාර්යයකි. ඒ සඳහා වැය කළ ප්‍රකෝටි ගණනක් ජනතා මුදල් අපතේ යාමට ඉඩ දිය නොහැකිය. අතිවිශාල ලාභයක් අත්පත් කරගත හැකි කර්මාන්තයක් නිකරුණේ විනාශ වීමට හැරීම කිසිසේත්ම පිළිගත නොහැකිය. පහුගිය ආණ්ඩුව ණය ගත්තා නම් ඒ සංවර්ධන කටයුතු සඳහාය. එම ණය පියවීමට වත්මන් ආණ්ඩුව තවත් ණයක් ගැනීමට අවශ්‍ය නැත. පසුගිය ආණ්ඩු කාලය කළ ව්‍යාපෘති නිසි ලෙස කළමනාකරණය කර ලාභ උපයා ණය පියවීමට සඳහා මාර්ගයක් සෙවිය යුතුය. රාජපක්ෂ ආණ්ඩුව අදක්ෂ යැයි පෙන්වීම රාජපක්ෂ ආණ්ඩුව ආරම්භ කළ ව්‍යාපෘති වල්වැදීමට හැර දියාරු කිරීම දේශපාලනිකව බංකොලොත් උපක්‍රමයකි.
♦ සාම් තන්වීරි