2017 මාර්තු 11 වන සෙනසුරාදා

ජිම් ගිහිල්ලා ෆිට් වෙන්න පුළුවන්ද?

 2017 මාර්තු 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 431

නීරෝගීකම යනු උතුම්ම ලාභය බව බුදුන් වහන්සේ පවා තම දේශනාවන්හි සඳහන් කර තිබෙන්නකි. එහිදී නීරෝගීකම යනුවෙන් අදහස් වන්නේ කයේ මෙන්ම මනසේද නීරෝගීකමය. එසේ නීරෝගී දිවි පෙවෙතක් ගතකිරීමේ හැකියාව ඇත්නම් අද බොහෝ දෙනකු පීඩා විඳින දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි රෝග රැසකින් වැළකී සිටීමට අවස්ථාව සැලසෙනු ඇත.

නීරෝගීකම ගැන කතා කරන විට නිතැතින්ම සිහියට එන දෙයක් වන්නේ ව්‍යායාම් මධ්‍යස්ථාන හෙවත් ජිම්ය. ජිම්නේසියම් (gymnasium) හි කෙටි නාමය ලෙස ජිම් යනුවෙන් ව්‍යවහාර වන මෙම ව්‍යායාම මධ්‍යස්ථාන අද වෙද්දී බොහෝ දෙනකුගේ කායික ව්‍යායාම් අවශ්‍යතා ඉටුකිරීමට ලබාදෙන්නේ විශාල දායකත්වයකි. මහා පරිමාණ ව්‍යායාම් මධ්‍යස්ථාන ජාල මෙන්ම ගම් මට්ටමින් ක්‍රියාත්මක වන කුඩා පරිමාණ ව්‍යායාම් මධ්‍යස්ථානද බහුලව දක්නට ලැබෙන්නේ එනිසාය. නගරයේත් ගමේත් එක සේ ජනප්‍රිය වෙමින් පවතින ජිම් ගැනත් ජිම් ගොසින් ලැබෙන ෆිට්නස් ගැනත් කරුණු කිහිපයක් විමසීම අප අරමුණ විය. 

“ෆිට්නස් කියන්නේ ඕන කෙනකුට තිබිය යුතුම දෙයක්. ජිම් එකකට යනවා කියන්නේ තමන්ගෙ ඇඟ ගැන සැළකිලිමත් වෙනවා කියන එකයි. ඒක අවශ්‍ය දෙයක්. ඒක ෆැෂන් එකක්වත් කාලය නාස්ති කිරීමක්වත් නෙමෙයි. ඇඟට ඕන දෙයක්. ඇඟ නඩත්තු කරන්න අපි කනවා බොනවා වගේම ජිම් යන එකත් අවශ්‍යයි කියලයි මම නම් හිතන්නෙ” ජිම් යන මිතුරකුගේ අදහස එය විය.

2013 වසරේදී ජාත්‍යන්තර මට්ටමින් කෙරුණු සමීක්ෂණයකදී හෙළිවී තිබුණේ ලොව වැඩිහිටි ජනගහනයෙන් සියයට 27ක්ම ව්‍යායාම් මධ්‍යස්ථානයක සේවය ලබාගන්නා බවය. එසේ ව්‍යායාම්වලට යොමුවන්නන්ගෙන් සියයට 61ක්ම සාමාන්‍ය ජිම් මධ්‍යස්ථානයක ක්‍රියාකාරකම්වල නිරතවන බවද ඉන් තහවුරු කොටගෙන තිබුණි.

තවත් සමීක්ෂණයකදී හෙළිවී තිබුණේ, ව්‍යායාම් මධ්‍යස්ථානයකට යන කාන්තාවන්ගෙන් බහුතරයක් බර එසවීම වැනි අධික වෙහෙසකර ව්‍යායාම් කටයුතුවලට වඩා Cardio ව්‍යායාම එසේත් නැතිනම් හෘද ස්පන්දන වේගය වැඩිකරවන ක්‍රියාකාරකම් සඳහා යොමුවන බවය. එමගින් මස්පිඬු වර්ධනය කරගැනීමකින් තොරව නීරෝගී බව ආරක්ෂා කරගැනීමේ හැකියාව ඔවුන්ට උදාවේ. නමුත් පුරුෂ පක්ෂයේ බොහෝ දෙනා යොමුව ඇත්තේ මස් පිඬු වර්ධනයද සහිත ව්‍යායාමවල නිරත වීමටය. 

“වෙඩින් එකට මාස කිහිපයක් තියල තමයි මම ජිම් යන්න පටන් ගත්තෙ. ඇත්තටම කිව්වොත් අපේ ඔෆිස් එක කිට්ටුව ජිම් එකක ප්‍රොමෝෂන් එකක් තිබ්බා. ඉතින් මමයි මහත්තයයි දෙන්නම වෙඩින් එකට කලින් ඒ ජිම් එකට ගියා. හැබැයි ඉතින් ජිම් ගියාට විතරක්ම ෆිට්නස් ගන්න බැහැ කියලයි මම හිතන්නෙ. කෑම බීමත් පාලනය කරන්න ඕන” මෑතකදී විවාපත් වුණු තරුණියක් ජිම් යාම පිළිබඳ තම අත්දැකීම් බෙදාගත්තේ එලෙසිනි.

වැඩිහිටි ජනගහනයෙන්27% ක් ජිම් යනවා

ව්‍යායාම් මධ්‍යස්ථානයකට යාමේ අරමුණ ඇතැම්විට අපගේ ආහාර රටාව හා බැඳී පවතින්නක් යැයි සිතීමට අනුබල දෙන අදහසක්ද තවත් අයෙකුගෙන් ලැබිණ. 

“මම නම් ජිම් යන්නේ ෆිට්නස් කියනදේටත් වඩා ඇඟේ ෂේප් එක හරි ගාණට තියාගෙන ඉන්නයි. මොකද මම ගොඩක් කෑම කන්න ආසයි. මම ආස කරන කෑම කිසිම පාලනයකින් තොරව කන්න මට ඕනා. ඉතින් එහෙම කෑවට පස්සෙ තමයි මම ඇඟ ගැන හිතලා ජිම් යන්නෙ. කොහොම වුණත් ජිම් යන්න පටන්ගත්තට පස්සෙ ඇඟට ලොකු වෙනසක් දැනෙනවා. ජිම් ගියාම ඉස්සරට වඩා ෆිට් ගතියක් දැනෙනවා. අනික් යාළුවොත් එක්ක ගැවසෙද්දි,  ස්විමං පූල් එකක පීනද්දී ඒ අයට වඩා මට ෆිට්නස් තියෙන බව දැනිලා තියෙනවා. ඉතින් ඒ ගැන ලොකු සතුටකුත් තියෙනවා.”

ව්‍යායාම යනු ශරීරයේ අවශ්‍යතාවයකි. කාර්යබහුල ජීවන රටාව තුළ ශරීරයේ නිසි පැවැත්මට අමතර ව්‍යායාමයක් පැවැතීම අත්‍යවශ්‍ය වී තිබේ. නමුත් එම ව්‍යායාම ජිම් නොයා වුවද ලබාගත හැකි බව ඇතැමකුගේ මතය වී තිබේ. ව්‍යායාම් මධ්‍යස්ථානයකට නොයනමුත් තමන්ගේ ශරීරයේ නිසි නඩත්තුව ගැන සැළකිලිමත් තවත් තරුණියකගෙන් ලැබුණේ මෙබඳු අදහසකි. 

“ෆිට්නස් කියන්නෙ අපි හැමෝටම ඕන දෙයක්. හැබැයි ඒකට ජිම් එකකටම යන්න ඕනෙ කියලා මම හිතන්නෙ නැහැ. මම ආසා ස්වභාවික පරිසරයත් එක්ක ගැවසෙමින් ව්‍යායාම කරන්න. ජිම් එකක් ඇතුළෙ හිරවෙලා ඉන්නවට වඩා මිනිත්තු 10ක්වත් දුවන්න, එළිමහන් පරිසරයකට වෙලා ව්‍යායාම ටිකක් කරන්න මම කැමැතියි. හැබැයි ඉතින් ජිම් එකක ව්‍යායාම කරද්දි ඒ වැඩේ හරියට ක්‍රමානුකූලව විනයක් එක්ක සිද්ධ වෙනවා. අපි තනියම ව්‍යායාම කරන්න ගියාම ඒ විනය නැහැ. ව්‍යායාම් කරන එක මඟහැරෙනවා වගේ දේවල් වෙනවා. ඒ අතින් නම් ජිම් එකකට යන එක වැදගත්”. 

ව්‍යායාම් මධ්‍යස්ථානයක් තුළ ගොඩනැගෙන පරිසරයද හරි අපූරුය. සියලුදෙනා ජිම් එකක් තුළට පැමිණෙන්නේ බොහෝවිට එකම අරමුණකිනි. එනම් ශරීරයේ සුවතාව පවත්නාගෙන යාමය. එනිසා ජිම් එක තුළ ගොඩනැගෙන පරිසරයද එකිනෙකාට සහයෝගශීලි වූවකි. ඔවුන’තර ගොඩනැඟෙන කතාබහකට වුවද බොහෝවිට පදනම සපයන්නේ ශරීර සුවතාව හා බැඳුණකි. 

මාධ්‍ය මගින්ද ජිම් සංස්කෘතියට යම් අනුබලයක් ලැබෙන බව කිවයුත්තකි. වෙළෙඳ දැන්වීමක පවා දකින්ට ලැබෙන්නේ සුන්දර සිහින් සිරුරැති කාන්තාවන්ය. ඒවායේ පිරිමින්ද six packs යැයි හඳුන්වන පිරිමි සිරුරේ නියම හැඩය නිරූපණය කරන්නවුන්ය. මෙනිසා වක්‍රාකාරයෙන් ජිම් සංස්කෘතිය අප එදිනෙදා දකින පුවත්පත, රූපවාහිනිය මෙන්ම මහපාරේ දැන්වීම් පුවරුවෙන්ද සමාජගත වී තිබේ. විලාසිතා නිර්මාණ ක්ෂේත්‍රය ද එහිදී ප්‍රමුඛ මැදිහත්වීමක් සිදුකර තිබේ.

අද වනවිට ජිම් යාම කාර්යබහුල නාගරික ජීවිතය තුළ අත්‍යාවශ්‍ය අංගයක් බවට මෙන්ම නාගරික ගම්බද වෙනසකින් තොරව යම් තරමකට විලාසිතාවක් බවටද පත්ව තිබේ. අරමුණ කුමක් වුවද ජිම් එක යනු අද වනවිට අවශ්‍යතාවයක් වී හමාරය. අප ගන්නා ආහාරපාන මෙන්ම ව්‍යායාමයකින් තොර ජීවන රටාවත් නිසා ව්‍යායාම් මධ්‍යස්ථානය ජීවිතයේ අංගයක් පත්කර ගැනීමේ වරදක් නොමැත. එහෙත් ඒ රැල්ලට නොව නිසි අවබෝධයක් හා වුවමනාවක් සහිතවය. නිසි උපදේශකයෙකුගේ මඟපෙන්වීමක්ද ඇතුවය. ව්‍යායාම් මධ්‍යස්ථානයකින් උපරිම ඵලය නෙලා ගත හැක්කේ එලෙසිනි.

♦ රජිත ජාගොඩ ආරච්චි