2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා

උගුරට, නාසයට, කනට වධ දෙන ලෙඩ ගොඩක්

 2017 පෙබරවාරි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 3466

 

ශීත දේශගුණය හමුවේ උගුර, කන, නාසය ආශ්‍රිතව ඇතිවන රෝගයන්ගේ ද වැඩිවීමක් දක්නට ලැබීම සාමාන්‍ය තත්ත්වයකි. විශේෂයෙන්ම වැසි කාලයට සෙම්ප්‍රතිශ්‍යාව, උගුරේ අමාරුව, කන් කැක්කුම ආදී රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට වෛද්‍ය මධ්‍යස්ථාන අසල රැඳී සිටින රෝගීන්ගේද අඩුවක් නැත. පසුගිය මාස දෙකක පමණ කාලයක් පුරාවටම අපේ රටේ ද රාත්‍රියේ හා උදෑසන අධික සීතලක් පැවැති අතර මේ නිසා බොහෝ දෙනකුට උගුරේ ආසාදන, සෙම්ප්‍රතිශ්‍යාව ඇතුළු තවත් රෝග ගණනාවකටම ගොදුරු වෙන්නට සිදුවිය. අද අපේ වෙදකමෙන් උගුර, කන, නාසය ආශ්‍රිතව ඇතිවන රෝග සම්බන්ධයෙන් කතා කරන්නට සිතුවේ ආයුර්වේදයේ ද ඒ සඳහා වැඩි ඉඩකඩක් වෙන්කොට ඇති නිසාය. මේ සම්බන්ධයෙන් අපව දැනුම්වත් කරන්නේ නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර් යේෂණායතනයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඩී.එච්. තෙන්නකෝන් මහතායි.

ආයුර්වේදයේදී උගුර, කන, නාසය ආශ්‍රිතව හටගන්නා රෝග අයත් වන්නේ ශාලාක්‍ය තන්ත්‍රයටයි. සාමාන්‍යයෙන් ආයුර්වේදයේ අර්ථ දැක්වීමට අනුව දසරුවෙන් උඩ එනම්, අපේ සිරුරේ අක්ෂකාස්ථි (Collarbone) ප්‍රදේශයෙන් ඉහළ ඇතිවන රෝග සම්බන්ධයෙනුයි ශාලාක්‍ය තන්ත්‍රයෙන් කියැවෙන්නේ. උගුර, කන, නාසයට අමතරව ඇස, මුඛ, හිස යන මේ සියල්ලෙහිම හටගන්නා රෝග තත්ත්වයන් මේ යටතට අයත් වෙනවා.

උගුර, කන, නාසය සම්බන්ධ රෝග ගත්විට උගුර ගැන අප කතා කරන්නේ මුඛ රෝග යටතේයි. ඒ වගේම නාසය ආශ්‍රිත රෝග නාසා රෝග විදිහටත්, කන ආශ්‍රිත රෝග කර්ණ රෝග හැටියටත්, ආයුර්වේදයේදී අපි කතා කරනවා. මෙම රෝග අවස්ථා තුන සම්බන්ධයෙන්ම වෙන වෙනම අවධානය යොමු කිරීම වඩාත් වැදගත් බව මගේ හැඟීම වන අතර මුලින්ම නාසා රෝග පිළිබඳව කතා කරන්නට අදහස් කරනවා.

නාසා රෝග 31ක්

නාසය කියන්නේ ස්වසන පද්ධතියේ මූලාරම්භය. අපේ ස්වසන පද්ධතිය බාහිරයට විවෘත වෙන්නේ නාසය මගින්. මෙය හරහා තමයි පෙනහළුවලට වාතය රැගෙන යන්නේ. අපට ගඳ, සුවඳ දැනෙන ප්‍රධාන ඉන්ද්‍රිය වන්නේ ද මෙයයි. විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට අනුව නාසය සම්බන්ධ නාසා රෝග 31ක් දක්වලා තියෙනවා. මෙම රෝග දෙස බැලීමේදී අපට පැහැදිලි වන කරුණක් තමයි එදා පැවැති රෝග හා අද පවතින රෝග අතර වෙනසක් නොතිබීම. බොහොම කලාතුරකිනුයි මේ රෝග අතර අලුත් රෝගයක් හමුවෙන්නේ.

ප්‍රතිශ්‍යාව හා පීනසට මුල්තැනක්

නාසා රෝග 31 අතරිනුත් බහුලව හමුවන නාසා රෝග ලෙස ප්‍රතිශ්‍යාව, පීනස, නාසයේ මස්දලු ඇතිවීම ආදිය හඳුනාගන්නට පුළුවන්. ප්‍රතිශ්‍යාව කියන්නේ සාමාන්‍යයෙන් ලොකු කුඩා භේදයකින් තොරව ඕනෑම පුද්ගලයකුට ඕනෑම අවස්ථාවකදී වැළඳිය හැකි රෝගයක්. කිවිසුම් යාම, නාසයෙන් සොටු දියර ගැලීම, දින තුනකට පමණ පසු පැසවපු සෙම ලෙස ඒවා පිටවීම ප්‍රතිශ්‍යාවේ සාමාන්‍ය ලක්ෂණයි. මෙය දින කිහිපයකින් සුව අතට හැරෙනවා. නමුත් පීනස කියන්නේ ඊට වඩා වෙනස් අවස්ථාවක්. එය දීර්ඝ කාලීනව පවතිනවා සේම තරමක් දුරට බරපතළ රෝගයක්.

පීනස

පීනස කියන්නේ නාසා රෝග අතර අද වනවිට බහුලවම හමුවන රෝගී අවස්ථාවක්. ආයුර්වේදයේදී එය හඳුන්වන්නේ පීනස නොව අපීනස කියලයි. අපේ දේශීය වෙදකමේ තමයි පීනස කියන රෝගය ප්‍රකටවම තියෙන්නේ. දේශීය වෙදකමට අනුව පීනස ගැන කතා කරද්දී 18 කියන ඉලක්කමක් ගැන අපිට සඳහන් කරන්නට වෙනවා. මොකද දේශීයත්වයත් එක්ක මේ 18 කියක ඉලක්කම ලොකු සම්බන්ධයක් තියෙනවා. තොවිල් පවිල් ගැන කතා කළත්, රෝග සම්බන්ධයෙන් කතා කළත් 18 ඉලක්කමේ සම්බන්ධයක් තියෙනවා. පීනස් 18 යි, කෝල 18 යි, සන්නි 18 යි, වලිප්පු 18 යි ආදී ලෙස මේ අපේ දේශීය වෙදකමේ තමයි ආයුර්වේදයටත් වඩා ඉතා හොඳින් පීනස ගැන කරුණු කාරණා දක්වලා තියෙන්නේ. ඒ අනුව අනිත් පැත්තෙන් තොවිල් කරන්න 18 සන්නියත් නටනවා. ඒ විදිහට 18 ඉලක්කම දේශීය වෙදකමට විවිධ අයුරින් සම්බන්ධ වෙනවා.

වැඩි පිරිසකටම තියෙන්නේ දියර පීනසේ

සාමාන්‍යයෙන් පීනස කිව්වම වැඩි දෙනකුගේ සිහියට එන්නේ නාසයෙන් දියර ගලන, කිවිසුම් යන, දවස් කීපයකින් අවසන් නොවන, දීර්ඝ කාලයක් පවතින රෝග තත්ත්වයක් ලෙසයි. නමුත් පීනස කියන්නේ නාසයෙන් සොටු දියර ගලන, උදේ නැඟිට්ටම කිවිසුම් යන රෝග තත්ත්වයක් පමණක්ම නෙමෙයි. පීනස් 18 අතරින් එකක පමණයි එම රෝග ලක්ෂණ තියෙන්නේ. ඒකට අපි කියන්නේ දියර පීනස කියලා. ඒකෙදි වෙන්නේ සෙම් සොටු ගැලීම, කිවිසුම් යාම වගේ දේවල්. සමාජයේ බොහෝ දෙනා අතර දක්නට ලැබෙන්නේත් මෙම රෝගී අවස්ථාවයි.

හිතනවාට වඩා භයානකයි

පීනස නාසා රෝගයක් වුවත් එය නාසය ආශ්‍රිතව පමණක්ම පවතින රෝගයක් ලෙසට සලකන්නේ නෑ. එය උගුර, ඇස, මුහුණ, මුඛය මේ ඕනෑම ස්ථානයක රෝගී තත්ත්වයක් මතුකරන රෝගයක් වෙන්න පුළුවන්. කාලයක් තිස්සේ පීනස රෝගයෙන් පීඩා විඳින පුද්ගලයකු හට ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබීම නිසා නාසය ආශ්‍රිතවද රෝග ලක්ෂණ පවතින අතරම අප මුලින් සඳහන් කළ ඉන්ද්‍රීන් වෙතද එමගින් බලපෑම් ඇති කෙරෙනවා.

පීනස නිසා හටගත හැකි වෙනත් රෝග

මුලින් පීනස රෝගය පැවතියත් කල්ගතවීමේදී වෙනත් රෝග තත්ත්වයන්ද මතුවීම නිසා වැඩි දෙනෙක් ප්‍රතිකාර ලබාගන්නේ පීනසයට නොව, පසුව හටගත් රෝග සඳහා. අපි හිතමු කෙනෙක් ඇස් කසනවා, ඇස් රතු වෙනවා කියලා, අපි ළඟට ප්‍රතිකාර ලබාගන්නට ආවා කියලා. මෙම රෝගය හටගැනීමට බලපෑ හේතු පිළිබඳව සැලකිල්ලට ගත්විට අපිට දැකගන්නට ලැබෙන දෙයක් තමයි මෙම රෝගියා මූලිකවම පීනස් රෝගයෙන් පෙළෙන පුද්ගලයකු බව. තවත් වෙලාවක කෙනෙක් එන්න පුළුවන් නිරන්තරයෙන්ම කන් කැසීම සඳහා ප්‍රතිකාර ලබාගන්නට. ඒ වගේම උගුරේ අමාරුවට. මේ රෝග සඳහා ප්‍රතිකාර කරන්නට පැමිණුනාට ඇත්තටම රෝගය තියෙන්නේ නාසය ආශ්‍රිතවයි. මොකද මේ එකිනෙකක් ගත්විට නාසය ඇසට සම්බන්ධයි. නාසය උගුරට සම්බන්ධයි. උගුර කටට සම්බන්ධයි. ඒ වගේම නාසය මුඛයටත් සම්බන්ධයි. ඔය ආදී ලක්ෂණ රාශියක් තමයි පහල වෙන්නේ. එතකොට නාසය පෙනහළුවලටත් සම්බන්ධයි. ඒ නිසා කාලයක් යද්දී මේ සෑම අංගයකම රෝග ලක්ෂණ පැවතීමට ඉඩකඩ තියෙනවා.

තව කෙනෙක් කාලයක් පීනස් රෝගය තිබීම නිසා හිස ආශ්‍රිතවත් රෝගී තත්ත්වයන්ට පත්වෙනවා. ඒ වෙද්දී එම රෝගියාට තමන් මුල් කාලයේදී පීනස් රෝගයෙන් පෙලුණද කියා අමතක වෙන්නත් ඉඩ තියෙනවා. ඔහුට මේ වෙද්දී තියෙන්නේ තද හිසේ අමාරුවක් විතරයි. ඉතින් දක්ෂ වෛද්‍යවරයකුට හැකියාව තියෙනවා, මේ හැම රෝගී අවස්ථාවක්ම නිරාකරණය කරලා පීනස කියන රෝගය වෙනමම හඳුනාගන්නට.
ඊළඟට කාලාන්තරයක් තිස්සේ සෙම් රෝගියෙක් දියර පීනස් රෝගයෙන් පෙලුණාම එය පෙනහළුවලට බලපානවා. එහිදී පෙනහළුවල සේම තත්ත්වය වැඩි වී පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්වයන් ඇතිවෙනවා. දේශීය වෙදකමේ ළය පීනස එනිසාම නැත්නම් ඇදුම කියන රෝගී අවස්ථාවට මෙහිදී පත්වෙන්න පුළුවන්. පීනස් රෝගත් බැරෑරුම් තත්ත්වයක් තමයි පෙනහළු ආශ්‍රය කරගත් මේ ලය පීනස අවස්ථාව 

අරුම පුදුම බූවල්ලා

පීනස කියන්නේ අරැම පුදුම රෝගයක්. ඒක හරියට බූවල්ලෙක් වගේ හරියට ප්‍රතිකාර කළේ නැත්නම් ඇස්, කන්, උගුර යන මේ හැම ඉන්ද්‍රියක් ආශ්‍රිතවම රෝග පැතිරීමක් සිදුවෙනවා. ඒවා ආශ්‍රිතව රෝග ලක්ෂණ හට ගන්නවා.

දවසේ වැඩ අඩාලයි

පීනස් රෝගියෙක් උදෑසන අවදි වීමෙන් පසු ඔහුට කිවිසුම් යනවා. ඇස් කසනවා, කන් කසනවා, ඇස්වලින් කබ කඳුළු ගලනවා. කිවිසුම් යාම නිසා ඇඟ රිදෙනවා. ඉතින් එම පුද්ගලයාගේ දවසේ රාජකාරි කටයුතු සඳහා මෙය විශාල බාධාවක් වෙනවා. ඒ අනුව පීනස කියන්නේ තනි පුද්ගලයකු සඳහා පමණක්ම බලපාන සෞඛ්‍ය ගැටලුවක් ලෙස සලකන්න බෑ. අපි හිතමු ගෙදර ගෘහණිය පීනසෙන් පෙළෙනවා කියලා. ඒ ගෘහණියට උදේට නැඟිටලා දරුවන්ගේ, සැමියාගේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරන්න අපහසුයි. එහෙම වුණාම ඒ පවුල් සංස්ථාවටම මේ දේ බලපානවා. ඒ වගේම ඔවුන්ගේ ආර්ථිකයටත් මෙයින් බලපෑම් සිදුවෙනවා. ඒ අනුව මෙය පුද්ගල, පවුල්, සමාජය කියන මේ හැම දෙයටම බලපාන ගැටලුවක්. ස්වාමිපුරුෂයා මෙවැනි රෝගයකින් පෙළීමද ඒ තත්ත්වයම උදාකරනවා. දරුවන් පීනස් රෝගයෙන් පෙළෙනවා නම් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලටද ඉන් විශාල බලපෑමක් සිදුකෙරෙනවා.

සුවකළ හැකි රෝගයක්

දියර පීනසය කියන්නේ සුවකරගත හැකි රෝගී අවස්ථාවක්. මෙය සුවකිරීමේදී කාරණා කිහිපයක් සැලකිල්ලට ගන්න ඕන. මේ පුද්ගලයාට සුදුසු නුසුදුසු දේ (මෙය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකිය.) මොනවාද, ඔහුගේ ඖෂධ විහරණ එලෙස අවධානය යොමුකළ යුතු කාරණාවක් වෙනවා. පාන්දරට නැගිටින්න බැරි කෙනෙක් නම් එසේ කිරීම නොකළ යුතුයි. ඒ වෙනුවෙන් යම්කිසි ක්‍රමවේදයක් සකස් කරගත යුතුවෙනවා.

පාඩම් කරන වයසේ දරුවෙක් පීනස් රෝගයෙන් පෙළෙනවා නම් ඒ දරුවාට රෑ නිදිමැරීම හෝ පාන්දර නැගිටීම අපහසු කාරණයක් නිසා දවසේ යම්කිසි වේලාවක් පාඩම් කටයුතු සඳහා වෙන්කර ගත යුතු වෙනවා. ඉතින් අපිට මේ රෝගීන් එක්ක කතා කරලා තමයි ඒ සඳහා උපදෙස් ලබාදිය යුතු වෙන්නේ.

සීතල ආහාර ගන්න එපා

සීතල ආහාර කිව්වම එය වර්ග දෙකක් යටතේ අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. එකක් තමයි ස්පර්ශයට සීතල, ශීතකරණයේ තබා ගන්නා ආහාර, ශීතකල බීම වැනි දේ සීතල සමඟ පානය කිරීම හෝ ආහාරයට ගැනීම පීනස් රෝගියකුට සුදුසු වෙන්නේ නෑ. අනෙක් ආකාරය ලෙස මුංඇට, නිවිති, කිරිබත්, මෑ කරල්, බණ්ඩක්කා වැනි ජීර්ණයෙන් පසු සීත ගණයෙන් යුත් ආහාරද පීනස් රෝගීන්ට සුදුසු වන්නේ නෑ.

 හේමමාලි කුමාරි රාජකරුණා