2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා

විස්කම් නිර්මාණයකින් ලෝකෙන්ම අංක 1 දිඹුලාගල යොමාල්

 2017 පෙබරවාරි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 160

දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විදුහලේ 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ යොමාල් විශ්වජිත් සිරිවර්ධන ශිෂ්‍යයාට පසුගියදා ජීවිතේ අමරණීයම දවසක් විය. තායිලන්තයේ බැංකොක් නගරයේ දී රටවල් විසිනවයක් නියෝජනය කරමින් පැවති නව නිපැයුම් තරගාවලියේදී මේ පුංචි ශ්‍රී ලාංකිකයාට රන් පදක්කම හිමිවිය.

පවුලේ බාලයා වුණු යොමාල් අම්මාගේත්, තාත්තාගේත්, එකම අක්කාගේත් ආදරය, සෙනෙහස ලබමින් පොළොන්නරු මහවැලි සී කලාපයේ ජීවත් වේ. දිඹුලාගල ග්‍රාමනිලධාරිවරයකු ලෙසින් කටයුතු කරන විපුල සිරිවර්ධන යොමාල්ගේ ආදරණීය තාත්තා විය. ප්‍රියන්තා කල්‍යාණි යොමාල්ගේ දයාබර අම්මා විය. යසාරා යුවනිකා තම එකම සහෝදරයා ගැන ආඩම්බර වන ආදරණීය සහෝදරියක් වූවාය.
මගේ හැමදේටම උදව් කරන්නේ මගේ අම්මයි, තාත්තයි, අක්කයි තමයි. තාත්තා ග්‍රාමනිලධාරි කෙනෙක්. අම්මනම් රස්සාවක් කරන්නේ නෑ. හැබැයි ගෙදර හැම වැඩක්ම හොයලා බලලා කරන්නේ අම්මා. මාව තරගවලට එක්කරගෙන යන්නේ මගේ තාත්තා. දිඹුලාගල ඉඳන් සමහර දවස්වලට අපි කොළඹ තරගවලට පවා ඇවිත් තියෙනවා. පුංචි කාලේ ඉඳන් මම ඔය එක එක දේවල් හදනවා. සමහර වෙලාවට ඔය ටින් කෑලි, ලී කෑලි එහෙම නිසාත් ගේ පුරාම හැඩිවෙනවා. ඒත් කවදාවත් අම්මවත්, තාත්තවත්, අක්කවත් ඒ දේවල් කරන්න එපා කියලා මට බැණලා නෑ.
යොමාල් තම අතීතය එලෙසින් අවදි කළේය.

පුංචි කාලේ පටන් යොමාල්ගේ හිත නව නිපැයුම් වෙත යොමු විය. ඒ හිත තව තවත් ඇදී ගියේ ඔහු 6 වසර පන්තියේ ඉදිද්දීයි. 2015 වසරේ ඔහු ඉවත ලද ද්‍රව්‍යයන් එකතු කර නව නිපැයුමක් නිර්මාණය කළේය.
ඒ ආබාධිත පුද්ගලයන් සඳහා භාවිත  කළ හැකි කෘත්‍රිම අතක් නිර්මාණය කිරීමයි. ඒ වෙනුවෙන් යොමාල්ට සමස්ත ලංකා තරගාවලියෙන් තෙවැනි ස්ථානය හිමිවිය.
2015 දී මම සමස්ත ලංකා තරගයෙන් තුන්වන ස්ථානය දිනාගත්තා. ඒ තරගයට මම හැදුවේ ආබාධිත පුද්ගලයකුට තම එදිනෙදා වැඩ කරගත හැකි කෘත්‍රිම අතක්. අපේ පැත්තේ එක මාමා කෙනෙක් ඉන්නවා... එයාගේ අතක් නෑ. ඒත්... ඒ මාමා තනි අතින් පොල්කටුවලින් එක එක නිර්මාණ හදනවා. එයා හදන නිර්මාණ හරි ලස්සනයි. කාලයක් තිස්සෙ මම දැකපු මේ දේ මගේ හිතේ තදින්ම තිබුණා. එක එක අත්හදා බැලීම් කරලා, පොත් කියවලා, කල්පනා කරලා මම ඊට පස්සෙ කෘත්‍රිම අතක් හැදුවා. ඒක තුන්වැනි ස්ථානය දිනාගත්තා.

දිනක් දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විදුහලේ නාලනී ගුරැතුමිය යොමාල් වෙත අයැදුම්පතක් ලබා දුන්නාය. ඒ 2016 වසරේ දී පැවති සහසක් නිපැයුම් තරගාවලියටයි. එය පවත්වන ලද්දේ විද්‍යා හා තාක්ෂණ පර්ෙය්ෂණ අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා නිපැයුම්කරුවන්ගේ කොමිසමයි. එම තරගාවලියට යොමාල් අපූරු නිර්මාණයක් ඉදිරිපත් කළේය. ඒ ස්වයංක්‍රීය ජල සැපයුම් උපකරණයක් නිර්මාණය කිරීමයි. අවසානයේදී යොමාල් එයින් ජයග්‍රහණය ලැබුවේය.
නාලනී මිස් ඒ ඇප්ලිකේෂන් එක දුන්නට පස්සේ මම ගොඩාක් කල්පනා කළා. පොත් කියවලා, ඉන්ටර්නෙට් එකෙන් එහෙමත් බලලා අන්තිමට මෙහෙම එකක් කරන්න හිතුණා. මේ හැම නිර්මාණයක් කරන්න මට තාත්තා සල්ලි දෙනවා. කඩවල් ගානේ ගිහින් ඒ ඕන කරන දේවල් ගේන්නේත් මායි තාත්තයි දෙන්නම ගිහිල්ලයි. මෙහේ නැති සමහර දේවල් කොළඹ ඉන්න අපේ මාමාට කිව්වම එයා හොයලත් දෙනවා. අපේ ඉස්කෝලේ අත්තනායක සර් මට ගොඩාක් උදව් කළා. තරගයට කොළඹ දවස් කීපයක්ම මායි තාත්තයි ආවා. අන්තිමට ඒ තරගයෙන් නෙළුම් පොකුණේ දී ජනාධිපතිතුමා අතින් මම ප්‍රථම ස්ථානයේ සම්මානය දිනාගත්තා.
යොමාල් ජීවත් වූයේ කෘෂිකාර්මික පළාතකය. පළාතේ බොහෝ අය ගොවියෝ වූහ. මේ ගොවීන්ට ඇතිවන විශාලතම ගැටලුවක් වන්නේ ගොවිතැන් කටයුතු සඳහා කලට වේලාවට ජලය ලබාගැනීමට නොහැකි වීමයි. මේ ස්වයංක්‍රීය ජල සැපයුම් යන්ත්‍රය නිර්මාණය කළ යොමාල් එම ගැටලුවට විසඳුමක් සෙවීය.

තමන්ගේ ගොවිතැනට වතුර රුගෙන යන තැන මේ උපකරණය සවිකරලා තමන්ට ඕනෑම වෙලාවක ලෝකයේ කොහේ සිට හෝ ජංගම දුරකථනය මගින් ජලය අරින්න වහන්න පුළුවන්. සූර්ය බල ශක්තියෙන් ඕනෑම වෙලාවක මෙම යන්ත්‍රය ක්‍රියාත්මක කරන්න පුළුවන්. මෙම යන්ත්‍රය තමන්ගේ ජංගම දුරකථනයෙන් පාලනය කරන නිසා කිසියම් විදිහකින් කවුරුන් හෝ උපකරණය සොරකම් කරන්න හැදුවොත් වහාම කෙටි පණිවිඩයකින් ඒ බවද දැනුම් දෙනවා. වතුර මට්ටම පිළිබඳවද මෙමගින් දැනගන්නට හැකි අතර ඕනෑම ජල සැපයුම් කාර්යකටත් මෙම උපකරණය යොදා ගන්න පුළුවනි...


තායිලන්තයේ බැංකොක් නුවර පැවති ජාත්‍යන්තර නව නිපැයුම් තරගාවලියට යොමාල් ඇතුළුව තරගකරැවන් හතර දෙනෙක් ලංකාව නියෝජනය කරමින් සහභාගි වූහ. ඉන්දියාව, ජපානය, චීනය වැනි ප්‍රබල රටවල් විසිනමයකින් තරගකරුවෝ විශාල සංඛ්‍යාවක් තරගාවලියට සහභාගි වූහ.

තරගයෙන්ම මම පළමුවැනි තැනට තේරැණා කියපු ගමන් මට අදහාගන්න බැරිවුණා. මගේ ඇස්වලට කඳුළු ආවා... මට එකපාරටම මතක් වුණේ මගේ අම්මවයි තාත්තවයි. පුංචි කාලේ ඉඳන් හැම තරගයකදීම මාව එක්කගෙන ගියේ මගේ තාත්තා. ඒත් තායිලන්තයට මාත් එක්ක යන්න තාත්තාට බැරිවුණා. මේ ජයග්‍රහණය කියද්දී මගේ අම්මයි තාත්තයි ළඟ හිටපු නැති එක ගැන ඇත්තටම ලොකු දුකක් දැනුණා. අම්මටයි, තාත්තටයි, අක්කටයි ගොඩාක් සතුටුයි. මගේ ඉස්කෝලේ දිඹුලාගල සිරිපුර මධ්‍ය මහා විදුහලේ විදුහල්පති එදිරිසිංහ සර්, නියෝජ්‍ය විදුහල්පති තිලකරත්න සර්ට වගේම විදුහලේ සියලුම ගුරුවරුන්ටත් ස්තූති කරනවා.
යොමාල්ගේ පියා වූ විපුල මහතා ද තම පුතුණුවන්ගේ ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක්වීය.

පුතා පුංචි කාලේ ඉඳන්ම ටිකක් නිහඬ දරුවෙක් වුණා. පුංචි කාලේ එයා වත්තේ පොඩි පොඩි ගෙවතු දාලා ඒවාට සාත්තු කළා. එයා මේ පරිසරයට හරි ආදරෙයි. ගහකොළට හරි ආදරෙයි. පස්සෙ හෙමි හෙමිහිට ඉලෙක්ට්‍රොනික නිර්මාණ කරන්න පටන් ගත්තා. එයාට ඒවා කරන්න ඕන කරන දේවල් අපිට පුළුවන් විදිහට අපි පුතාට අරගෙන දුන්නා. එයාට කම්පියුටරයක් ඉල්ලුවහම ඒකත් අරගෙන දුන්නා. හැබැයි කවදාවත් පුතා ඒ කිසිම දේකින් අයුතු ප්‍රයෝජන ගත්තෙ නෑ. අපිට පුතා ගැන හරි සතුටුයි.

යොමාල්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහුගේ ගම්මානයේ විවිධ පිළිගැනීම් උත්සව පවත්වයි. දිඹුලාගල සිරිපුර විද්‍යාලයේද යොමාල් වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබුණි.
මේ රන් පදක්කමින් මම තවත් ශක්තිමත් වුණා. මම වගේම තව දක්ෂ ළමයි මේ දිඹුලාගල ප්‍රදේශයේ ඉන්නවා. ඒ අයත් එකතු කරගෙන මම තව නව නිපැයුම් නිර්මාණය කරලා මගේ රටට තවත් ජයග්‍රහණ අරගෙන එනවා. මට මේ ජයග්‍රහණය ලබාගන්න උදව් කරපු හැමෝටම ගොඩාක් ස්තූතියි.
යොමාල් තම අනාගත බලාපොරොත්තුව එලෙසින් පැවසීය.

 දිශානි ජයමාලි කරුණාරත්න