
සර්වඥ ධාතුන් වහන්සේලා නිදන් කොට හෙළ රජ දරුවන් විසින් නිර්මාණය කළ වෙහෙර විහාර අදටත් බොදු ජනතාව පූජනීයත්වයෙන් වන්දනා කරන්නේ ජීවමාන බුදුන් වහන්සේ නමදිනා අයුරෙනි. විවිධ හේතුන්ගෙන් පිරුණු කාලයත් සමඟ ඇතැම් පූජාභූමි නටඹුන් වී ගොසිනි. එවැනි පුරාවිද්‍යාත්මක වශයෙන් වටිනා ස්ථාන නිදන් කොල්ලකරුවන්ගේ ග්‍රහණයට හසුවෙද්දී තවත් වෙහෙර විහාර රැසක් පුරාවස්තු කොල්ලකරුවන්ගේ තර්ජනයට ලක්වෙමින් තිබේ.
මෑතකාලීනව නිර්මාණය වූ වෙහෙර විහාර, දේවාල, කෝවිල් ඇතුළු පූජනීය ස්ථාන රැසක තිබූ වටිනා දේපළ ඇතුළු නිදන් වස්තුන් සොරාගත් සිදුවීම් අතර ඊට සම්බන්ධ පුද්ගලයන් හා කල්ලි පිළිබඳව ද අසන්නට ලැබිණි. ගත වූ 2015 සහ 2016 දෙවසර තුළදී ගම්පොල, මාවලපිටිය, කඩුගන්නාව, පුස්සැල්ලාව ආදී මහනුවරට තදාසන්න නගර ආශ්‍රිතව ඇති විහාරස්ථාන 20කට අධික ප්‍රමාණයක වැඩහිඳුවා තිබූ බුදු පිළිමවල නළලත වූ ඌර්ණ රෝම ධාතුන් වහන්සේලා සහ චෛත්‍යවල චූඩා මාණික්‍යයන් ගලවාගෙන සොරාගත් බවද වාර්තා වෙමින් තිබේ.
බොහෝ විට රාත්‍රී කාලයේ සිදුකරන මෙවැනි අපරාධ හේතුවෙන් විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. උන්වහන්සේලා ඇතුළු කෝවිල්වල පූසාරි සහ දේවාලවල කපු මහත්වරුන්ටත්, බස්නායක නිලමේවරුන්ටත් ඇත්තේ ජීවිත තර්ජනයකි.
ඉකුත් වසර දෙක පුරාවට මහනුවර දිස්ත්‍රික්කය තුළ විහාරස්ථානයන්හි සිදු වූ සොරකම් අතරට ඒවායෙහි වූ බුදු පිළිමවල ඌර්ණ රෝම ධාතුව සහ චෛත්‍යවල චූඩා මාණික්‍ය සොරාගත් සිදුවීම් 20ක් පමණ වාර්තා විය. මෙහි ආසන්නතම සිදුවීම් කීපය වාර්තා වී තිබුණේ පුස්සැල්ලාව පොලිස් බල ප්‍රදේශයේදීය. මෙවැනි සොරකම් වැඩිම ප්‍රමාණයක් 2016 වසරේදී වාර්තා වූ අතර එම වසරේ ජුනි 17 වැනිදා ගම්පොල අටබාගේ පල්ලේගම පුරාණ කන්දේ විහාරයේ චෛත්‍ය රාජයාගේ චූඩා මාණික්‍ය සොරාගැනීම පුදුම සහගතය. මෙම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ වෙහෙර වහන්සේට චූඩා මාණික්‍ය සහිත කොත පළඳවා සැදැහැවතුන්ගේ වන්දනාවට ඉඩ හසර ලබාදෙනු ලැබුවේ ගිය වසරේ ජුනි 07 වැනිදාය. ඉන් දින කීපයකට පසු උදා වූ 17 වැනිදා රාත්‍රියේ යම් කෙනෙක් හෝ පිරිසක් විසින් චෛත්‍යයේ චූඩා මාණික්‍ය ගලවා සොරාගෙන තිබුණි. වෙහෙර වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පින්කමට සමගාමීව ප්‍රධාන පිරිස දින 7ක් පෙරහර පවත්වා අවසානයේ පිරිත් සජ්ජායනයක් සිදුකිරීමට සූදානමින් සිටියදී මෙම සොරකම සිදුකර තිබුණි.
රුපියල් 125,000කට අධික වටිනාකමින් යුත් චූඩා මාණික්‍ය සොරාගැනීම සඳහා චෛත්‍ය ආසන්නයේ වූ මල් ආසනයට නැඟ කඹයක් ආධාරයෙන් කොත දක්වා නැගී තිබෙන බවට සලකුණු ඇති බව දකින්නට ලැබී ඇත.
එම වසරේදීම පුස්සැල්ලාව ශ්‍රී මතින්දාරාම විහාරයේ වෙහෙර වහන්සේගේ තිබූ චූඩා මාණික්‍ය සොරාගෙන තිබූ අතර ඒ සම්බන්ධයෙන් සැකකරුවකු හෝ හමු වී නැත. මේ අතර ගම්පොල සහ පුස්සැල්ලාව අතර ප්‍රදේශයේ පිහිටි ඇත්ගල නගරයේ අභිනවයෙන් ඉදිකළ බුදු පිළිම වහන්සේගේ රන් පවුමක බරින් යුතුව ස්ථාපිත කර තිබූ ඌර්ණ රෝම ධාතුව ගලවා තිබිණි. එම සිදුවීම පිළිබඳවත් සැකකරුවකු හෝ හමු නොවූ අතර එම පිළිම වහන්සේ නිර්මාණය කොට තිබුණේ ප්‍රදේශයේ තරුණ ප්‍රජාවගේ මැදිහත්වීමෙනි.
බුදුරජාණන් වහන්සේගේ නේත්‍රා දෙබැම අතර මැද දකුණු පසට කරකැවී සුදු පැහැයෙන් යුතුව තිබූ රෝමය “ඌර්ණ රෝම ධාතුව” ලෙස හඳුන්වයි. උන්වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණයක් වූ එය නවක පිළිම නෙලන්නෝද ගෞරවයෙන් නිර්මාණය කරන්නට උත්සාහ දරති.
ගැටඹේ රාජෝපවනාරාමයේ චූඩා මාණික්‍ය සොරාගැනීමේ සිදුවීම ආසන්නයේ තිබූ සී.සී.ටී.වී. කැමරාවක පටිගත වී තිබීමෙන් ඉන් ලබාගත් දර්ශන මාධ්‍ය ඔස්සේ පළකිරීමත් නිසා නැවත චූඩා මාණික්‍ය විහාර භූමියට ගෙනවිත් දමා තිබියදී හමු වී තිබුණි. එහි දර්ශනය අනුව සැකකරුවකු හඳුනාගත් අතර ඔහු සිද්ධියට සම්බන්ධ උපැවිදි වූ පුද්ගලයකු බවද පොලීසිය සඳහන් කළේය.
ඉකුත් ජනවාරි මස අවසානයේදී පුස්සැල්ලාව ඉබ්බන්වැව ශ්‍රී සුධර්මාරාම විහාරයේ බුදු පිළිමයේ තිබූ ඌර්ණ රෝම ධාතුව සොරාගෙන දිනයක් ගතවූ පසුව අටබාගේ අශෝකාරාමයේ චූඩා මාණික්‍ය සොරාගෙන තිබුණි. එමෙන්ම මහනුවර මුල්ගම්පොල පිහිටි ආරාමයක තැන්පත් කර තිබූ බුදු පිළිම වහන්සේ නමකගේ ඌර්ණ රෝම ධාතුව ගලවා තිබිණ.
භික්ෂුණීන් වහන්සේලා වැඩ හිඳින ආරාමයක මෙම සොරකම සිදුව තිබුණේ පොහොය දිනක රාත්‍රියේය. යටිනුවර කැටකුඹුර ශ්‍රී විජය සුන්දරාරාමයේ තිබූ බුද්ධ ප්‍රතිමාවකද ඌර්ණ රෝම ධාතුව ගලවාගෙන ගොස් ඇති බව වාර්තා විය. මේ ආකාරයට මහනුවර දිස්ත්‍රික්කයේ නාවලපිටිය වේළුවනාරාමය, ගම්පොළ රතවසර විහාරය සහ උලපනේ බෝධි රුක්ඛාරාමය තුළද මෙවැනි සොරකම් වාර්තා වී තිබුණි.
ඇඹිලිපිටිය නව නගරය ආසන්නයේ පිහිටි විහාරස්ථාන දෙකක චූඩා මාණික්‍ය 2ක් සොරකම් කොට තිබුණේ එකම දිනෙක රාත්‍රියේදීය. 2016 වසරේ වාර්තා වූ එම සිදුවීමට අමතරව ඊට පෙර පානදුර රන්කොත් විහාරයේ චූඩා මාණික්‍ය සොරාගැනීමද වත්තේගම ඉහළ යටවර ශ්‍රී ඛෙත්තාරාම විහාරයේ සහ පහළ යටවර ශ්‍රී නන්දාරාම විහාරයේ චෛත්‍යවල චූඩාමාණික්‍ය සොරාගෙන තිබුණි. මේ අතර හසලක පල්ලේවත්ත ප්‍රදේශයේ දී ත්‍රීරෝද රථයක සඟවාගෙන යමින් සිටියදී චූඩා මාණික්‍යයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබූ අතර රත්නපුර ප්‍රදේශයේදී මැණික් චූඩා මාණික්‍යයක් බව කියමින් වීදුරුවලින් සැකසූ අනුරූ අලෙවි කරන ජාවාරමක්ද සිදුකෙරෙන බවට අනාවරණය වී තිබේ.
ලංකාව පුරා පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන 275,000ක් පමණ තිබෙන බවත් ඉන් බහුතරයට නිසි ආරක්ෂාවක් නොලැබෙන බවත් පැහැදිලිය. මේ හේතුවෙන් ආරාමවල වෙසෙන භික්ෂුණීන් වහන්සේලාටත් විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලා හමුවේත් ඇත්තේ දැඩි තර්ජනයකි. මේ සම්බන්ධයෙන් වගකිවයුතු අංශවල අවධානය වහාම යොමුවිය යුතුය.
♦ සමන්ත ප්‍රදීප් විල්තෙර