2023 ජනවාරි 15 වන ඉරිදා

පොරොන්දු දේශපාලනය

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 114

සෑම මිනිසකුම බලාපොරොත්තු පෝලිමේ සිටින්නෙකි. එහෙත් සෑම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වන්නේද නැත. එක් බලාපොරොත්තුවක් ඉටු වුවහොත් ඒ හිඩැස පුරවමින් තවත් එකක් එතැනට එයි.

ජීවත් වීමට බලාපොරොත්තු අවශ්‍යය. එහෙයින් සඵල කර ගැනීමට දුෂ්කර බලාපොරොත්තු පවා අපි මවාගනිමු. ඒ පසුපස හඹා යන්නෙමු. එක් බලාපොරොත්තුවක් සඵල වූ පසු සතුටු වන්නා සේම බලාපොරොත්තු බිඳවැටුණු කල දුක් වන්නෙමු. ඒ ජීවිතේ හැටිය.

දේශපාලනඥයන්ටද බලාපොරොත්තු ඇත. ඔවුහු තම බලාපොරොත්තු ඉටුකර ගැනීම සඳහා ජනතාවට (ඡන්ද දායකයන්ට) මලු පිටින් බලාපොරොත්තු දෙති. ඒවා ඉටු කරන බවට පොරොන්දුද දෙති. එහෙත් දෙකම ඉෂ්ට වන්නේ කලාතුරකිනි. ඡන්ද දායකයෝද ඒ බව දනිති. එසේ දැන දැනත් ඒ දේශපාලනඥයන්ටම ඡන්දය ද දෙති. විශේෂයෙන්ම ඒ සිරි ලංකාවේ දේශපාලනයේ හැටිය.

පුංචි ඡන්දයක් ළඟ එයි. ඒ නිසා දැන් නැවතත් බලාපොරොත්තු සහ පොරොන්දු රට පුරාම පැතිර යයි. එහෙයින් සමාජ මාධ්‍ය තුළද දේශපාලන පොරොන්දු ගැන විවිධ කතා ප්‍රචාරය වෙයි. මේ ඉන් එකකි.
හිටපු ජනාධිපතිවර ජේ.ආර්. ජයවර්ධන මහතාගේ ස්වරෑපයෙන්ම යුත් ඡන්ද අපේක්ෂකයෙක් නිවෙසකට පැමිණ එහි දොරකඩ සිටින තරුණයකුට මෙසේ කියයි.

''මට ඡන්දය දෙන්න. මම මේ රට සිංගප්පූරුවක් කරනවා.'' 

එවිට තරුණයා මෙසේ කියයි.

''අනේ කරදර වෙන්ඩ එපා සර්. ඒ වෙනුවට මට සිංගප්පූරුවට යන්ඩ ටිකට් එකක් අරන් දෙන්ඩ.''

බොහෝ විට බලාපොරොත්තු උපමා කෙරෙන්නේ සාගරයටය. ''මිනිහා බලාපොරොත්තු සාගරේ කිමිදිලා ඉන්නෙ.'' වැනි කියුම් අපට හුරුය.

බලාපොරොත්තු සාගරය බැලූ බැල්මට සුන්දරය. එහෙත් එහි නිතර කුණාටු හා සුනාමි රළ ඇතිවේ.

අමෙරිකාවේ හිටපු උප ජනාධිපතිවරයෙක් නිවාඩු දිනයක තම පෞද්ගලික යාත්‍රාවේ නැගී මුහුදු සංචාරයක යෙදුණේය. එක්වරම හටගත් චණ්ඩ රළ පහරකින් ඔහු ඈත දියඹට ඇදී ගියේය. බියට පත් ඔහු දෙවියන් යදිමින් මෙසේ පැවසීය.
''අනේ දෙවියනි, මට ආපහු ගොඩබිමට යන්ඩ උදව් වෙන්ඩ. මගේ ජීවිතය ගලවා දුන්නොත් මම ජනාධිපති වුණු වහාම මගේ නගරය මැද විශාල දේවස්ථානයක් ඉදි කරනවා.''

දෙවියන්ගේ පිහිට ලද උප ජනාධිපතිවරයා නිරුපද්‍රිතව ගොඩබිමට සේන්දු විය. එහෙත් ඔහුට තම පොරොන්දුව අමතක විය. ඊට දෙවසරකට පසු යළිත් ඔහු මුහුදේ අතරමං විය. ඒ අවස්ථාවේද ඔහු දෙවියන් යැද දේවස්ථානයක් ඉදි කිරීමට පොරොන්දු විය. දෙවියෝ ඔහුට අනුකම්පා කර උපකාර කළහ. ඒ වතාවේද උප ජනපතිවරයා පොරොන්දුව ඉටු නොකළේය.

තවත් වසර කිහිපයකට පසු යළිත් ඔහු මුහුදු කුණාටුවකට හසුවිය. ඔහු දෙවියන්ගෙන් පිහිට පැතුවේය. ඒ ඇසූ දෙවියෝ මෙසේ පැවසූහ.

''මම දෙපාරක්ම ඔබේ ජීවිතය ගලවා දුන්නා. ඒත් ඔබ මට දුන් පොරොන්දුව ඉෂ්ට කළේ නැහැ. තවත් මා ඔබ විශ්වාස කරන්නෙ කෙසේද?''
උප ජනාධිපති මෙසේ පිළිතුරු දුන්නේය.

''මා පොරොන්දු වුණේ ජනාධිපති වූ වහාම දේවස්ථානය ඉදි කරන බවටයි. ඒත් මා තවමත් උප ජනාධිපතිනෙ.''

දේශපාලනඥයන්, දෙවියන් පවා මුලා කිරීමට සමත්ය. එය ඔවුන්ගේ පැවැත්ම බව දෙවියෝ ද දනිති.

ප්‍රබල ඇමැතිවරයකුට ඔහු උගත් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයකට ඇරුයුම් ලැබුණි. එහිදී කතාවක් කළ ඇමැතිවරයා මෙසේ ද කීය.

''මේ පාසලෙන් උගත් බොහෝ දේ මගේ දේශපාලන ප්‍රතිපත්තිවලට පදනම් වුණා. මා කිසි දිනෙක පොරොන්දු දේශපාලනයේ නොදෙන්නේ ඒ නිසයි.''
උත්සවය අවසානයේදී ඇමැතිවරයාට උගැන්වූ පැරණි ගුරුවරයකු අසලට ගිය තරුණ ගුරුවරයෙක් මෙසේ ඇසීය.

''සර් මොකද කියන්නෙ ඇමැතිතුමාගෙ කතාව ගැන.'' 

ඇද සිනාවක් පෑ පැරණි ගුරුවරයා මෙසේ කීය.

''මිනිහ පොරොන්දු දේශපාලනය කරන්නෙ නෑ කියපු එක නං ඇත්ත. ඒකෙන් අදහස් වෙන්නෙ මිනිහ ජනතාවට මොකුත්ම කරන්නෙ නෑ කියන එකනෙ.'' 

ඉන්දියානු පුවත්පතක උපහාස කොලමක මෙසේ සඳහන්ව තිබිණි. ''දේශපාලනය යනු වෙළඳ ව්‍යාපාරයක් නම්, එහි ප්‍රධාන අලෙවි භාණ්ඩය බොරු පොරොන්දුය.''

එක් ඉන්දීය ඇමැතිවරයෙක්, එරට විශ්ව විද්‍යාලයක දේශනයක් සඳහා ගිය අවස්ථාවක මෙසේ පැවසීය.

''මෙම විශ්වවිද්‍යාලයේ අභ්‍යවකාශ විද්‍යා අංශයේ සිසුන්ගේ ප්‍රයෝජනය පිණිස, රොකට් යානයක් ලබාදීමට මා පොරොන්දු වෙනවා.''

ඇමැතිගේ ගජබින්න ගැන දන්නා ශිෂ්‍යයන් අතරින් අයෙක් වහා නැගී සිටියේය.

''ඔබතුමා කරදර වෙන්න එපා. අපි හදපු රොකට් එකක් තියෙනවා. ඒකෙන් යවන්න සුදුසු පුද්ගලයෙක් නැතුවයි හිටියෙ. ඔබතුමාට පුළුවන් නම් ඒ උදව්ව කරන්න.''
ඇමැතිගේ කන් රතු වූ නමුත්, ඔහු ශිෂ්‍යයාට උපහාසයෙන්ම ප්‍රතිචාරයක් දක්වනු පිණිස මෙසේ කීය.

''ඔව්. මම ඒකට සතුටින් ඉදිරිපත් වෙනවා. තමුන්නාන්සේලා වෙනුවෙන් අභ්‍යවකාශයට යාමට වුණත් මම සූදානම්.''

ශිෂ්‍යයා යළිත් නැගී සිටියේය.

''ඔබතුමා එනව නම්, අපේ රොකට් එක යවන්නෙ අභ්‍යවකාශයට නෙවෙයි, ස්වර්ගයට.''

I කපිල කුමාර කාලිංග

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00