2023 ජනවාරි 01 වන ඉරිදා

2023 ජනතාවට අස්වැසිල්ලක් ලැබෙන වසරක්

 2023 ජනවාරි 01 වන ඉරිදා, පෙ.ව. 06:00 411

2023 වසර ආරම්භයත් සමඟ සූර්ය දිව්‍ය රාජයා තමාට මිත්‍ර රාශියක් වූ ගුරුට අයත් ධනු රාශියෙහි සිකුරුට අයත් පුවසල නැකතේ ගමන් කරයි. එසේම සඳු ග්‍රහයා තමාට සම රාශි භවනක් වූ අඟහරුට අයත් මේෂ රාශියෙහි කේතුට අයත් අස්විද නැකතේ ගමන් කරමින්ද, අඟහරු තමාට සම රාශි භවනක් වූ වෘෂභයෙහි සඳුට අයත් රෙහෙන නැකතේ ගමන් කරනු ඇත. මේ අතර බුධ ග්‍රහයා ගුරුට අයත් ධනු රාශියෙහි රවිට අයත් උත්‍රසල නැකතේ ගමන් කරන අතර බ්‍රහස්පති තමාට ස්වෂේත්‍ර වූ මීන රාශියේ සෙනසුරුට අයත් උත්‍රපුටුප නැකතේ ගමන් කරමින් සිටී. සෙනසුරු ග්‍රහයා මකර රාශිගතව අඟහරුට අයත් දෙනට නැකතේ ගමන් කරන අතර සිකුරු ග්‍රහයා තමාට මිත්‍ර රාශියක් වූ මකර රාශියෙහි රවිට අයත් උත්‍රසල නැකතේ ගමන් කරයි. රාහු ග්‍රහයා අඟහරුට අයත් මේෂ රාශියෙහි ගමන් කරමින් සිකුරුට හිමි බෙරණ රාශිගතව ගමන් කරමින්ද 2023 වසර ආරම්භ වෙයි.

2023 වසරේ පූර්ණ සූර්යග්‍රහණයක්ද ඡායා චන්ද්‍රග්‍රහණයක්ද වලයාකාර සූර්යග්‍රහණයක්ද අර්ධ චන්ද්‍රග්‍රහණයක්ද සමඟ ග්‍රහණ හතරක් සිදුවන අතර ග්‍රහ යුද සංග්‍රාම එකොළහක්ද 2023 වසර තුළ සිදුවනවා ඇත. රවි, සඳු, කුජ, බුධ, සිකුරු ග්‍රහ මාරුවලට අමතරව ප්‍රධාන වශයෙන් සෙනසුරු 2023 ජනවාරි 17දා කුම්භ රාශිගත වීමත්, බ්‍රහස්පති අප්‍රේල් 22දා මේෂ රාශිගත වීමත්, රාහු ඔක්තෝබර් 30 දින මීන රාශිගත වීමත්, නැප්චූන් පෙබරවාරි 18 දින මීන රාශිගත වීමත් 2023 වසර තුළදී සිදුවනු ඇත.
රට තුළ ශුභවාදී තත්ත්වයක් මුල් මාස පහෙන් පසු බලාපොරොත්තු විය හැකි වුවත් මුල් මාස පහ ඉතා අවාසනාවන්ත ප්‍රතිඵලවලට ජනතාවට මුහුණ දීමට සිදුවනු ඇත. ව්‍යාපාරික ස්ථාන හා කර්මාන්ත බිඳවැටීම නිසා ආයතන රැසක් වසා දැමීමට සිදුවීම හේතුවෙන් සේවකයන්ට රැකියා අහිමි වී ඔවුන් අසරණ වනවා ඇත. 

ආර්ථිකය තවදුරටත් ස්ථායි නොවී කඩා වැටීමක් සිදු වුවද විදේශීය පරිත්‍යාග ලැබීම් ද සේවා උපකාර ලැබීම් ද ඉහළ මට්ටමක් ඇතිවන වසරක් වේ. යම් යම් භාණ්ඩ හා සේවා මත පනවා තිබූ අඩු කිරීම් නිසා භාණ්ඩවල මිල පහළ යාමක් ඇති වේ. මහජනයාට යම් අස්වැසිල්ලක් සිදුවන වසරක් වේ. බැංකු බදු පොලී අනුපාත පහළ යාමත්, යම් යම් සහන ලබාදීමත් නිසා ණය ගෙවීම් සිදු කරන අයට සහනයක් ද ලැබෙනු ඇත. වෙළෙඳ ව්‍යාපාර, අධ්‍යාපන කටයුතු ආශ්‍රිතව නව නීති පනත් ක්‍රියාවට නංවන කාලයක් ද වේ. රට තුළ විප්ලවවාදී ක්‍රියා මෙන්ම අපරාධ ද වර්ධනය වේ. සියදිවි නසාගැනීම් ඉහළ යාම් ද සිදුවන කාලයක් වන අතර කාන්තා හිංසන, කුඩා දරුවන්ට සිදු කරන අමානුෂීය ක්‍රියා වැනි අපරාධ ඉහළ යාමක්ද සිදු වෙයි. මහජනයා රැස්වන ස්ථාන ආශ්‍රිතව අශුභ සිදුවීම්ද වාර්තා වනු ඇත. මෙම වසර තුළ පවත්වනු ලබන මැතිවරණවලදීද මහජනයා ඉතා දරුණු ලෙස කුපිතව ආරවුල්, ගැටුම් ඇතිකර ගැනීම් සිදු වේ. මහජනයා රැස්වන පොදු ස්ථානවල පිපිරීම්ද ගිනිගැනීම් ද වාර්තා වනු ඇත.


මේෂ - සිතට සහනයක්
ලග්නාධිපති දෙවැන්නේ ගෝචර වෙමින් ආරම්භ වන්නා වූ නව වසර ඔබට ශුභ ඵල ගෙන දෙමින් සිතට සහනයක් අත්කර දෙනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත දූ දරුවන්ට ඉතා යහපත් වනු ඇත.

ගෘහ ජීවිතය - අවිවාහක අයට මංගල යෝග සැලසේ. එහෙත් විවාහ සඳහා ඉක්මන් නොවීම වැදගත් වේ. පවුල් ජීවිතයේ පැවති ප්‍රශ්න රැසක් මගහැරී යන අතර දරුවකුගේ ජයග්‍රහණයක්ද අසන්නට ලැබේ. නිතර විනෝදයෙන් ගතකරන අතර නිවසට අලංකාර භාණ්ඩ මිලදී ගැනීම්ද කරනු ඇත.

රැකියාව - ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ඉතා යහපත්, අතමිට සරුවන කාලයක් වේ. නව රැකියා බලාපොරොත්තු ඇති අයට ද ශුභ ඵල ලැබෙනු ඇත. තම තැන්පත් ධනය අනවශ්‍ය වියදම්වලින් ආරක්ෂා කර ගන්නා වූත් කාලයක් වනවා ඇත. තැන්පත් ධනය වර්ධනය කරගත හැකි වේ. ලොතරැයි වාසනාවක් වැනි හදිසි ධන ලාභයක් අත් වේ.

සෞඛ්‍යය - මුත්‍රා රෝගාබාධයක් වරින්වර මතු වනු ඇත.

වෘෂභ - තරග ජය
ලග්නාධිපති පුණ්‍ය ස්ථානයේ තැන්පත් වෙමින්ද ආරම්භ වන්නා වූ නව වසර ඔබට අලුත් සිදුවීම් රාශියක් සමඟ යහපත් ඵල උදා කර දෙන වසරක් වේ. අධ්‍යාපන කටයුතුවලදී තරග ජයග්‍රහණ ද ලැබෙනු ඇත.

ගෘහ ජීවිතය - අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වීම ප්‍රමාද වේ. පවුල් ජීවිත ගත කරන අයට යහපත් කාලයක් ද උදාවන අතර තම උත්සාහයන් සාර්ථක වේ. අලුතින් ඉඩමක්, නිවසක්, වාහනයක් මිලදී ගැනීමටද පෙළඹෙන කාලයක් වෙයි.

රැකියාව - සේවා ස්ථානයේ පැවති ප්‍රශ්න මගහැරී යන අතර අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත් වෙයි. රැකියා උසස්වීම් ලැබෙන, නව රුකියා හිමිවන, විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ බලාපොරොත්තු ඉෂ්ට වන්නා වූත් කාලයකි. ව්‍යාපාරික කටයුතුවල නිරත අයටත් ශුභ ඵල ලැබේ. ආර්ථික ලාභ හා ලැබීම් මාර්ග ඇතිවන වසරක් බවට පත් වනු ඇත.

සෞඛ්‍යය - හෘදය පීඩා පවතින අය කල්පනාකාරී වන්න.


මිථුන - නීතිමය ගැටලු
ලග්නාධිපති සත්වැන්න තැන්පත් වෙමින් ආරම්භ වූ නව වසර ඔබට මධ්‍යම ඵල ගෙන දෙනු ඇත. අධ්‍යාපන කටයුතුවලදී වසර මැද භාගයෙන් පසු යහපත් ඵල ලබනු ඇත.

ගෘහ ජීවිතය - අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වන කාලයකි. වැඩි වශයෙන් ආගමික කටයුතුවලට සහභාගි වන වසරකි. නීතිමය ප්‍රශ්නයකට මැදිවිය හැකි බැවින් සැමවිටම කල්පනාකාරී විය යුතුයි.

රැකියාව - නව රැකියා බලාපොරොත්තු ඉෂ්ට වන අතර උසස් වීම් අපේක්ෂා කළ අයට මුල් මාස තුනෙන් පසු යහපත් වේ. ලියකියැවිලි කටයුතුවලදී පරිස්සම් වන්න. අනවශ්‍ය වියදම් ඇතිවන වසරක් බැවින් වියදම් පාලනය කර ගත යුතුයි.

සෞඛ්‍යය - සෙම් රෝග ද හදිසි තුවාල හා පීඩා ද ඇතිවිය හැක.


කටක - විනෝදයට බරයි
ලග්නාධිපති දසවැන්නේ තැන්පත් වෙමින් ආරම්භ වූ නව වසරේ මුල් මාස දෙකෙන් පසු ශුභ ඵල අඩු වසරක් බවට පත්වනු ඇත. උසස් අධ්‍යාපනය හදාරන අයට යහපත්ය. වැඩි වශයෙන් විනෝදයට බරව කටයුතු කරන බැවින් ඉගෙනීම් අතපසු වනු ඇත.

ගෘහ ජීවිතය - ඔබගේ කාලත්‍රයාට අයහපත් වන වසරකි. පසුගිය වසර තුළ ලබාගත නොහැකි වූ දේවල් මෙම වසරේ ලබාගත හැකිවනු ඇත. මිතුරන්ගෙන් ප්‍රශ්න, කරදර ඇතිවිය හැකි බැවින් පරිස්සමින් ඇසුරු කරන්න. විදේශගතවීම් ඉටුවන වසරකි. ආගමික කටයුතුවල වැඩි වශයෙන් යෙදෙන වසරක් ද වේ.

රැකියාව - සේවා ස්ථානය ආශ්‍රිතව කටයුතු කිරීමේදී අනෙකුත් සේවකයන් නිසා ඔබ ද පීඩා විඳින කාලයක් වනු ඇත. අලුතින් ව්‍යාපාරික කටයුතු කිරීමට සිත් යොමුවන වසරක් ද වේ. රථවාහන කටයුතුවලදී වැඩි ලාභයක් අත්වන කාලයක් වන අතර ලොතරැයි දිනුමක් වැනි හදිසි වාසියක් ලැබෙන වසරකි.

සෞඛ්‍යය - හදිසි තුවාල, වැටීම් වැනි පීඩාවලින් පරිස්සම් වන්න.

සිංහ - විදේශ අධ්‍යාපන
ලග්නාධිපති පූත්‍රස්ථානයේ තැන්පත් වෙමින් උදා වූ නව වසර ඔබට යහපත් ඵල උදා කරනවා ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ශුභ ඵල ගෙන දෙන අතර විදේශගත අධ්‍යාපනය අපේක්ෂා කළ අයට ද යහපත් වේ.

ගෘහ ජීවිතය - අවිවාහක අයට මංගල යෝජනා ස්ථිර වන අතර තම පවුල් දිවියේ පැවති අසමගිතා දුරු වී යන වසරක් ද වේ. වැඩිපුර තමා ගැන සිතා කටයුතු කිරීමට යාම නිසා අන් අය තමා ගැන අසතුටු වෙති. අලුතින් හමුවන මිතුරන් නිසා ඔබට ප්‍රශ්න ඇතිවනු ඇත.

රැකියාව - සේවා ස්ථානයෙන් ස්ථාන මාරුවක් අපේක්ෂා කළ අයගේ අපේක්ෂා ඉටු වනු ඇත. අනවශ්‍ය වියදම් අඩු කරගත යුතු වසරක් ද වේ.

සෞඛ්‍යය - හදවත් රෝග ද මුත්‍රා රෝග ද මතුවනු ඇත.

කන්‍යා - සතුරන් පරදී
ලග්නාධිපති සතර වැන්නේ තැන්පත් වෙමින්ද උදා වූ නව වසර ශුභ ඵල ලබා දෙනු ඇත. ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රව පරාජය කර ගැනීමට හැකි වේ. ඔබගේ උත්සාහය මත වැඩ කටයුතු රුසක් සාර්ථක වන වසරක් බවට පත්වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ද ශුභ ඵල ගෙන දෙන අතර අලුතින් ඉදිකිරීමක් කිරීමට හෝ නව නිවසක් මිලදී ගැනීමට ද යෝග්‍ය වසරක් වේ.

ගෘහ ජීවිතය - අවිවාහක අයට යහපත් මංගල යෝග උදාවන අතර පවුල් දිවියේ ද පැවති ප්‍රශ්න මගහැරී යනු ඇත. පිටස්තර ආරවුල්වලට මැදි නොවී සිටිය යුතු වසරක් ද වේ. සහෝදරයන් සමඟ සිත් අමනාපකම් ද ඇතිවනු ඇත.

රැකියාව - අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසු වසරකි. පැවති ව්‍යාපාරික කටයුතු ද දියුණුවට පත්වන අතර සේවා ස්ථානයේ යහපත් වටපිටාවක් ඇතිවෙයි. ධන ලැබීම් මාර්ගවලට බාධා නැති නමුත් අනවශ්‍ය වියදම් පාලනය කර ගත යුතුයි.

සෞඛ්‍යය - සෙම් රෝග ද හදවත් පීඩා ද මතුවන අතර ජලය ආශ්‍රිතව කටයුතු කිරීමේදී පරිස්සම් වන්න.

තුලා - හදිසි ලැබීම්
ලග්නාධිපති සෙනසුරුට අයත් මකර රාශිගතව ආරම්භ වන්නා වූ නව වසර ඔබට මිශ්‍ර ඵල ගෙන දෙනු ඇත. විවිධ අදහස් ජනිත වන අතර වැඩි වශයෙන් තමා ගැන සිතා කටයුතු කරන වසරක් ද වේ.

ගෘහ ජීවිතය - තම කාලත්‍රයාට හදිසි ලෙඩරෝග ඇති කරන්නා වූ වසරක් වේ. වැඩි වශයෙන් තම නෑදෑයන්ගෙන් වෙන්ව කටයුතු කරන වසරක් වන අතර තම නිවසේ අලුත්වැඩියාවක් ද සිදු කරනු ඇත. බාහිර ක්‍රියාකාරකම්වලින් ඵල ලබන ජයග්‍රාහී වූත් වසරක් ද වේ.

රැකියාව - ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ශුභ ඵල ගෙන දෙන අතර සේවා කටයුතු ද යහපත් ලෙස සිදු කරගෙන යා හැකි වසරක් වේ. හදිසි ධන ලැබීමක් ඇතිවන අතර තම දේ රැකගෙන කටයුතු කරන වසරක් ද වේ.

සෞඛ්‍යය - ලේ දෝෂ, ලේ විෂවීම් ඇතිවනු ඇත.


වෘශ්චික - දේපල ලාභ
ලග්නාධිපති කාලත්‍ර ස්ථානයේ තැන්පත් වෙමින් උදා වූ නව වසර ඔබට යහපත් ඵල ගෙන දෙන අතර අධ්‍යාපන කටයුතුවල නිරත අයට ශුභ ඵල ද තරග ජයග්‍රහණ ද ලැබෙනු ඇත. විදේශ ගතවීමේ අපේක්ෂාවෙන් සිටි අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වේ.

ගෘහ ජීවිතය - පවුල් ජීවිතයේ සමගියට බාධා වීම් ඇතිවිය හැකි බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේ අපේක්ෂා ඉටු කරගත හැකි වනු ඇත. දරුවන් අපේක්ෂාවෙන් සිටි අයට වසර අවසානයට පෙර තම බලාපොරොත්තු ඉෂ්ඨ වනු ඇත. හිතමිතුරන්ගෙන් උදව් උපකාර නොමදව ලැබෙන වසරක් ද වනු ඇත.

රැකියාව - ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ලාභ අඩු වැඩි වෙමින් මිශ්‍ර ඵල ගෙන දෙයි. සේවා ස්ථානයෙන් මාරුවීමක් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ද සඵල වේ. මුදල් වියදම් කිරීමේ පරිස්සම් විය යුතු අතර අනවශ්‍ය වියදම් පාලනය කර ගන්න.

සෞඛ්‍යය - මුත්‍රා රෝගාබාධ මතු වනු ඇත.


ධනු - සතුරන් පරාද වේ

ඔබට මෙම වසර යහපත් ඵල උදාවන අතර කරන කටයුතු සාර්ථක වේ. අධ්‍යාපන කටයුතුවලදී උත්සාහයේ තරමට ඵල අඩුවන වසරක් ද වේ. නමුත් තරග ජයග්‍රහණ ද ලබාගත හැකිය.

ගෘහ ජීවිතය - අවිවාහක අයට මංගල යෝග උදාවීම තවදුරටත් පමා වනු ඇත. පවුල් දිවියේ සමගිය ඇතිවන වසරක් ද වේ. ඉඩකඩම්, නිවාස මිලදී ගැනීමටත් පවතින නිවාස අලුත්වැඩියා කිරීමටත් යහපත් වන වසරක් වේ. සතුරු උපද්‍රව මැඩපවත්වා ගත හැකි වන අතර ඔබගේ දක්ෂතා අන් අයගේ ඇගයීමට ලක්වන වසරක් වේ.

රැකියාව - සේවා ස්ථානයෙහි උසස්වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ වන අතර අන් අය අතර කැපීපෙනෙන තත්ත්වයට පත්වනු ඇත. වසර තුළ ලැබීම් මාර්ග ඇති වී තැන්පත් ධනය වර්ධනය කර ගැනීමට ලැබෙනු ඇත.

සෞඛ්‍යය - උගුර ආශ්‍රිත පීඩා මතුවනු ඇත.


මකර - මිතුරන් අමනාප වේ
ඔබගේ ලග්නාධිපති සෙනසුරු පළමුවැන්නේ තැන්පත් වෙමින් උදා වූ නව වසර තුළ මුල් මාසයෙන් පසු අයහපත් වූ ඵල ඔබට උදා කරනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයට ද මුල් මාසයෙන් පසු අයහපත් බලපෑම් ද උදාසීන ගති ද ඇතිවනු ඇත. වැඩිපුර තමා ගැන සිතා කටයුතු කිරීම නිසා හිතමිතුරන් ද තමන් සමඟ සිත් අමනාපකම් ඇති කරගනු ඇත.

ගෘහ ජීවිතය - අවිවාහක අයට මංගල යෝග උදාවුවත් ඉක්මන් තීරණ ගැනීමෙන් අමාරුවේ වැටිය හැකි කාලයක් වේ. හදිසි කේන්ති ගති ද පාලනය කරගත යුතු වේ. යම් යම් කටයුතුවලදී කලබලකාරී ඉක්මන් තීරණ ගැනීම නිසා ගැටලු රැසකට මුහුණ දීමට සිදු වෙයි.

රැකියාව - සේවා ස්ථානයේ අනිකුත් සේවකයන් සමඟ ප්‍රශ්න ඇතිවන බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ව්‍යාපාරික කටයුතුවල නිරත අයට ද ලාභ අඩුවන වසරක් වේ. ලැබීම් මාර්ගවලට බාධා වීමත්, තැන්පත් ධනය වියදම් වී යාමත් සිදුවන වසරක් වේ.

සෞඛ්‍යය - උදරය හා ඇස්වල රෝග මතුවනු ඇත. හදිසි අනතුරු ඇතිවේ.

කුම්භ - වාහන හිමිවේ
ඔබට යහපත් ඵල අත්වන වසරක් බවට පත්වනු ඇත. අධ්‍යාපන කටයුතුවල නිරත අයටද ශුභඵල අත්වන අතර තම බසට අන් අයව තමා වෙත නම්මවාගත හැකිවනු ඇත. විදේශගත වීමේ අපේක්ෂාවන්ද ඉටුකර ගත හැකිවන වසරක් වේ.

ගෘහ ජීවිතය - පවුල් දිවියේ සමගිය වර්ධනය වන වසරක් වන අතර විනෝද චාරිකාවලට ආගමික උත්සවවලට වැඩි වශයෙන් සහභාගි වීමට අවස්ථා උදා වනු ඇත. ඔබට එරෙහිව පැවති සතුරු උපද්‍රව පාලනය කළ හැකිවන අතර අලුතින් වාහනයක් මිලදී ගැනීමට ද යෝග්‍ය වන වසරක් වේ.

රැකියා - උසස් වීම් අපේක්ෂා කළ අයගේ බලාපොරොත්තු ඉෂ්ඨ කරගත හැකි වන අතර දේශපාලනික කටයුතුවල නිරත අයට යහපත් ඵල ද උදා වනු ඇත. හදිසි ලාභ ඇතිවීමත්, තැන්පත් ධනය වර්ධනය වීමත් සිදුවන වසරක් වේ.
සෞඛ්‍යය - පපුව ආශ්‍රිත පීඩා මතුවනු ඇත.

මීන - අනවශ්‍ය වියදම්
ඔබට අයහපත් වූ ඵල මුල් මාසයෙන් පසු උදාවන අතර අධ්‍යාපන කටයුතුවල නිරත අයට ද තරග විභාගවලින් තමා සිතා සිටි ජයග්‍රහණ ලබාගත නොහැකි වනවා ඇත. අධ්‍යාපන කටයුතුවලට අමතරව වෙනත් බාහිර වැඩට සිත් යොමු කරන වසරක් ද වේ.

ගෘහ ජීවිතය - අවිවාහක අයගේ මංගල යෝජනා දෙදරා යන කාලයක් වේ. තම මතයට කටයුතු කිරීම නිසා යම් යම් කරදරවලට ද පැටලෙනු ඇත. සතුරු පීඩා ද ඇතිවන වසරක් වන අතර දුර ගමන්, විදේශ ගමන් අපේක්ෂාවන් ද ඉටුවන වසරකි.

රැකියාව - සේවා ස්ථානයේ අනිකුත් සේවකයන් සමඟ ගැටලු ඇතිවන කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. ලැබීම් මාර්ග තිබුණත් ඉතිරි කර ගැනීමට බාධා ඇතිවීමත්, අනවශ්‍ය වියදම් යෙදීමත් සිදුවන වසරක් වේ.

සෞඛ්‍ය - සෙම් ආශ්‍රිත රෝග ද හදිසි ශරීර පීඩා ද ඇතිවනු ඇත.

ඔබ සැමට සුබ නව වසරක් වේවා!

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවනැණ ජ්‍යොතිෂ පර් යේෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00