2022 ඔක්තෝබර් 16 වන ඉරිදා

සිහින වෙළෙන්දෝ

 2022 ඔක්තෝබර් 16 වන ඉරිදා, පෙ.ව. 08:00 207

80 දශකයේදී මම ''සිහින සාප්පුව'' නමින් නාට්‍යයක් රචනා කළෙමි. වසරේ ජනප්‍රියතම නාට්‍යය ලෙස සම්මානයටද පාත්‍ර වූ එය, පසුව ටෙලිනාට්‍යයක් ලෙසින්ද නිෂ්පාදනය කෙරුණි. එම නාට්‍යයට තේමා වූයේ, තම තමන්ගේ ''ජීවන සිහින'' සැබෑ කර ගැනීම වෙනුවෙන් වෙහෙසෙන, තරුණ බෝඩිංකරුවන් කීප දෙනෙකි.

සිහින හඹා යාම, මිනිස් පැවැත්මේ ස්වභාවයක් බව දනිමු. ඇතැම් සිහින (ඉලක්ක) සැබෑවෙයි. ඒ අතර, ඇතැම් සිහින බිඳ වැටෙයි.

අනුන්ගේ සිහින සැබෑකර ගැනීම, තමන්ගේ ව්‍යාපාර බවට පත්කර ගන්නා පුද්ගලයන් හා සංවිධාන හෝ ආයතන ගැනද වරින්වර, ජනමාධ්‍ය මගින් හෙළිදරව් වෙයි. ඒ අතර ඇති කූඨ ව්‍යාපාරයන්ට හසුවන, විවිධ පුද්ගලයන්, කෝටි ගණන් මුදල් අහිමි කර ගනිමින්, අවසානයේ නීතියේ පිහිට පැතීමට යන අවස්ථාද ඇත.

මිනිසුන්ගේ ධන තෘෂ්ණාවෙන් ප්‍රයෝජන ගනිමින් ඔවුන් මුලා කරන වංචනිකයන්, කෛරාටිකයන් ගැන ජාතක කතාවල පවා සඳහන් වන අතර, එබඳු සිද්ධීන් හා චරිත පිළිබඳව පුදුමවීමටද හේතුවක් නැත. එහෙත්, අපට පුදුම සිතෙන්නේ, මේ වර්තමාන ලෝකයේත්, එබඳු කපටි දැල්වලට ගොදුරු වන දැන උගත් පුද්ගලයන් ගැනය.

මීට කලකට ඉහත. අමෙරිකානු ජාතික එළිසබත් ඈන් හෝම්ස් නමැති කාන්තාවක්, වෛද්‍ය ක්ෂේත්‍රයේ නව පර් යේෂණ කරන්නියක ලෙසින් ප්‍රකට වූවාය. ඇය සිය නව නිපැයුම් සඳහා ආරම්භ කළ ව්‍යාපාරය වටා එරට ප්‍රකෝටිපති පුද්ගලයෝද එක්වන්නට වූහ. බිල් ක්ලින්ටන් වැනි ප්‍රකට දේශපාලන චරිතද ඒ අතර විය. එහෙත් අවසානයේ හෙළිවූයේ ඈන් හෝම්ස්ගේ නව විද්‍යා නිෂ්පාදනද, සිහින දැකීමක්ම පමණක් බවය.

රසායන විද්‍යා ශිෂ්‍යාවක වූ ඈන් හෝම්ස්, සිය කූඨ ව්‍යාපාරය තුළින්, වයස 19 වනවිටම ඩොලර් බිලියන 9ක් උපයාගෙන සිටියාය. අවසානයේ සියලු සිහින බිඳ දමමින්, ඈන් හෝම්ස් නීතියේ රැහැනට හසු වූවාය.

සිහින දැකීම, සිහින මැවීම හා ඒවා සැබෑකර ගැනීමට උත්සාහ කිරීම, නීතියට එරෙහි ක්‍රියාවන් නොවේ. බොහෝදෙනා සාර්ථක වන්නේද සිහින සැබෑකර ගැනීමට උත්සාහ කිරීමෙනි. එසේම, අසාර්ථක වී හිරේ විලංගුවේ වැටෙන්නේ අවිචාරශීලී ලෙස, කෙටි මාර්ගවලින්, ''ක්ෂණික ධනපතියන්'' වීමට, ඉක්මන් වීමෙනි.

චුල්ල සෙට්ඨි ජාතකයේදී, මී කුණක් විකුණා ධනවත් වූ සිටුතුමකු ගැන රසවත් කතාවක් කියැවෙයි. වර්තමාන භාෂාවනේ කියනවා නම්, එහි ඇත්තේ තනිකරම මාර්කටින් ප්‍රොජෙක්ට් එකකි. නැත්නම්, තියරියකි. 

සැබෑ ධනවතුන්, එතැනට යන්නේ පියවරෙන් පියවරය. අදියරෙන් අදියරය. උපක්‍රම, උපාය මාර්ග අනුගමනයෙනි.

ඉංග්‍රීසියෙන් ''Dream Marchant'' (සිහින වෙළෙන්දා) යන යෙදුම, බොහෝවිට කලා කටයුතුවලදීද භාවිතා කෙරේ. විශේෂයෙන්ම සිනමාවේදී හා ගීත නිෂ්පාදනයේදී මෙම ඩ්‍රීම් මර්චන්ට්වරු අතරමැදියන් ලෙස කටයුතු කරති. වෙළෙඳ ප්‍රචාරණයේදී සිහින මවන්නෝ මෙන්ම සිහින සැබෑ කරන්නෝද හමුවෙති. බොහෝ විට එබඳු සිහින, පුස්ස බින්දාක් බඳු වෙයි.

සිහින පිළිබඳ උපහාස කියුමකි මේ. ''පෙර දින රුයේ මම සිහිනෙන් ''මාෂ් මෙලෝ'' කිලෝ ගණනක් කෑවෙමි. උදෑසන නැගිටින විට ඉතිරිව තිබුණේ කොට්ට උරය පමණි.''

අප දකින සිහින අතර සුබ සහ අසුබ සිහින මෙන්ම මිහිරි සහ අමිහිරි සිහිනද වෙයි. ''Sweet Dreams'' යනුවෙන් සුබපතා නින්දට යන මුදු, නපුරු සිහින දැක බිය වී අවදි වන අවස්ථාද ඇත. දියවැඩියා රෝගීන්ට නම් ''ස්විට් ඩ්‍රීම්ස්'' ඉතා අහිතකර වෙයි.
සමහර සිහින නින්දේදීම අමතක වෙයි. ඇතැම් සිහින පසුදිනද මතකයේ පවතී. අපි ඒවා අනුන්ටද පවසමු. සිහින පලාපල කීමද පුරාණයේ සිට පැවත එන ශාස්ත්‍රයකි.

මනෝ වෛද්‍යවරයකු හමුවීමට ගිය තරුණයෙක් මෙසේ කීය.

''ඩොක්ටර්.... මේ ටිකේම මම හීනෙන් ෆුට්බෝල් ටූනර්මන්ට් එකකට සෙල්ලම් කරනවා... මට බයයි මම දිගටම හීනෙන් ෆුට්බෝල් ගහයිද කියලා... මොනව හරි ප්‍රතිකර්මයක් තියෙනවද?''

''බයවෙන්න දෙයක් නෑ. මම පොඩි ටැබ්ලට් එකක් දෙන්නං... ඒක ගත්තම හීන පේන එක අදම නවතියි.''

''අද නෙවෙයි, මං හෙට ඒක ගන්නං. අද අපේ කප් ෆයිනල් මැච් එක.'' තරුණයා කීය.

එක්තරා රටක, අගමැතිවරයා තම මනෝ වෛද්‍යවරයා හමුවී මෙසේ කීය.

''මම හැමදාම හීනෙන් දකිනවා, මගේ ඔළුවේ කටු ඔටුන්නක් පළඳවනවා... මට ඒ හීනෙ හරි කරදරයක්... ඒකට මොකද කරන්නෙ?''

''ඔබට හොඳටම විශ්වාසද ඒක හීනයක්ම කියලා?'' වෛද්‍යවරයා පෙරළා ඇසීය.

I කපිල කුමාර කාලිංග

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00