2022 ඔක්තෝබර් 09 වන ඉරිදා

රට කරවන අටපට්ටම්!

 2022 ඔක්තෝබර් 09 වන ඉරිදා, පෙ.ව. 08:00 204

මොළය මියයාමේ රෝගයකින් පෙළුණු පුද්ගලයකුට, අලුත් මොළයක් බද්ධ කිරීමට සිදුවන බව වෛද්‍ය විශේෂඥවරු, ඔහුගේ ඥාතීන්ට දැනුම් දුන්හ.

''මොළයක් කීයක් විතර වෙයිද ඩොක්ටර්?'' ඥාතියෙක් ඇසීය.

''එක එක වර්ගවල මොළ තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගණන් කියන්නේ මොළේ බරේ හැටියට...''

''ගණන් කොහොම වෙයිද ඩොක්ටර්?''

''ගත්කරුවෙක්ගෙ මොළයක් ගන්නවා නම්, අවුන්සයක් රුපියල් මිලියන දහයක් විතර වෙනවා. විද්‍යාඥයෙක්ගෙ නම්, මොළ අවුන්සයක් මිලියන විස්සක් විතර වෙයි. දේශපාලනඥයෙක්ගෙ මොළයක් ගන්නට නම්, අවුන්සයක් මිලියන පනහක්වත් වෙනවා.''

''දේශපාලනඥයාගේ මොළේ එච්චර ගණන් ඇයි?''

රෝගියාගේ ඥාතියා, නළල රැලි කරමින් වෛද්‍යවරයා දෙස බැලීය.

''මොළේ අවුන්සයක්වත් තියෙන දේශපාලනඥයෙක් හොයාගන්න හරි අමාරුයිනෙ. ඒත් ඒ ගාණ වියදම් කරන එක පාඩු නෑ.''

''ඒ ඇයි ඩොක්ටර්?''

''දේශපාලන මොළයක් දැම්මට පස්සෙ, රෝගියා දන්නවා වියදම් වුණු මුදල මාසෙන් දෙකෙන් හොයාගන්න හැටි. සමහරවිට ඊටත් වැඩියෙන්. ඒ නිසා දේශපාලන මොළයක් බද්ධ කිරීම ඉක්මනින් ප්‍රතිලාභ ලබන ආයෝජනයක් වෙනවා.'' ඥාතිවරයා දෙවරක් නොසිතා වෛද්‍යවරයාගේ අදහසට එකඟ විය.

ශ්‍රී ල.නිප.යේ මහ ලේකම්තුමා මෑතකදී කියා තිබූ අන්දමට ආණ්ඩුවේ ජාතික සභාවට පොහොට්ටුවෙන් පත්කරගෙන ඇත්තේ අටවත් පාස් නැති මෝඩයන් ටිකකි. මෙය තරමක් බරපතළ කතාවකි.

එසේම මේ කතාව නිකම්ම පැත්තකින් තැබිය නොහැකි වන්නේ එය ප්‍රකාශ කර ඇත්තේ සිරි ලංකාව කීපවරක් පාලනය කළ සිරි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා විසින් බැවිනි. මොළය නැති කෙනකුට පක්ෂ ලේකම්වරයකු විය නොහැකිය. එහෙයින් මොළේ ඇති ලේකම්වරයකු මොළේ නැති දේශපාලනඥයන් ගැන කියන කතාව කවුරු කවුරුත් සිහිබුද්ධියෙන් විමසා බැලිය යුතුය.

අට පාස්වීම හෝ අට පාස් නොවීම මිනිසෙකුගේ බුද්ධිය මනින ක්‍රමයක් ලෙස සැලකීම කොතරම් දුරට සාධාරණද යන්නද සොයාබැලිය යුත්තකි.

වැස්සකටවත් පාසලකට පය නොතිබූ අයට පවා මොළයක් (බුද්ධියක්) ඇත. එය සහජ බුද්ධිය ලෙස හැඳින්වේ. අධ්‍යාපනයක් නැතත් සහජ බුද්ධිය පමණක් තිබූ අයෙක්. ලෝකයේ උසස් තැන්වලට පැමිණි කතා ඕනෑ තරම්ය.

අට පාස්වීම, බුද්ධිය මනින කඩඉමක් ලෙස සැලකෙනුයේ විභාග ක්‍රමය නිසාය. රට පාලනය කරන උදවිය අතර, ආචාර්ය මහාචාර්යවරුද සිටිති. එහෙත් ඇතැම් විට ඔවුන්ද වැඩ කරන්නේ අට නොව හෝඩියවත් පාස් නැති නූගතුන් ලෙස නම්, එය මෙරට අධ්‍යාපන ක්‍රමයේ දුර්වලතාවක්ද යන ප්‍රශ්නයත් පැන නගී.

රට කරවන තැනට, අට පාස් අය යවන්නේ ජනතාවය. එසේ නම් ඔවුන්ගෙන්ද බහුතරය අට පාස් හෝ අට ෆේල් අය විය යුතුය. ඉංග්‍රීසියෙන් ''අට ෆේලියර්'' (utter failure) කියන්නේ, එබඳු සහමුලින්ම අසාර්ථක වැඩවලටය. අනිත් අතට, රට පාලනයට අට පාස් නැති අය යැවීම, අට මහ නරකාදියේ වැටීමට තරම් වූ පාපයකි.

''තමුසෙ ඕනෑ අටමඟලක් කරගන්නවා'' යනු ගැමි ජන වහරේ එන කියුමකි. අටමඟල යන්නෙහි අරුත් කීපයකි. ඉන් මුල් අරුත, මංගල සම්මත වස්තු අටය. එහෙත් අර කියුමෙන් අදහස් වන්නේ වෙනත් අදහසකි. බලි තොවිල්වලදී ආතුරයා ළඟ තැබීමට ගන්නා ද්‍රව්‍ය අට සේම පිළිවෙළකට නැතුව තැනූ මඩුවද අටමඟලකි.

''අට වම්බොටු නව සුංගම් අයකරා වගේ'' යනුවෙන් ඇති පිරුළෙන් අදහස් වන්නේ ගසේ හටගත් වම්බොටු අටට, නවයක් බදු අය කිරීමක් පිළිබඳවය. දැන් දැන් අපේ රටේත් හැම වම්බට්ටම, නව සුංගම් අය කිරීම නිසා, ජීවන වියදම ද, කට්ට පැනගෙන වේගයෙන් ඉහළ යයි.

දුප්පතාගේ දුකට සැපට තිබූ ''ගල් කාල්වලටද'' සුරා බද්දේ සැර වැදීම නිසා, එහි මිල අසන විටම සූර් වෙයි. දැන් මේ රටේ මිල අඩු දෙයක් ඇත්තේම නැති තරම්ය. එසේ තිබියදී, ඒ ගැන වගකිවයුතු අය හැරෙන හැරෙන අතේ, ''අටපට්ටම්'' (බොරු) කෙළිති.

එක්තරා රටක, දේශපාලනඥයන් පිරිසක් ගමන් ගත් රථයක්, දුර බැහැර ප්‍රදේශයකදී අනතුරකට ලක්විය. පොලීසිය එහි යනවිට සියලුම සිරුරු, භූමදානය කර තිබුණි. අනතුර සිදුවූ තැන සිටි ගැමියකුගෙන් පොලීසිය මෙසේ විමසීය.

''සේරම මැරිලද හිටියෙ?''

''සමහරුනං මළේ නෑ කිව්වා. ඒත් අපි විශ්වාස කෙරුවෙ නෑ. දන්නවනෙ, ඔය යක්කු කට ඇරියොත් කියන්නෙ බොරුනෙ.''

 I කපිල කුමාර කාලිංග