2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා

දේශපාලන රහස් කුමන්ත්‍රණ

 2022 පෙබරවාරි 19 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 268

රවි ග්‍රහයා සෙනසුරුට අයත් වූ කුම්භ රාශියට 2022 පෙබරවාරි මස 13 වැනි ඉරු දින පාන්දර 3 පසුවී විනාඩි 27ට පැමිණි අතර ලබන මාර්තු 15 වැනි කුජ දින දක්වා රවි කුම්භ රාශියෙහි ගමන් කරනු ඇත.

රවි කුම්භ රාශිගත වීම තුළින් අප රටට ඇතිවන්නා වූ ප්‍රතිඵල පිළිබඳව විමසා බැලීමේදී රටේ මහජනතාවට ඉතා අයහපත් වූ බලපෑම් ඇතිවන්නාවූත් කාලවකවානුවක් වේ. යම් යම් ප්‍රශ්න කරදර අවුල් සහගත සිදුවීම් දුක් කම්කටොළුවලට මුහුණ දීමට සිදුවන අතර රට තුළ පැතිර යන කොවිඩ් වෛරස් රෝග තත්ත්වය තව තවත් දරුණු වෙමින් ජනයා වැඩි වැඩියෙන් රෝගීන් බවට පත් කරගන්නාවූත් කාලයක් බව කිවයුතුය. මෙම වෛරස් තත්ත්වයට වෙනස් මුහුණුවරක් ගනිමින් තව කොවිඩ් ප්‍රභේදයක්ද ලංකාව පුරා පැතිර යනවා ඇත. ඒ හේතුවෙන් සිදුවන මරණවලද ඉහළ යාමක් සිදුවනවා ඇත. රාජ්‍ය පාලන කටයුතුවලටද විවිධ වූ අයහපත් බලපෑම් ඇතිවන කාලයක් වන අතර ක්ෂණික ප්‍රශ්න කරදරවලට රජයට මුහුණදීමට සිදුවනු ඇත. දේශපාලන ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රබල පුද්ගලයකුටද රාජ්‍ය ක්ෂේත්‍රයේ උසස් නිලධාරීන්ටද මන්ත්‍රීවරුන්ටද ඉතා අශුභ කාලයක් වන අතර හදිසි මාරක විපත් ගෙන දිය හැකි වකවානුවක් බව කිවයුතුය.

විදේශීය වශයෙන් විමසා බැලීමේදී රාජ්‍ය නායකයකුට හදිසි මාරකයක් ගෙන දෙන කාලයක් ද වේ. වයස්ගත කීර්තිමත් බුද්ධිමත් පුද්ගලයන්ගේ මරණ අධිකව සිදුවන අතර දේශපාලනික රහස් කුමන්ත්‍රණද සිදුවන කාලවකවානුවක් වේ.

මීළඟට ලග්නවලට:

• මේෂ - දේශපාලනයට හොඳයි

අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අතර දේශපාලන කටයුතුවල නිරත අයට ශුභඵලද අත්වනු ඇත. යම් යම් වැඩ අතපසු වීම්ද සිදුවන අතර ලේ ආශ්‍රිත පීඩාවක් ඇතිවිය හැක.

• වෘෂභ - නව රැකියා ලාභ

තම සේවා ස්ථානය ආශ්‍රිතව පැවැති ප්‍රශ්න මගහැරී යනු ඇත. නව රැකියාවක් බලාපොරොත්තු වූ අයට යහපත් වන කාලයක්ද වේ. දුර ගමන් යෙදෙන අතර සිතේ සහනය අඩුවන කාලයක්ද වේ.

 • මිථුන - ලේඛනයට හොඳයි

තාක්ෂණික කටයුතුවල නිරත අයටද ලේඛන කටයුතුවල නිරත අයටද ඉතා යහපත් වන කාලයක් වෙයි. එහෙත් යම් යම් වැඩ අතපසුවීම්ද වැඩියෙන් සිදුවනු ඇත. කෙටි ගමන් යෙදෙන අතර සමාජ සේවා කටයුතුවල නිරතවීම්ද කරන කාලයක් වේ.

• කටක - ලේ දෝෂ

තමාගේ උත්සාහයේ තරමට ඵල අඩුවන කාලයක් වේ. තම තැන්පත් ධනය වියදම් වී යන අතර සේවා කටයුතු ආශ්‍රිතව පැවති ප්‍රශ්න මගහැරී යනු ඇත. ශරීරයේ ලේ දෝෂ ගති ඇතිවනු ඇත.

• සිංහ - කැපී පෙනේ

අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන අතර හැකිතරම් පිටස්තර ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතුය. එම ප්‍රශ්න තමා වෙත පැමිණිය හැකි කාලයකි. බඩේ දැවිලි ගතියක්ද ඇතිවනු ඇත.

• කන්‍යා - නිර්මාණශීලී අදහස්

සිතේ සහනය අඩුවන කාලයක් වන අතර ගමන්වලින් ශරීර පීඩාද ඇතිවනු ඇත. ලේඛන කටයුතුවල නිරත අයට යහපත් වන අතර නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයකි. ඇස්වල පීඩා මතුවනු ඇත.

• තුලා - සමාජ සේවයට හොඳයි

ඔබගේ යම් යම් වැඩකටයුතු අතපසුවීම්වලට ලක්වනු ඇත. සමාජ සේවා කටයුතුවල නිරත අයට යහපත් ඵල උදාවනු ඇත. යම් යම් වැඩවලදී තමාගේ උත්සාහයේ තරමට ඵල අත් නොවන කාලයක්ද වේ.

• වෘශ්චික - සේවා ගැටලු ඉවතට

පිටස්තර අයගේ ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතු අතර එම ප්‍රශ්න තමා වෙත පැමිණිය හැක. සේවා ස්ථානය ආශ්‍රිතව පැවති ප්‍රශ්නද මගහැරී යනු ඇත. සිතේ සහනය අඩු කාල සීමාවක් ද වේ.

• ධනු - විදේශ ගමන්

ලේඛන කටයුතුවල නිරත අයගේ නිර්මාණශීලී අදහස් ජනිත වන කාලයක් වේ. දුර ගමන් විදේශ ගමන් අපේක්ෂා කළ අයට යහපත් වන අතර ඇස් ආශ්‍රිත රෝග පීඩා ඇතිවන කාලයක් ද වේ.

• මකර - තැන්පත් ධනය වැය වේ

ඔබගේ උත්සාහයේ තරමට ඵල අත් නොවන කාලයක් වේ. තැන්පත් ධනය වියදම් වී යන කාලයක් බැවින් පරිස්සම් වන්න. අනවශ්‍ය ප්‍රශ්නවලට මැදි නොවී සිටිය යුතු කාලයක් ද වේ. ලේ විෂවීමක් ඇතිවිය හැක.

• කුම්භ - කටයුතු සාර්ථකයි

අන් අය අතර කැපී පෙනෙන තත්ත්වයට පත්වන කාලයක් වනු ඇත. තම උත්සාහය මත යම් යම් වැඩකටයුතු සාර්ථක බවට පත්කර ගත හැකිවනු ඇත. හෘදය ආශ්‍රිත රෝග පීඩාවක් ඇතිවනු ඇත.

• මීන - හදිසි අනතුරු

දුර ගමන් විදේශ ගමන් අපේක්ෂා කල අයගේ බලාපොරොත්තු ඉෂ්ට වන කාලයක් වන අතර රථවාහන භාවිතයේදී කල්පනාකාරී විය යුතුය. හදිසි අනතුරු ඇතිවිය හැකි කාලයක්ද වේ.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්ෙය්ෂණායතනය
28 ඔලබොඩුව, ගෝනපල