2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා

2021 අලුත් අවුරුදු පලාපල

 2021 අප්‍රේල් 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 985

2021 අප්‍රේල් මස 14 වැනි දිනට යෙදී තිබෙන අලුත් අවුරුදු උදාවත් සමගින් රටට, ලෝකයට, භෞතික දේවලට ඇතිවිය හැකි හොඳ නරක නැතිනම් ශුභ අශුභ ගැන කල් තියා දැනගැනීම මෙම ලිපියේ අපේක්ෂාව වේ.

මෙවර අලුත් අවුරුදු සංක්‍රාන්තිය යෙදී තිබෙන්නේ 2021 අප්‍රේල් මස 14 වැනි බදාදාට පහන්වන අලුයම 02 පසුවී මිනිත්තු 33ට බවද, මේ වෙලාවට සෙනසුරු ග්‍රහයාට අයත් මකර ලග්නය උදාවී තිබෙන අතර ලග්නයේ අංශක 29 කලා 44 මත නව අවුරුද්ද උදා වන බවද ජ්‍යොතිෂ නියමය වේ. නවාංශකය බුධට අයත් කන්‍යා නවාංශකයයි.

නැකත සිකුරු ග්‍රහයාට අයත් බෙරණ නැකතයි. දශාව සිකුරුට අයත් මහ දශාවයි. අක්ෂාංශ දේශාංශ අනුව බලන කල අපගේ ශ්‍රී ලංකාව අයත් වන්නේ රාශි චක්‍රයේ කුම්භ රාශිය පිහිටා ඇති කොටසටයි. එයින් අදහස් කරන්නේ ලංකාවට හිමිවන්නේ කුම්භ ලග්නය බවයි. අප රටට සහ පොදුවේ ලග්නවලට ඇතිවන බලපෑම් ගැන විස්තර කිරීමට අවුරුදු උදාවේ ග්‍රහ පිහිටීම් ඇතුළත් කේන්ද්‍ර සටහන මෙසේය.

ශ්‍රී ලංකාව අයත් වන්නේ “කුම්භ” ලග්නයට බව මුලින් සඳහන් කළෙමි. එවිට ලග්නාධිපති සෙනසුරු ග්‍රහයා සිටින්නේ මකර රාශිය තුළයි. එය කුම්භයෙන් 12 වැන්නා වූ වැයස්ථානයයි. වැය යනු වියදම, නැතිවීම, අලාභ, ශක්තිය දුර්වලවීම හා වසංගතාකාර බෝවන රෝග (වාතය මූලික වීමෙන් සෑදෙන) ආදිය ගැන ප්‍රකාශයි.

මකරය සාමාන්‍යයෙන් ජලයේ හැසිරෙන රාශි කාණ්ඩයට අයත් වන බැවින් අප රටට ජල ගැලීම්, නායයාම් වැනි දෙයින් මෙන්ම බෝවන රෝග බෝවීම වේගවත් වීමෙන් රටවැසියා කරදරයට පත්වීම නොවැළැක්විය හැකිය. ජනතාව අතර මෙන්ම රටේද ධනහානි යෙදීම නිසා, දිළිඳු බව වැඩිවිය හැකියි. මිනිසුන් අතර, කෝලාහල, ගැටුම් ඇතිවීමෙන් සමගියට බාධා යෙදේ. මිනිසුන්ගේ අධර්මිෂ්ඨ ක්‍රියා ඉහළ යාමෙන් ජනජීවිත අවුල් විය හැකිය.

නව වර්ෂය ආරම්භයේදී බුධ ග්‍රහයා නීචව සිටීම නිසා, කුඩා දැරියන් ප්‍රමුඛව බාල පරම්පරාවට විවිධ දුක් පීඩා, අධ්‍යාපන මට්ටම පහත වැටීම, විවිධාකාර අසනීපවලින් පීඩා විඳීමටද සිදුවිය හැකියි. මේ හැර පොදුවේ ගත් කල වෛද්‍ය වෘත්තියට අදාළ සෑම අංශයකම ප්‍රමිතිගතයන්ට, වෘත්තිකයන්ට විවිධාකාර දුෂ්කරතා, මෙන්ම ඒ අය හා මහජනයා අතර අසමගිකම් ඇතිවිය හැකියි.

විශේෂයෙන් දරු දැරියන්ගේ ආරක්ෂාව ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුය. තවද මේ වසර තුළ පූර්ණ සූර්යග්‍රහණයක් හා පූර්ණ චන්ද්‍ර ග්‍රහණයක්ද පිළිවෙළින් දෙසැම්බර් 04 හා මැයි 26 වශයෙන් යෙදීමට නියමිතව තිබෙන නිසා ඒවායින් ඇතිවන අනිටු විපාක හේතුවෙන් වසර පුරාවට ජනතාවට විවිධ පාරිසරික දුෂ්කරතාවලට මුහුණ දෙමින් ජීවත්වීමට සිදුවන බව පෙනේ. මේ වසරේ ධාන්‍යාධිපති ශෂ්‍යාධිපති ගුරු - සිකුරු වීම නිසා, රසවත් පෝෂණීය ආහාර නිපැයුම සාර්ථක වන බව කිව හැකිය. ඈත පෙරදිග ජපානයේ දිරිමත් ජනතාව මෙන් ස්වභාවික මෙන්ම මිනිස් ක්‍රියාකාරකම් හරහා ඇතිවිය හැකි ආපදා විපත්වලට මුහුණදී ඒවා ජයගනිමින් දිරිමත්ව කටයුතු කිරීමට සියලු දෙනා අදිටන් කරගත යුතුය. 

එළඹෙන නව වසර තුළ පොදුවේ ලග්න 12ට ඇතිවිය හැකි පලාපල වෙත යොමුවන්නෙමු.

මේෂ - දේපළ ගැටලු

ලග්නයට අධිපති කුජ ග්‍රහයා සතුරු රාශිගතව 03 වැන්නේද රවි, සඳු, සිකුරු 04 වැන්නේද සිටින අතර, බුධ ග්‍රහයා නීචව සිටීම යන කරුණු සලකා බලන විට එතරම්ම ශුභඵල නොලැබෙන වසරක් බව පෙනී යයි. උනන්දුව ආත්ම විශ්වාසය අඩුවිය හැකියි. බාල සහෝදරයන් සිටී නම් තරමක් ඒ අයටද අගුණයි. ධනය ලැබීමේ වාසනාවක් උදා වී තිබේ. එහෙත් ඒ තත්ත්වය වරින්වර වෙනස් වෙමින් පවතිනු ඇත. මේෂ ලග්නයෙන් උපන් දරැවන්ට විවිධ අසනීපවලින් පීඩා විඳීමට සිදුවේ. ඉඩකඩම්, දේපළ පිළිබඳ ගැටලු ඇතිවිය හැකියි.

ඔබගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් වන බව පෙනේ. මුහුණේ, දත්වල ආබාධවලට ලක්විය හැකියි. 

ශුභ දවස් - ඉරිදා, සඳුදා, අඟහරුවාදා
ජය අංක - 01, 02,04
ජය මැණික් - රතු පද්මරාග

වෘෂභ - සංචරණ වැඩිවේ

සිකුරු ග්‍රහයාට මෙම ලග්නය අයත් වේ. ලග්නාධිපති වන එම සිකුරු ග්‍රහයා සතුරු රාශියක් වන මේෂ රාශිගතව සිටින අතර මේ සිටින්නේ ලග්නයෙන් 12 වැන්නා වූ වැයස්ථානයේයි. ඒ අනුව වෘෂභ ලග්න හිමි අයටද ලබන්නා වූ නව වසර එතරම් සතුටු විය හැකි වසරක් නොවනු ඇත. එහෙත් උත්සාහයෙන් කටයුතු කළහොත්, භූමි ලාභ, පොළොව සම්බන්ධ කටයුතු, වගා ව්‍යාපාරවලට යොමුවීම, විදේශ ගමන් හෝ ගමෙන් පිට පළාත්වල සංචරණය සහ රැකියා ව්‍යාපාර ආදියෙන් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවනු ඇත.

මේ අතරම විවාහ ජීවිතයේ අපේක්ෂිත සතුට, සහනය අඩුවීමට ඉඩ තිබෙන අතර, දරුවන්ගේ දියුණුවද සුළු කලකට හෝ පහත වැටීමට කරුණු උදාවන බව පෙනේ. 

සුබ දවස් - බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ජය අංක - 04, 06, 07
ජය මැණික් - සුදු මැණික්, දියමන්ති, මුතු

මිථුන - අපල වැඩියි

මිථුන ලග්න හිමියන් සෙනසුරුගෙන් යෙදෙන අෂ්ඨම ඒරාෂ්ඨක නව අපල කාලයක්ද ගත කරමින් සිටින අතර අවුරුදු කේන්ද්‍රයේ කුජ ලග්නගතවද ලග්නාධිපති බුධ ග්‍රහයා 10 වැන්නේ නීචවද සිටියදී නව අවුරුද්ද ආරම්භ වන බව පෙනේ. මේ නිසා නව වසරේ ශුභපල අඩුම ලග්නය මිථුනය බව කීවද වරදක් නැත. එහෙත් බ්‍රහස්පති ග්‍රහයා මෙතෙක් මකරයේ නීචව සිට එම තත්ත්වයෙන් මෙම අප්‍රේල් 10 සිට ශුභදායකව ගමන් කරන බැවින් උපතේදී බ්‍රහස්පති බලවත්ව සිටි මිථුන ලග්න හිමියන්ට තරමක් දුරට හෝ සුවයක් සහනයක් ලැබෙනු ඇත.

ගෘහ ජීවිතය රැකියා අවස්ථා ආදිය නව පිබිදීමකින් කටයුතු කිරීමට හැකිවනු ඇත. එහෙත් 2022.05.01 දින දක්වාම සෙනසුරු යෝග පවතී. ප්‍රාණයක් නිදහස් කර (මරණයට කැපකළ) විෂ්ණු දෙවියන් ඇතුළු දේව සමාගමට පින් අනුමෝදන් කරන බවට බාරවීම, බෝධි පූජා තබා සෙත් ශාන්ති කර ගැනීම, වැඩිපුර ආගමික කටයුතුවලට නැඹුරුවීම අපල සමනයට හේතු වේ.

සුබ දවස් - බදාදා, සිකුරාදා
ජය අංක - 01, 04, 06
ජය මැණික් - පච්ච, සුදු මැණික්

කටක - වැඩවල පිබිදීමක්

කටක ලග්නයට බලවත් ශුභ ගෙන දෙන යෝග කාරක ග්‍රහයා වන්නේ කුජ ග්‍රහයාය. නව වසර උදාවේදී කටකයෙන් 11 වැන්නේ සතුරු රාශියක කුජගේ පිහිටීම එතරම් යහපත් දෙයක් නොවන බව කිවයුතුය. එහෙත් රවි, සඳු 10 වැන්නේ සිටිමින් නව අවුරුදු උදාව සිදුවන බැවින්, එමගින් යම් ප්‍රමාණික සහනයක්, ශක්තියක් හා නව පිබිදීමකින් වැඩ කටයුතු කරගෙන යාමට හැකිවනු ඇත. ජූනි 02 සිට ජූලි 20 දක්වා කුජ නීචයක් යෙදෙන බැවින් අනතුරු වළක්වා ගැනීමට කල්පනාකාරී විය යුතුය. ආදරය, විවාහය තරමක් දුරට අවුල් වී යා හැකි නිසා, ඉවසීම, දුරදිග සිතා බලා කටයුතු කිරීම අවශ්‍යමය. මුත්‍රා රෝග වෛරස් ආසාදනවලින්ද පීඩා විඳීමට සිදුවන කාලයකි.

පොදුවේ ගත් කළ සැලකිය යුතු අන්දමේ සුබපල අඩුවිය හැකි වසරකි. ආගමික කටයුතු පින් දහම්වල යෙදෙන්න.

සුභ දවස් - සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ජය අංක - 02, 03, 05
ජය මැණික් - මුතු කැට, සුදු මැණික්

සිංහ - යහපත් විවාහ ජීවිතයක්

උසස් අය, ප්‍රධානීන්ගේ ඇසුර නිසා සැලකිය යුතු දියුණුවක් ලබාගත හැකි වසරක් බව කීමට පුළුවන. උපතේදී රවි, ගුරු බලවත්ව සිටියේ නම් වඩාත් සුබයි. මන්ද ලග්නයට අධිපති රවි ග්‍රහයා උච්ච බලයෙන් සිටීම නිසයි. බ්‍රහස්පති ග්‍රහයා ලග්නයෙන් 07 වැන්නේ කේන්ද්‍රස්ථාන ගතවී සිටීමද ශුභපල ගෙන දෙන පිහිටීමකි. විවාහක නම් විවාහ ජීවිතය සමාදානයෙන්, සහයෝගයෙන් ගත කිරීමට පොළඹවන ආකාරයේ ග්‍රහ බලයකි. එසේම හවුල්කරුවන්, හවුල් ව්‍යාපාර සුබවාදී අන්දමින් පවත්වාගෙන යාමට හැකිවනු ඇත. ශරීර සුවතාවය ගැන බලන කළ, වෛරස් ආසාදනවලින් රෝගී තත්ත්වයන් මෙන්ම නහරගත ආබාධවලටද ඉඩකඩ නැත්තේ නොවේ. සමස්තයක් වශයෙන් ගත්කළ මෙම අලුත් අවුරුද්ද සිංහ ලග්න හිමියන්ට හා සිංහ ලග්නයෙන් උපන් දරුවන්ටද සුබදායක වනු ඇත.

සුභ දවස් - ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ජය අංක - 01, 03, 05
ජය මැණික් - පද්මරාග

කන්‍යා - පෞරුෂය බිඳ වැටේ

ලග්නයට අධිපති ඥාන කාරක බුධ ග්‍රහයා නීචව 7 වැන්නේද රවි, සඳු, සිකුරු 08 වැන්නේද ගුරු ග්‍රහයා 6 වැන්නේද සිටිමින් ආරම්භ වන මේ නව වසර ඔබට සෑම අතින්ම දුක් පීඩාවලට මුහුණ දෙමින් ජීවත්වීමට සිදුවන අවුරුද්දක් බව කිව හැකිය. තම ආත්ම ශක්තිය උනන්දුව, පෞරුෂය සහමුලින් බිඳ වැටීමට ඉඩ තිබේ. මව්පිය දෙදෙනාටද අශුභ පල ගෙනදෙනු ඇත. ඔබට නීතිමය ගැටලුවලටද මුහුණදීමට සිදුවන බව පෙනේ.

පොදුවේ ගත් කළ 2021 අලුත් අවුරුද්ද ඔබ ඉතාම හොඳ කල්පනාවෙන්, ප්‍රවේශමෙන්, ඉවසීමෙන් ගතකළ යුතුය. ආහාර පාන විස වීමෙන් රෝගීවීමටද බොහෝ සෙයින් ඉඩ තිබේ. ඉගෙන ගනිමින් සිටින අයගේ එම කටයුතු අඩාල විය හැකි වන අතර, විභාග ප්‍රතිඵලද අසාර්ථකත්වයට පත්වනු ඇත. කන්‍යා ලග්නය හිමි දරුවන් බෝවන රෝග සහ විවිධ රෝගවලට ගොදුරු වනවා ඇත.

සුභ දවස් - බදාදා, සිකුරාදා
ජය අංක - 04, 06
ජය මැණික් - පච්ච, දියමන්ති, සුදු මැණික්

තුලා - ඉලක්ක ජයගනී

සිකුරු ග්‍රහයා ඔබගේ ලග්නයට අධිපතියා වෙයි. නව අවුරුද්දේදී ලග්නයෙන් 07 වැන්නේ රවි, සඳු සමග සිටී. යෝග කාරක ශනි ග්‍රහයා තෙවැන්නේ සිටී. සෙනසුරුගෙන් ශ්‍රී කාන්ති නමැති ප්‍රබල ග්‍රහ යෝගයක්ද යෙදී තිබීම නිසා කොතෙක් කරදර බාධා පැමිණියද ඒවා විඳ දරා ගනිමින්, තම ජීවිතය උසස් තත්ත්වයකට පත්කර ගැනීමට සමත්වන බලය, ජවය ලබාදෙන පිහිටීමකි. එබැවින් මේ ලබන නව වසරේදී ඔබගේ ඉලක්ක ජය ගනිමින් නායකත්ව ලක්ෂණද සමග ප්‍රධානත්වය ගෙන සමාජශීලීව කටයුතු කිරීමට හැකිවෙයි. දුගී දුප්පත් අයට යහපත උදාකර දෙමින් ඒ අයගේ ප්‍රධානියා වනු ඇත.

රාහු, කේතු පිහිටීම නිසා, වාද විවාද දුරදිග යාමෙන් හිතවත් අය අමනාප විය හැකි බැවින් ඒ ගැන කල්පනාකාරී වන්න. කැඩුම් බිඳුම් වැනි හදිසි අනතුරු සිදුවීමට ඉඩ තිබෙන බැවින් ප්‍රවේශමින් සෑම දෙයක්ම කරන්න.

සුභ දවස් - සිදුරාදා, සෙනසුරාදා
ජය අංක - 12, 07, 06
ජය මැණික් - සුදු මැණික්, මුතු කැට

වෘශ්චික - හදිසි අනතුරු බහුලයි

කලකට පසු මේ අලුත් අවුරුද්දේ ගෘහ ජීවිතය යහපත්, සුවය සහනය ලැබෙන, ඥාති මිත්‍ර සංගම්, ප්‍රිය සාද ආදියද ලැබෙන බව පෙනේ. එහෙත් පසුගිය කාලයේ පැවති කරදර අවුල් වියවුල් ධන හානි ආදිය ගැන සිතන්නට පෙළඹෙන ගතියක් නිසා වරින්වර මොළයට වෙහෙස ගෙන දෙනු ඇත. ලග්නාධිපති 08 වැන්නේ සිටියදී උදාවන මේ වසරේ වාහන අනතුරු, ආයුධ යන්ත්‍ර සූත්‍ර ආදියෙන් හදිසි අනතුරු ඇතිකළ හැකි නිසා විශේෂයෙන් ගමන් බිමන්වලදී ප්‍රවේශම් සහිත වීම, කල්පනාකාරීව සිටීම අවශ්‍යයි. දරු ශිෂ්‍යාදීන්ට සුබපල ගෙනේ.

ආදරය, විවාහය, පවුල් ජීවිතය ගැනද වෙනදාට වඩා අවබෝධයෙන්, එකිනෙකාට ගරු කරමින්, සුහදව ගත කිරීමට අවශ්‍ය බව සලකන්න. භූමියෙන් ලැබෙන දේවලින් ලාභ අත්වනු ඇත. ශරීරයේ ලේ ධාතුව විකෘතිවිමෙන්ද රෝගී වීමේ ඉඩකඩ වැඩිය.

සුභ දවස් - සඳුදා, අඟහරුවාදා, ඉරිදා
ජය අංක - 08, 01, 02, 12
ජය මැණික් - රතු, කොරල්

ධනු - දරුවන්ගේ දියුණුව

ගුරු හෙවත් බ්‍රහස්පති ග්‍රහයාට ධනු ලග්නය අයත් වෙයි. පසුගිය වසර පුරාවට මුහුණදීමට සිදුවූ ජීවන ගැටලු, ආර්ථික පරිහානිය, පවුලේ අය අතර මතගැටුම් ආදී දහසකුත් එකක් දුක් වේදනා මුදාහැර, අලු යට ගිනි පුපුරු මෙන් නව පිබිදීමකින් ජවයකින් නැගී සිටීමට හැකිවන වසරක් ලෙස නව වසර සැලකිය හැකිය.

එබැවින් ඔබ වෙනදාට වඩා උනන්දුවෙන් ක්‍රියාකාරී සැලැස්මකට අනුව කටයුතු කිරීමෙන් ජීවන මග යථාවත් කර ගැනීමට මහන්සි ගන්න. ණය ගනුදෙනු, ඇප ඔප්පුවලට අත්සන් කිරීම, ණයට මුදල් දීම ආදී දේවල්වලින් වළකින්න. ඇස්වල, දත්වල රෝග ඇතිවීමෙන් සෞඛ්‍යයට අයහපත් ප්‍රතිඵල ඇතිවිය හැකි කාලයක් බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න. ආදරය, විවාහය ගැටලුකාරී, සතුට අඩු තත්ත්වයකට පත්වීමට ඉඩ තිබෙන්නේ අනවශ්‍ය ලෙස මතගැටුම් ඇතිකර ගැනිම නිසා බැවින් ඒවායින් වැළකී සමාදානයෙන් සිටීමට වගබලා ගන්න. දරුවන්ගේ දියුණුවට කටයුතු සිදුවනු ඇත. 

සුභ දවස් - බ්‍රහස්පතින්දා, ඉරිදා, අඟහරුවාදා
ජය අංක - 09, 05, 21
ජය මැණික් - පුෂ්පරාග, රතු මැණික්

මකර - නිලතල හා ධනය ලැබේ

සෙනසුරු ග්‍රහයාට අයත් මකර ලග්නය හිමිව උපන් ඔබට අලුත් අවුරුද්දේ ශ්‍රී කාන්ති යෝගය නම්වූ බලවත් ග්‍රහ යෝගයක් යෙදී තිබේ. සාමාන්‍යයෙන් මකර ලග්නය හිමි අයගේ ගතිගුණ ක්‍රියාකාරකම් ස්ථීරව නොපවතින බව ජ්‍යොතිෂය කියා තිබේ. වරින්වර වෙනස් කරන එබඳු දේවල් නිසා දියුණුවට අවහිරතා යෙදේ. එබැවින් ජීවිතය සම්බන්ධයෙන් ගන්නා නිවැරදි තීන්දු, තීරණ පසුව වෙනස් නොකර කුමන බාධා පැමිණියද ඒවා ක්‍රියාවට නගන්න ඔබ උත්සාහ වන්න. දුක වේදනාව විඳ දරාගනිමින් කටයුතු කරන වසරක් බැවින් දියුණුව ලබාගත හැකියි. ධනය, නිලය, නිලතල ලැබෙන වසරක් නිසා කලකට පසු සැනසිල්ලට හේතුවන බව කිවහැකියි.

ගේ දොර ඉඩකඩම් පිළිබඳ ගැටලුවක් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව බුද්ධිමත්ව කටයුතු කර, එම ගැටලු විසඳාගන්න. රක්තවේද දෝෂ, රෝග ඇතිවීමට ඉඩ තිබෙන නිසා ඒ ගැනද සොයා බලා අවශ්‍ය දේ කරන්න. මකර ලග්න දරුවන්ටද සුබපල අඩුවිය හැකියි.

සුභ දවස් - සෙනසුරාදා, බදාදා, සිකුරාදා
ජය අංක - 07, 04, 06
ජය මැණික් - නිල් මැණික්

කුම්භ - ජීවිතයේ ජය

ලග්නාධිපති සෙනසුරු වැයස්ථානයේ සිටිමින් ඔබට නව අවුරුද්ද උදාවන බව පෙනේ. මෙය තරමක් දුරට ගැටලුකාරී වන්නට හේතුවකි. එහෙත් කුම්භ ලග්නයෙන් උපත ලබන අය, හොඳින් හෝ නරකින් තම ජීවන අරමුණු ඉටුකර ගැනීම සඳහා දිවා රෑ නොබලා දුක, සැප විඳදරා ගනිමින් කටයුතු කරන සහ දියුණුව ළඟා කර ගන්නා අය වන බැවින් සුභ අසුභ වශයෙන් කුමන දෙයක් ලැබුනද ඒවා සතුටින් බාරගෙන ජීවිතය දිනාගනු ඇත.

අහිමි වී ගිය ධනය හා තමන්ගේ වටිනා දේවල් ආපසු ඔබ කරා ළඟාකරවා ගැනීම අවශ්‍ය පසුබිම සහ ග්‍රහ බලය ලැබෙන බැවින් උත්සාහයෙන් කටයුතු කර ජීවිතය ජයගන්න. වෛරස් ආශ්‍රිත රෝග, නහරගත ආබාධ ඇතිවිය හැකි බැවින් ශරීර සෞඛ්‍යය ගැන කල්පනාකාරී වන්න. කුම්භ ලග්න හිමි දරුවන්ද පොදුවේ රෝගබාධවලට ලක්විය හැකි වසරක් බව කීමට පුළුවන.

සුභ දවස් - සෙනසුරාදා, සිකුරාදා
ජය අංක - 04, 06, 07
ජය මැණික් - නිල් මැණික්, කාක නිල්

මීන - ශුභඵල අඩුයි

ලග්නාධිපති ගුරු ග්‍රහයා වැයස්ථානයේ සිටීම 04 වැන්නේ කුජ ගමන, ලග්නයේ බුධ නීචය ආදී කරුණු සලකා බලන කළ මේ නව වසර ඔබට ශුභපල අඩු බව කීමට සිදුවේ. ඔබ සතු මුදල් වටිනා දෑ ප්‍රවේශම් කර ගැනීමට වෙනදාට වඩා අවධානය යොමු කරන්න. ශරීර සුවතාවය ගැනද අවබෝධයෙන් සිටීම අවශ්‍යයි. වරින්වර අඩු වැඩි වශයෙන් සුබ අසුබ වශයෙන් මධ්‍යම පල ලැබෙනු ඇත. ආගමානුකූලව කටයුතු කිරීමෙන් ඔබට විශේෂ යහපතක් ලබාගැනිමට හැකිවනු ඇත.

සුභ දවස් - බ්‍රහස්පතින්දා
ජය අංක - 05, 09
ජය මැණික් - පුෂ්පරාග

(සැ.යු. ඉහත සඳහන් පලාපල ඒ ඒ ලග්න හිමියන් ගතකරන දශා, අතුරු දශා කාලයන් අනුව වෙනස් විය හැකිය.)

ඩී.ඩබ්ලිව්.පී. ලියනගේ
ජ්‍යොතීර්වේදී, 
242 බී, හෝකන්දර දකුණ, 
හෝකන්දර

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00