2021 ජනවාරි 23 වන සෙනසුරාදා

වෛරසය නව මුහුණුවරකින්

 2021 ජනවාරි 23 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 118

දෙදහස් විසි එකේ ජනවාරි මස 14 වැනිදා පෙ.ව. 8.15 වන විට චන්ද්‍රයා පෘථිවි ගුප්ත ත්‍රිකෝණයේ මකර: 120ට ප්‍රවිශ්ට වන විට රවි ග්‍රහයා මකර: 00ට සම්ප්‍රාප්ත වී, දකුණු දිශාවේ ගු-ශ-බු-ච-ර-රා යන ග්‍රහ සම්බන්ධීකරණයක් ඇති කර ගනු ලැබුවේය.

මෙම ග්‍රහ සංයුතිය අපගේ ඉන්දීය භිර්ගු නන්දන නාඩි සිද්ධාන්ත පර්යේෂණ ජාලයට අනුව නිරීක්ෂණය වන්නේ ලංකාවේ පමණක් නොව ලොව පුරාම වසංගත රෝග භීතිය තවදුරටත් පැතිරී යන බවය.

පවතින කොරෝනා වෛරසය නව මුහුණුවර ගනිමින් මනුෂ්‍ය වර්ගයාට පමණක් නොව ගහකොළ, සතා සීපාවා පවා විනාශ කර දමන්නට රෑප සටහන මගින් පෙන්වා ඇති පරිදි නැගෙනහිර හා දකුණු දිශා පීඩාව විසින් ක්‍රියා කරනු ඇත. මේ අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ද ප්‍රබල ලෙස සෞඛ්‍ය අසමතුලිතතාවට ලක්වී මානසික පීඩාවන්ගෙන් හෙම්බත් වෙනවා ඇත. 

1999.12.31 අපගේ පාදක වර්ෂයේ ග්‍රහ සිත්තමේ නැගෙනහිර දිශාවේ පිහිටි රවි-ශනි යුවල කුජ, යුරේනස් විසින් දූෂණය කරද්දී බටහිර පිහිටි කුජ-චන්ද්‍ර යුවල ද දෘෂ්ටි පීඩාවට ගොදුරු වෙයි.

මේ නිසා හදිසි අනතුරු රුල්ලක් මතු වී දුකට පත්වන ජීවිත ප්‍රමාණය ඉහළ යනු ඇත. ප්‍රබල ගිනි විපතක් වාර්තා වේ. මහජනයා ගැවසෙන වෙළෙඳපොළවල් ආශ්‍රිතවද විශාල ගොඩනැගිලිවලද මෙම ගිනි විපත් මතු වන්නේය. ගුවන්යානා, ජල යාත්‍රා, දුම්රිය ප්‍රමුඛ කරගෙන මෙම විනාශකාරී සිදුවීම් මාලාව ඇතිවේ.

මේ නිසා පැවිදි උතුමන්ලාගේ චරිත ඝාතනය මෙන්ම හඳුනා ගැනීමට අපහසු රෝග විෂබීජ ආදියට ද ගොදුරු වන්නේය. සිද්ධස්ථානවලට, පැවිදි උතුමන්ලාට මාරක පීඩා මතු කරයි.

බලාපොරොත්තු රහිත ලෙස විවිධ ස්ථානවල විශාල ව්‍යාපාර කර්මාන්ත ආදිය බිහිවීමට පසුබිම නිර්මාණය වුවත් ඉතා ඉක්මනින්ම ඒවා විනාශ වී යාමේ තර්ජනයකට මුහුණ දෙනවා ඇත.

විශාල මුදල් වංචාවකට, සොරකමකට, මහා පරිමාණ කුමන්ත්‍රණයකට ඇදී යන මානසිකත්වයක් ඇති කිරීමට චන්ද්‍ර-රවි සංයුතිය මඟ පාදනු ඇත.

රවි මාරු මොහොතේදී දිශා චක්‍රයේ ජනිත වන නැගෙනහිර, දකුණ, බටහිර මතුවන ග්‍රහ චලිතය විසින් පාථිවියේ පවතින සමබරතාවය චලනය කරයි. මහද්වීපික තටාකය මෙන්ම පෘථිවි ඉරිතැලීම්, හෙල්ලුම් කෑම් ජනිත වී පතල් විපත් මවනු ඇත. භූ චලන ක්‍රියාකාරකම් නිසා දේපල හානියකට මඟ පෑදේ.

මනුෂ්‍ය ශරීරයේ රුධිර දෝෂ ව්‍යාප්ත වනවා ඇත. සිදුවිය හැකි විපත් අවම කර ගැනීම සඳහා සහන කණ්ඩායම්ද ආරක්ෂක අංශ ද විමසිලිමත්ව සිටීම යහපති. ස්වභාවික ප්‍රතිශක්තිකරණ බලය වර්ධනය කර ගැනීමට මිනිසා ආධ්‍යාත්මික ක්‍රමවේද අනුගමනය කිරීමද වටී.

විශ්ව කීර්ති ජ්‍යොතිර් විද්‍යා පණ්ඩිත ශිරෝමනී අක්මීමන

සුරා ශ්‍රී ගුණවර්ධන