2023 මැයි 14 වන ඉරිදා

යළිත් පිබිදෙන ගාලු සාහිත්‍ය වසන්තය

 2023 මැයි 14 වන ඉරිදා, පෙ.ව. 06:00 98

ඉංග්‍රීසියෙන් කියවන සාහිත්‍ය ලෝලී වැඩිදෙනෙක් සෑම වසරකම ජනවාරි මාසය එක තෙක් බලා සිටියේ දකුණු ආසියාවේ ප්‍රකට සාහිත්‍ය උළෙලකට එක්වීමටයි. දින හතරක් පුරාවට ජනවාරි මාසයේ ගාලු කොටුව ආශ්‍රිතව පවත්වන එය ගාලු සාහිත්‍ය උළෙලයි (Galle Literary Festival). සාහිත්‍ය සැණකෙළියක් පරිදි ක්ෂේත්‍ර කිහිපයක එකතුවෙන් පවත්වන එයට දකුණු ආසියානු කලාපයේ මතු නොව වෙනත් රටවල ප්‍රකට ලේඛකයෝත් සෑම වසරකම එක්වූහ. ඒ සඳහා 2016 සිට ප්‍රධාන අනුග්‍රහකත්වය දැක්වූයේ ෆෙයාර්වේ හෝල්ඩිං සමාගමයි. නමුත් 2019න් පසුව කොවිඩ් අවදානම මෙන්ම ආර්ථික අර්බුදය නිසාත් එය පැවැත්වීම සිදුවුණේ නැත. පසුගිය සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළේ වසර කිහිපයක සිට නොපැවැත්වූ ගාලු සාහිත්‍ය උළෙල යළිත් පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ මෙම සාහිත්‍ය උත්සවය සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුතුව පැවැත්වීමට උපදෙස් ලැබී ඇති බවයි.

සාහිත්‍ය උළෙලට සමගාමීව විවිධ කලා අංගයන්ගෙන් සමන්විත වැඩසටහන් මාලාවක් ගාල්ල, මාතර අහංගම හා හික්කඩුව යන ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර තිබේ. මේ පිළිබඳ මූලික සාකච්ඡාවක්  ජනාධිපතිවරයා‌ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූ අතර නව කලා මාධ්‍යයන්, සංගීතය, විලාසිතා දැක්ම, පොත් ප්‍රදර්ශන, සැණකෙළි ඇතුළු විවිධ කලා අංගයන්ගෙන් මෙම වැඩසටහන සංවිධානය වන බව එදින පැවසුණි. ගාලු සාහිත්‍ය උත්සව වැඩසටහන් මාලාව 2024 ජනවාරි මාසයේ දී පැවැත්වීමට තීරණය කෙරිණි.

2007 දී මුල්වරට ආරම්භ වුණු මෙයට ගත්කතුවරයන්, ඉතිහාසඥයන්, කවියන් ඇතුළු සාහිත්‍ය ක්ෂේත්‍රයේ දෙස් විදෙස් ප්‍රවීණයන් රුසක් එයට සහභාගි වීම සිරිතක් කරගෙන සිටියහ. ගාලු සාහිත්‍ය උත්සවය මුලින්ම ආරම්භ කළේ ජෙෆ්රි ඩෝබ්ස්ය. මේ උත්සවයට සහභාගි විය යුත්තේ ලෝකයේ වෙනත් ජාත්‍යන්තර සාහිත්‍ය උළෙලවල මෙන් ටිකට්පතක් ලබාගෙනය. කොළඹ සිට මෙන්ම රටේ වෙනත් පෙදෙස්වලින්ද එයට එක්වීමට සාහිත්‍යකාමීහු පැමිණියහ. සංචාරකයන් රාශියක්ද මෙහි වැඩසටහන්වලට එක්ව සිටිනු වසර කීපයක් එයට සහභාගි වූ ලියුම්කරු දැක තිබේ. පොත් ප්‍රදර්ශන, සාහිත්‍ය සංවාදවලට අමතරව අමතරව ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවෙන් ශ්‍රී ලංකාව තුළ පළ කර තිබෙන හොඳම නවකතා ඇගයීමට ලක්කරමින් 'ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මානය' ලබාදීමේ අවස්ථාවද 2016 සිට ගාලු සාහිත්‍ය උත්සවයේදී ආරම්භ විය.   මෙහිදී එක් එක් අංශවල ජයග්‍රාහකයින්ට රුපියල් 500,000 බැගින් හිමිවිය. සම්මානය සඳහා නිර්දේශිත කෘතිවලට රුපියල් 100,000 බැගින් ලබාදීම සිදුවිය.

ඉංග්‍රීසි සාහිත්‍යයට මුල්තැන දුන්නත් වර්ෂ 2017දී මුල්වරට සිංහල භාෂා දිනයක් ඇතුළු කෙරිණි. සිංහල භාෂා දිනය සඳහා නොමිලේ සහභාගි වීමට අවස්ථාව සලසා දීම දැකගත හැකිවුණි. සිංහල කවියන්, නවකතාකරුවන්, කෙටිකතාකරුවන්, සිනමාකරුවන් හා විචාරකයින් සිංහල දින උත්සවය සඳහා සහභාගි වූ අතර එයට සිංහල පාඨකයන්ගේද විශාල උන්දුවක් තිබුණි.

ඉංග්‍රිසි ලේඛිකාවක වන අමීනා හුසේන් පසුගිය කාලයේ මෙයට සෑම අවුරුද්දකම එක්වූවාය. ඇය ගාලු සාහිත්‍ය උළෙල දකින්නේ මෙසේය: ''ගාලු සාහිත්‍ය උත්සවය ඉතා අපූරු අත්දැකීමක්. අපට විශිෂ්ට ලේඛකයන් ඉන්නවා. මම ඔවුන් ඇසුරු කිරීමට මෙයට පැමිණෙනවා. පෞරාණික උරුමයක් සහිත ගාල්ලේදී මෙය පැවැත්වීමත් ඉතා වටිනවා. සාහිත්‍ය ලැදි බොහෝදෙනා දවස් තුන හතරක් නිවාඩු දාලා මේකට සහභාගිවීමට එනවා. විශේෂ වට්ටම් සහිතව පොත් ලබාගැනීමටත් මෙතැනදී ඉඩ ලැබෙනවා. ඒ ලේඛකයන් හමුවීමටත් පාඨකයන්ට අවස්ථාව ලැබෙනවා.''

පළමු වතාවට 2016 ෆෙයාර්වේ ගාලු සාහිත්‍යය උත්සවයේදී දකුණු ආසියාවේ සාහිත්‍යය සඳහා පිරිනමන සුප්‍රසිද්ධ DSC සම්මානය පුද කිරීමද සිදු විය. මේ සම්මානය 2015 දී  ඉන්දියානු අමෙරිකානු සම්භවයක් සහිත ජුම්පා ලහිරි විසින් රචිත 'The Lowland' කෘතිය දිනාගත් අතර අතර 2012 දී මේ සම්මානය දිනාගත්තේ ශ්‍රී ලාංකිකයෙකු වන ෂෙහාන් කරුණාතිලකගේ 'Chinaman' කෘතියයි.

සාහිත්‍ය පමණක්ය යන සම්ප්‍රදායික රාමුවෙන් ඔබ්බට ගොස් සංවිධානය වුණු උත්සවයක් ලෙස ගාලු සාහිත්‍ය උත්සවය එකල කැපී පෙනුණි. තරුණයන් විශාල වශයෙන් එයට එක්ව සිටිනු දැකගත හැකි විය. සාහිත්‍ය නොවන ක්ෂේත්‍රවල ක්‍රීඩා ප්‍රසංග, විලාසිතා සංදර්ශන, ගෙවතු සහ ගෘහ නිර්මාණාත්මක, සංචාර, ප්‍රජා වැඩසටහන්, ඡායාරෑප ප්‍රදර්ශන ඇතුළු බොහෝ වැඩසටහන් පසුගිය කාලයේ උත්සවයට අදාළව පැවැත්විණි.

ගාලු කොටුව ආශ්‍රිතව ඇවිදීම, සාහිත්‍ය සම්මන්ත්‍රණ සහ සංවාද, පොත් එළිදැක්වීම්, සාහිත්‍යවේදීන් සමඟ පෞද්ගලික සංවාද, වැඩමුළු, තේ සාද, සිනමා සංදර්ශන ආදී බොහෝ අංග මෙම අන්තර්ජාතික සාහිත්‍ය උත්සවයට ඇතුළත්ව තිබුණි. එංගලන්තය, ඇමරිකාව, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව, ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු රටවල ප්‍රවිණ ලේඛක ලේඛිකාවෝ සහ සාහිත්‍යවේදීහුද පසුගිය කාලයේ මෙය පැවති අවස්ථාවල සහභාගි වූහ.

2017 ගාලු සාහිත්‍ය උත්සවයේ හොඳම සිංහල නවකතාවට   සම්මානය හිමි වුණේ අනුරසිරි හෙට්ටිගේ ලියූ පණ්ඩක පුත්‍ර වස්තුවයි. අනුරසිරි හෙට්ටිගේ ගාලු සාහිත්‍ය උත්සවය සහ සාහිත්‍ය සම්මාන ගැන දරන්නේ මෙවැනි අදහසකි:

''මේක මම ඉතා ගෞරවයෙන් සලකන වැදගත් සම්මානයක්. ගාලු සාහිත්‍ය උත්සවය වෙනත් සම්ප්‍රදායික සාහිත්‍ය උත්සවවලට වඩා වෙනස්. එහි සම්මාන දීමේ දී සලකා බලන ක්‍රමවේදයත් වෙනස්. සම්මානවලට පාත්‍ර වී ඇත්තේ අලුත් විදිහට හිතන ලේඛකයන්. ඒ වගේ සාහිත්‍ය උත්සවයක් නැතිවීම ලොකු අඩුවක් ලෙසයි මම දකින්නේ. වෙළෙඳ අරමුණු ඇතිව ආරම්භ වූ බව පෙනුණත් මෙය අන්තර්ජාතික සාහිත්‍ය උත්සවයක් බවට පත්වූ බව පේනවා. දේශීය ලේඛකයන් සමඟ විදේශීය ලේඛකයන් රාශියක්ද මෙයට සහභාගි වුණා. පාඨක සංවාද පැවැත්වුණා. ලංකාවේ සාහිත්‍යයේ දූවිලි බැඳුණු තත්ත්වය මඟහැර එයට ජාත්‍යන්තර අවධානයක් ගෙන ඒමට මේ උත්සවය හේතුවුණා.

මෙය යළිත් ආරම්භ කිරීමට දේශපාලන මැදිහත්වීමක් තිබෙන බව අපට අසන්න ලැබුණා. දේශපාලන උවමනා එපාකම් මේ මගින් ඉටුකර ගැනීම වෙනුවට ජාත්‍යන්තර වශයෙන් ලංකාවට අවධානයක් ලැබෙන සාහිත්‍යමය අවස්ථාවක් බවට මෙය පත්කර ගත යුතුයි.''

♦ කුසුම්සිරි විජයවර්ධන
සේයාරූ I අන්තර්ජාලයෙනි

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00