2023 ජනවාරි 15 වන ඉරිදා

අවුරුදු 30කට පසු සෙනසුරු කුම්භයට - සමාජ පෙරළියක පෙරනිමිති

 2023 ජනවාරි 15 වන ඉරිදා, පෙ.ව. 06:00 1339

සෙනසුරු ග‍්‍රහයාගේ නම ඇසූ පමණින් මුලා වන ජනතාව මහත් බියකින් තැතිගැණෙන අතර ඇතැම් දෙනකුට එය හාස්‍ය උපදවන කාරණයකි.

සෙනසුරු ග‍්‍රහයා රාශි චක‍්‍රය තුළ කිසියම් ලක්ෂයක සිට නැවත එම ලක්ෂය කරා පැමිණීමට වසර 30ක් පමණ ගත වේ. මිනිස් ශිෂ්ඨාචාරය ආරම්භයේ සිට වර්තමානය දක්වා වූ කාල පරාසය තුළ මිනිසාගේ දියුණුව කෙරෙහි විශේෂ වූ බලපෑමක් කරන්නට සමත් මෙම සෙනසුරු ග‍්‍රහයා ජීවීන්ගේ පැවැත්ම සඳහා මහත් වූ කාර්යභාරයක් සිදුකිරීමට ඉවහල් වන ග‍්‍රහයෙකි. 

එක රාශියක් තුළ වසර තුනකට ආසන්න කාලයක් ගමන් කිරීම සෙනසුරුගේ ස්වභාවයයි. මනසක් සහිත මිනිස් ජන සමාජයෙහි, ඔවුන්ගේ මානසික ශක්තිය වර්ධනය කරමින් ජීවිතයේ යථාර්ථය අවබෝධ කරලීම සඳහා වූ කාර්යභාරය වෙනුවෙට ක්‍රියාකිරීම නිසාම ගල් යුගයේ ජීවත් වූ මිනිසා අද වනවිට විශාල දියුණුවක් අත්කර දීමෙන්ම සෙනසුරු ග‍්‍රහයාගේ කැපවීමේ තරම සිතාගත හැකි වන්නේය. 

අධ්‍යාත්මික හා භෞතික වශයෙන් දියුණුව ඇතිකරදෙන සෙනසුරු ග‍්‍රහයා විනිසුරුවරයෙකු වැනිය. ජන්මීන්ගේ භෞතික හා අධ්‍යාත්මික යන දෙයාකාරයම සමතුලිතව පවත්වාගෙන යන්නන් වෙනුවෙන් සාධාරණ තීන්දුවක් ලබාදෙන සෙනසුරු ග‍්‍රහයා අධ්‍යාත්මික බව පසෙකලා භෞතිකව පමණක් සිතන පතන අයට නිසි දඬුවම් ලබාදීමට කිසිවිටෙකත් පසුබට නොවේ. එසේම ධෛර්යමත් ලෙසට බුද්ධිමත්ව සාධාරණව ජීවත්වන සැමට මහත් වූ ආශිර්වාදයක් වන අතර ඒ සඳහා කිසිවිටෙක අහිතවත් නොවන ග‍්‍රහයෙකි. 

විශ්ව කේන්දර සටහනට අනුව එම රාශි චක‍්‍රයේ ඇති කාම ත්‍රිකෝණයට අයත් මිථුන, තුලා සහ කුම්භ යන වායුමය වූ රාශි ත‍්‍රිත්වය තුළ සෙනසුරු ගේ සංක‍්‍රාන්තිය මුළුමහත් ලෝකවාසී ජනතාවටම අතිශය වැදගත් කාලපරාසයන් බව කිව යුතුයි. 

අසීමාන්තික ආශාවන් පසුපස ලුහුබඳින ජීවීන්ගේ ආශාවන් සපුරාලීම වෙනුවෙන් සුවිශේෂ වූ කාර්යභාරයක් ඉටු කිරීමට මෙම කාම ත්‍රිකෝණයට අයත් රාශිවල සෙනසුරුගේ සංක‍්‍රමණය වැදගත්කොට සලකයි. මිනිසාගේ ආශාවන්ගේද ධනාත්මක බවක් ලබාදෙන නමුදු ඔවුන් අධ්‍යාත්මික බවෙන් තොර වන්නේ නම් ඒ හා සමානවම එම ජන්මීන්ට දඬුවම් කිරීමට සෙනසුරු ග‍්‍රහයා පසුබට නොවේ. 

කාම ත‍්‍රිකෝණයට අයත් මුල් රාශිය මිථුන වන අතර එය සටහනේ 3 වැන්නයි. එය බුධට අයිති රාශියකි. බුධගෙන් ජන්මීන්ගේ සන්නිවේදනය හෙවත් ප‍්‍රකාශනය නිරෑපනය කරන අතර 3 වැන්න ජන්මියාගේ මනස නිවේදනය කරයි. සෙනසුරුට ඉතා හොඳ මිතුරෙකු වන බුධ ග‍්‍රහයා සමග ඇති සම්බන්ධතාවය තුළ ජන්මීන්ට යථා අවබෝධය ලබාගැනීම සඳහා හොඳ ආරම්භයක් ලබාදෙන්නට මෙම කාම ත්‍රිෙකා්ණයට අයත් පළමු රාශිය වන මිථුනයේ සෙනසුරුගේ ගෝචරය ඉවහල් වේ. 

යහපත් මානසිකත්වයක් තුළ අන් අය හා සුහදව කටයුතු කරන්නට සලස්වන කාම ත‍්‍රිකෝණයට අයත් මීළඟ රාශිය තුලාවයි. එය සිකුරුගේ රාශියක් වන අතර සෙනසුරුට ඇති හොඳම රාශියයි. සෙනසුරුගේ හොඳ මිතුරෙකු වන සිකුරු ග‍්‍රහයා ජීවීන්ගේ සැපවත් බව කදිමට කියාපාන ග‍්‍රහයෙකි. එබැවින් යහපත් මානසික ඇරඹුමකින් වසර 12කට පසු සෙනසුරු තුලා රාශි ගතවීම තුළ ජීවිතයේ සතුට ලබාදීම උදෙසා සෙනසුරු ග‍්‍රහයා නිරන්තරයෙන් කටයුතු කරයි. 

තුලා රාශි ගත වූ සෙනසුරු එහි වසර 3ක් පසුකිරීමෙන් පසුව නැවත වසර 12 කට පමණ පසු කාම ත‍්‍රිකෝණයට අයත් මීළඟ රාශිය වන කුම්භයට එයි. සෙනසුරුට අයිති රාශියක් වන කුම්භය ජන්මියාගේ ක්‍රියාකාරකම් තුළ ජන්මියා ලබන ප්‍රතිලාභ කවරේද යන්න මනා ලෙස අනාවරණය කරන රාශියකි.

වසර 30 පුරාවට සංවර්ධනය වෙමින් කාලයේ රිද්මය තුළ ජන ප්‍රජාවගේ පැවැත්ම කෙරෙහි සුවිශේෂ වූ මග සලකුණු තබමින් ඉදිරියට ඇදෙන සෙනසුරු ග්‍රහයාගේ හැරවුම් ලක්ෂ්‍යය වන්නේද කුම්භයයි.

සෙනසුරුගේ සංචරණය තුළ සියලු ජන ප්‍රජාවගේ මානසික මට්ටම් ඉහළ නංවමින් නිවැරදි වූ යථාර්ථය අවබෝධ කොට සදාචාරාත්මක තලයකට යොමු කරවමින් සාමූහිකත්වය සමඟ සහජීවනය ඇති කිරීමට සෙනසුරු ක්‍රියාකරයි. සියලුම ග්‍රහයින්ගේ විකාශනයෙන් නිපදවන පරිසරය ඉක්මවා ක්‍රියාකරන්නට හැකි මනසක් ජන්මීන්ට ලබාදීමට කටයුතු කරන්නේද සෙනසුරු ග්‍රහයාගේම මූලිකත්වයෙන් බව අවධාරණය කෙරේ. ඒ නිසාම ග්‍රහයින් අභිබවා යන්නට සමත් මනසක් මිනිසා සතු බව මින් අවබෝධ වේ.

සෙනසුරුගෙන් ලබාදෙන එම ප්‍රතිලාභ හරහාම අධ්‍යාත්මිකත්වය අමතක කොට ජීවීන්ට පොදු ධර්මතාවයක් වූ අසීමාන්තික ආශාවන් සන්තර්පනය කරන්නට හැකි මනසක් සහිත ජීවීන් උත්සාහ ගැනීම නිසා වල්මත් වූ ඒ මිනිසාට හෝ මිනිස් ජන සමාජයටම දඬුවම් කරන්නට සෙනසුරු ග්‍රහයා කිසිවිටෙක පසුබට නොවේ.

දැන් අප මේ පැමිණ සිටින්නේ සෙනසුරුගේ හැරවුම් ලක්ෂයටයි. එනම් සෙනසුරු ග්‍රහයා කුම්භ රාශියට සංක්‍රමණය වීමට ආසන්නතම අවස්ථාවකටයි. වරදට දැඩි දඬුවම් ලබාදෙන්නට සෙනසුරු ග්‍රහයා සැදී පැහැදී සිටින අවස්ථාවක ආරම්භය මෙය වේ. රට තුළ පරිපාලනය දුෂ්ඨ නම් සහ ජනතාවට දුක් දෙමින් පාලකයින් සුරසැප විඳිමින් රට කරවන්නේ නම්, එයට විපාක ලැබෙනු ඇත. සෙනසුරු මිථුන සහ තුලා රාශි දෙක පසුකර කුම්භ රාශියට පැමිණීමෙන් පිළිබිඹු වන්නේ එම දුර්දාන්ත පාලනයට එරෙහිව අවබෝධයෙන් හා සාමූහික හැඟීමෙන් යුක්තව පාලකයින් පලවා හරින්නට රටෙහි මුළුමහත් ජනතාවම සාමූහිකව පෙළගැස්වීමට කුම්භ රාශියේ සිටින සෙනසුරු ජනතාවට සහය දක්වන බවය.

සෙනසුරු යනු මහා ජනතාවගේ කාරක ග්‍රහයාද වන අතර ලංකාවට අයත් රාශිය වන්නේද කුම්භ රාශිය වීම නිසා සෙනසුරුගේ කුම්භ රාශි ගතවීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනු ඇත.

සෙනසුරු 2023 ජනවාරි 17 වැනදා සවස 06.03ට කුම්භ රාශි ගතවීම අප රටට විශේෂ බලපෑමක් ඇතිවන්නේ කුම්භ රාශිය ලංකාව අයත් ප‍්‍රදේශයට හිමි රාශියක් වන නිසයි.

ඉහත සඳහන් කළ ආකාරයට අනුව බොහෝ දේ අවබෝධකර ගනිමින් සාමූහිකව ජනතාවගේ ක‍්‍රියාකාරකම් ප‍්‍රායෝගික වශයෙන් එළි දක්වන්නට හැකි පරිසරයක් නිර්මාණය කරන්නට කුම්භ රාශිය විසින් සෙනසුරුට අණ කරනු ලැබ ඇත.

2023 ජනවාරි සිට 2025 අප්‍රිෙයල්  දක්වා වූ කාල පරාසය තුළ සැරිසරන සෙනසුරු 2025 අප්‍රිෙයල් මාසයේදී මීන රාශියට යයි. එහිදී අනු වක‍්‍රවීමකින් තොරව සෙනසුරු මීනයේ සංක‍්‍රමණය කොට 2028 පෙබරවාරි මාසයෙදී මේෂ රාශියට යොමු වී එහිදීද අනු වක‍්‍රවීමකින් තොරව ඉදිරි ගමනක යෙදේ. මෙය සෙනසුරුගේ සංක‍්‍රමණයේ දුර්ලභ අවස්ථාවකි. සෙනසුරුගේ මෙම දුර්ලභ අවස්ථාව ආරම්භ කරන්නේ 2023 ජනවාරි 17 වීමෙන් අපේ රටේ දූෂිතයින් පලවා හැර නව මාවතකට යොමුකරන්නට අවශ්‍ය වාතාවරණයක් සකස් කරන්නේ වෙයි. එසේම පාලකයන් පිළිබඳ සලකා බලන විට විශේෂ පරිවර්තනයක් සිදුවීම නියත වේ.

අනු වක‍්‍රවීම යනු කිසියම් රාශියකට ඇතුළු වන සෙනසුරු ටික කලක දී වක‍්‍ර වී නැවත කලින් සිටි රාශියට පැමිණීමයි. ඒ අනුව 2022 වර්ෂයේ 30 දින කුම්භ රාශියට ප‍්‍රවිශ්ඨ වූ සෙනසුරු ජූනි 4 වැනි දින වක‍්‍රවී ජූලි 12 වැනිදා නැවත මකර රාශියට සංක‍්‍රමණය වීම නිසා අතිශය භයානක උපද්‍රව රාශියක් ගෙනදුනි. එයින් පසු නැවත වසර 12ක් පමණ යනතෙක් සෙනසුරුගේ අනු වක‍්‍රවීමක් සිදුවන්නේ නැති බව පෙනී යයි.

මෙවැනි දුර්ලභ වූ අවස්ථාවක් මින් පෙර ඇතිවූවා නම් ඒ 1937 දෙසැම්බර් 06 වෙනිදා සිටය. එහිදීද කුම්භ රාශියෙන් ආරම්භ වී 1941 වර්ෂය දක්වා වූ කාල පරාසය අප රට මුහුණ පෑ ආකාරය කෙසේද යන්න විමසා බැලීම සුදුසු වේ.

1945 අප්‍රිෙයල් 23දා මිථුන රාශි ගතවීම තුළද එවැනි වූ තත්ත්වයක් උදාවිය. එයද වායුමය රාශියකි. එතැන් පටන් අනු වක‍්‍රවීමකින් තොරව වසර කිහිපයක් යනතෙක් පැවති ඒ දුර්ලභ වූ සෙනසුරු ගමන නිසා දෙවැනි ලෝක මහා සංග‍්‍රාමයද ඇතිවිය. දැන් අප මේ අවතීර්ණ වනුයේ ඉතාමත් තීරණාත්මක වූ අවධියකටයි. ඉතිහාසයේ සිදුවූ යම් සිදුවීමක් නැවත ඒ ආකාරයෙන්ම සිදුවන්නේද නැති බව කිව යුතුය.

ඒ නිසාම විශේෂයෙන් ඉදිරිය අප රටට යහපත් කාලයක් උදාකරගන්නට සෙනසුරු විසින් කිසියම් ශක්තියක් රටවැසියාට ලබාදෙනුයේ වරදට දඬුවම් දෙන ස්වරූපයෙන් හා මහජනතාවගේ කාරක ග‍්‍රහයා සෙනසුරු වීම නිසාවෙනි. එයට පෙර සිදුවන වෙනස්කම් බහුලය. එහි නිසි ඵල නෙලා ගන්නට සමත් බුද්ධියක් ජනතාව සතු නම් ඒ උදාර වූ හැරවුම් ලක්ෂය ඉදිරි මාස කිහිපය තුළ අතිශය තීරණාත්මක වනු ඇත.

සෙනසුරු මාරුව ලග්න දොළහට බලපාන අයුරු මෙලෙස සංක්ෂිප්තයෙන් දක්වමි.


● මේෂ - 
ඉලක්ක සපුරා ගනී
මේෂ ලග්න හිමි ඔබට සෙනසුරු 11 වැන්නේ සංක‍්‍රමණය වීම නිසා ඔබගේ ආදායම අනපේක්ෂිත ආකාරයෙන් වර්ධනය වීමක් පෙන්වයි. මෙතෙක් දැරූ සියලු උත්සාහ මල්ඵල ගන්වන්නට හැකිවනු ඇති අතර නිම නොකළ ඉලක්ක සපුරාගන්නට හැකිවනු ඇත. සෞඛ්‍ය ගැටලුවලට මුහුණපාන්නට සිදුවන බැවින් ඒ ගැන සැලකිලිමත් වූ විට ඒ අවදානම පහව යනු ඇත.

● වෘෂභ - 
කාර්ය බහුල වේ
උත්සාහ කරන බොහෝ දේ සාර්ථක වනු ඇත. කාර්ය බහුලකම නිසා තම භාර්යාව හෝ ස්වාමිපුරුෂයා ගැන යොමුවන කාලය අඩුවනු ඇති බැවින් ඒ ගැන අවධානය යොමු කරන්න. පවුලේ ගැටලු පිළිබඳ වැඩි අවධානය යොමුකර ඒ පිළිබඳ පියවර ගැනීම ඔබට වැදගත් වේ.

● මිථුන - 
පියාගේ සෞඛ්‍ය පිරිහේ
ණයවලින් මිදිය හැකි කාලයක් උදාවෙයි. එසේම බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන්නට සිදුවෙයි. එමෙන්ම එම මහන්සියේ සාර්ථක ප‍්‍රතිඵල ලබාගැනීමටද හැකිවනු ඇත. පවුලේ සාමාජිකයන් ගැන අවධානය යොමුකළ යුතු අතර පියාගේ සෞඛ්‍ය තත්වය ගැන වඩාත් සැලකිලිමත් වන්න. ධනය වර්ධනය වේ.

● කටක - 
ලාභ වැඩිවේ
ඔබේ ව්‍යාපාර කටයුතුවලදී සහ සිදුකරන ක්‍රියාවලදී අනපේක්ෂිතව ලාබ ලැබිම් ඇතිකරයි. එහෙත් බුද්ධිමත්ව සිතා බලා ඒවායින් ඇතිවන ගැටලු කෙරෙහි යොමුවන්න. පෙම් සබඳතා පළුදු විය හැකියි. දරුවන් සිටින අය ඔවුන් ගැන වැඩි අවධානයක් යොදවන්න. පවුලේ ප්‍රශ්නවලට පිළියම් යෙදීම මැනැවි.

● සිංහ -
විවාහය ස්ථීර වේ.
සෞඛ්‍ය ගැන නොසලකා හැරීම නිසා කරදර රාශියක් අත්විඳින්නට සිදුවෙයි. එහෙයින් ඒ ගැන සැලිකිලිමත් වන්න. විවාහය සම්බන්ධව ස්ථාවරත්වයක් ගොඩනැගෙනු ඇත. මෙතෙක් ගැටලුකාරීව තිබුණු පවුල් ප්‍රශ්න සමථයකට පත්වෙනවා ඇත. කෙසේ වුවද තීරණ ගැනීමේදී දෙවරක් සිතීම මැනවි.

● කන්‍යා - 
සතුරන් පරදී
රැකියා ස්ථානයේදී ඔබ ශක්තිමත් අයෙකු බවට පත්වේ. මූල්‍ය තත්ත්වය ස්ථාවර කරගැනීම සඳහා දැඩි වෙහෙසක් දරන්නට සිදුවෙයි. එය ශාරීරික වශයෙන් පීඩාකාරී වීමකට හේතුවක්ද වෙයි. සතුරු කුමන්ත‍්‍රණ පරදා ජය අත්කර දෙයි. ණය වීමෙන් වැළකී සිටින්න. ලැබෙන ධනය නිසි ලෙස කළමනාකරණය කිරීම වැදගත්ය.

● තුලා - 
සුන්දර බැඳීම් ඇතිවේ. 
අවංකකම හා එකිනෙකාට දක්වන කැපවීම හරහා සහකරු හෝ සහකාරිය සමඟ සුන්දර වූ බැඳීමක් ඇතිකරයි. අධ්‍යාපනයේ නියුතු සිසු දරුවන් ඒ මත රැඳී කටයුතු කරන්නේ නම් එහිදී සාර්ථක ප්‍රතිඵල ලබන්නට හැකි වේ. පෙම් සබඳතාවලට අහිතකර බලපෑම් ඇතිකරන නමුත් ඇතැම් විට සමහර අයගේ පෙම් සබඳතා විවාහයට මඟ පාදනු ඇත.


වෘශ්චික - 
පවුල විරසක වෙයි

මානසික පීඩාවන් ඇතිකරයි. පදිංචි ස්ථානය පිළිබඳව ගැටලු පැනනැගෙන අතර තම පවුල සමඟ විරසකවීම් ගෙන දෙයි. මෙම කාලය තුළ පවුලේ සාමාජිකයන් සමඟ යහපත් සුහද සම්බන්ධතාවයක් ගොඩනගා ගන්නේ නම් ඔබව දවන මානසික පීඩා අවම කිරීම සඳහා ඒ අයගේ නොමඳ සහය ලැබෙනු ඇත. තීරණ ගැනීමේදී වඩාත් සිතන්න.

● ධනු - 
ජයග්‍රහණ හිමි වේ

නිර්භීතකම තුළින් ධෛර්ය ශක්තිය වර්ධනය චේ. වෘත්තියේ හෝ ව්‍යාපාර‍යේ අවදානම් අභියෝගයන් භාර ගැනීමෙන් ඔබට වෘත්තිමය වශයෙන් බොහෝ ජයග‍්‍රහණ අත්වනු ඇත. වෙහෙස නොබලා මහන්සි වී වැඩකළ හැකි නම් විශේෂ ජයග‍්‍රහණ හිමිවනු ඇත. ඔබ ගන්නා විවිධ උත්සාහයන් පවා පිළිගැනීමකට ලක් වේ.

 

● මකර - 
පිළිගැනීමට ලක්වේ

තමා කළ කැපකිරීම්වලින් සාර්ථක ප‍්‍රතිඵල අත්වනු ඇත. මූල්‍ය තත්ත්වය වර්ධනය වේ. සමාජ ස්ථාවරයද විශිෂ්ට වනු ඇත. බාහිර අය තුළ තමන් පිළිගැනීමට ලක් වේ. යහපත් සමාජ තත්ත්වයක් ගොඩනගා ගැනීමට හැකිවනවා ඇත. කාගේත් පිළිගැනීමට ලක්වේ.

● කුම්භ -
රැකියා ආලය සීමාව ඉක්මවයි

පෞරුෂය වර්ධනය වේ. වෘත්තියට දක්වන බැඳීම සීමාව ඉක්මවා යෑම නිසා පවුල කෙරෙහි ඇති අවධානය දුරස්වනු ඇත. ව්‍යාපාරය තුළ හෝ රැකියාව තුළ ස්ථාවරත්වයක් ලබාදෙනු ඇත. ඔබේ සම්බන්ධතාවල අන්‍යොන්‍ය සමගිය හා විශ්වාසය පවත්වාගෙන යෑම කෙරෙහි දැඩි අවධානයකට යොමු කළ යුතු කාලයකි.

● මීන - 
ඇස්වල ආබාධ හටගනී.

සෞඛ්‍යය ගැන වැඩි අවධානයකට යොමුවිය යුතු කාලයකි. පාදයේ සහ ඇස්වල ආබාධ ඇතිවිය හැකි බැවින් ඒ ගැන සැලකිලිමත් වන්න. සිරුර වෙහෙසා කරන වැඩවලින් වැළකී සිටීම යහපත් වේ. පවුලේ අයගේ හැසිරීම් ගැන සංවේදී වන්න.

ජ්‍යොතිෂ විඥානාචාර්ය පණ්ඩිත් සාමවිනිසුරු, වෛද්‍ය
ඩබ්ලිව්. තිලක් ද සිල්වා