2022 නොවැම්බර් 20 වන ඉරිදා

පරණ නොවන විහිළු කතා

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 320

ලෝකයේ හාස්‍ය කතා සාහිත්‍යය පිළිබඳව කළ සමීක්ෂණයකදී වාර්තා වූ අන්දමට, වැඩිපුරම හාස්‍යයට ලක්වී ඇත්තේ දේශපාලනඥයන්ය. දෙවැනුව නීතිඥයන්, වෛද්‍යවරුන් වැනි වෘත්තිකයන්ය. පුදුමයකට මෙන්, ඊළඟට හාස්‍යයට ලක්වී ඇත්තේ දෙවි දේවතාවුන්ය. මේ අපි වැනි "සිම්පල් සයිමන්"ලා නොහොත් සාමාන්‍ය මිනිසුන් හාස්‍යයට ලක්ව ඇත්තේ ඒ සියලුදෙනාට පසුවය. එහෙත්, විශේෂ කාරණයක් වන්නේ, හාස්‍ය කතාවල නිර්මාතෘවරුන් වන්නේද එකී සාමාන්‍ය ජනයාම වීමය.

රටක් පාලනය කිරීමට නැතහොත් ඉදිරියට ගෙන යාමට සිටින දේශපාලනඥයන් ජෝකර්ලා බවට පත්වීම මෙන්ම පත් කරලීම නම්, සරල විහිළුවක් නොව බරපතළ කාරණයකි.

ලෝකයේ හාස්‍ය කතා නිර්මාණය වන්නට පටන් ගත්තේ, මිනිසා කතාබහ කරන්නට පටන් ගත් දා සිටමය. ජනකතා, උපමා කතා, බණ කතා හා සිනා කතා යනාදී වශයෙන් පටන් ගැනුණු කතන්දර ලේඛනගත වන්නේ, වසර සිය දහස් ගණනකට පසුවය.
එතෙක් ඒවා පැවතියේ මුඛ පරම්පරාගතව නොහොත් කටින් කටට යමිනි. රටින් රටට එද්දී ඒ කතා ඒ ඒ රටවලට ගැලපෙන සේ වෙනස් වුණි.

ලෝකයේ මුල්ම, විහිළු කතා එකතුව ලෙස සැළකෙන්නේ, 4 හෝ 5 වැනි සියවසට අයත්, "පිලෝජිලස්" (Philogelos) ය. එහි අරුත "විහිළුකාරයා" නැතහොත් හාස්‍ය ප්‍රිය පුද්ගලයා ය. එකල ග්‍රීකයේ පැවති විහිළු කතා 265ක් ඊට ඇතුළත්ය.
එහි එන එක් කතාවකි මේ. 

කඩපොළේදී මිතුරෝ දෙදෙනෙක් මුණ ගැසෙති. එක් අයෙක් දැක විස්මයට පත්වන අනෙකා මෙසේ කියයි. 

"හරි පුදුමයිනෙ! මට යාළුවෙක් කිව්වනෙ තමුසෙ මළා කියලා."

එවිට, දෙවැන්නා සිනා සී මෙසේ පවසයි. 

"ඒක වෙන්න බෑනෙ... තමුසෙට දැන් පේනවනෙ මම පණපිටින් කියලා."

මොහොතක් කල්පනා කරන අනෙකා මෙසේ පිළිතුරු දෙයි.

"ඒ වුණාට මට තමුසෙට වඩා ඒ යාළුවා විශ්වාසයි..."

ලෝකයේ පැරණිම විහිළු පොතින් ගත් තවත් කතාවකි මේ.

මෝඩ මිනිසෙක් තවකෙක් සමඟ ගමනක් යමින් සිටින අතර, තම ගමේ වෛද්‍යවරයා ඈතින් එනු දැක වහා සැඟවෙයි. අනෙකා පුදුම වී මෙසේ අසයි.

"ඇයි... දොස්තරත් එක්ක ප්‍රශ්නයක්ද?"

"නෑ... නෑ.... මට හුඟ කාලෙකින් ලෙඩක් හැදුණෙ නෑ... මිනිහ තරහවෙලාද දන්නෑ..."

මෙම කතා එකතුවේ බොහෝ කතා තුළින් හාස්‍යය මතු කෙරෙන්නේ මෝඩ පුද්ගලයකු දෙන පිළිතුරු තුළිනි.

නගරය මැදින් ගමන් කරන අවමඟුල් පෙරහරවල් දකින අයෙක්, පසෙක සිටින්නකු වෙත ළංව මෙසේ අසයි.

"කවුද මැරිල තියෙන්නේ?"

"අර පෙට්ටිය ඇතුළෙ ඉන්න හාදයා..."

මෝඩ පුද්ගලයෙක් මුහුදේ නාමින් සිටින අතර වැස්සක් කඩා හැළෙයි. ඉන් නොතෙමී සිටීමට සිතන අර පුද්ගලයා වහාම දිය යට කිමිදෙයි.

ලෝකයේ පැරණිම විහිළුවලින් පවා පෙනී යන්නේ, විහිළු පරණ නොවන බවය.

දෙව්ලොව මෙන්ම අපායද විහිළු කතාවල එන ජනප්‍රිය ස්ථාන දෙකකි.

90 හැවිරිදි පුද්ගලයෙක් මියගොස් දෙව්ලොව උපත ලැබුවේය. ඊට මඳ කලකට පසු, 90 හැවිරිදි කාන්තාවක්ද මියගොස්, දෙව්ලොව උපන්නේය. මේ දෙදෙනා අතර, ප්‍රේම සම්බන්ධයක් ඇතිවුණි. විවාහ වීමට තීරණය කළ ඔවුහු මංගල කටයුතු භාර දෙවියා හමුවන්නට ගියහ.

"සාක්කියට දෙන්නෙක් ඉන්නවද?"දෙවියා ඇසීය.

"අපි එහෙ ඉද්දි සමාජයේ වැදගත් උදවිය. ඒ නිසා හිටපු ජනාධිපතිවරු දෙන්නෙක් හොයාගන්න පුළුවන් නම් හොඳයි."

"අපොයි.... ඒ ගොල්ලො මෙහෙ එන්නෙ නෑනෙ..."

ඉන්පසු සාමාන්‍ය දෙවිවරුන් දෙදෙනෙකු සාක්ෂියට යොදාගෙන, විවාහය ලියාපදිංචි කෙරුණි. දෙදෙනාම ඔවුන්ගේ දසවැනි විවාහ සංවත්සරයට ළඟා වෙද්දී, විවාහ ජීවිතය ගැන කළකිරී, දික්කසාද වීමට තීරණය කර, මංගල කටයුතු දෙවියා හමුවට ගියහ.
"ඒකට නං ලොකු වියදමක් යයි" දෙවියා කීය.

"ඇයි ඒ?"

"මෙහෙ ලෝයර්ස්ලා නෑනෙ. අපායෙන් තමයි කෙනෙක් ගෙන්න ගන්න වෙන්නේ."

- කපිල කුමාර කාලිංග

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00