2022 ජනවාරි 08 වන සෙනසුරාදා

බුද්ධිගේ සමීප රූප

 2022 ජනවාරි 08 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 146

බුද්ධදාස ගලප්පත්තිගේ තීරු ලිපි රචනා ඔහුගේ කවි මෙන්ම රස වෑහේ. ඒවා විචාරාත්මකය. එමෙන්ම සජීවිය. සමහරවිට හැඟීම්බරය. එවන් තවත් තීරු ලිපි සමුච්චයක් වන සමීප රූප පසුගියදා නුගේගොඩ සරසවි ප්‍රකාශනයක් ලෙස නිකුත් විය. තීරු ලිපි සංග්‍රහ වෙනුවෙන් සම්මාන කිහිපයක් ද ලබා සිටින ගලප්පත්තිගේ සමීප රූප ගැන ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය සෙනේස් දිසානායක බණ්ඩාර (ඔහුගේ කෘතියට පසුවදනක් සපයමින්) මෙසේ සඳහන් කර තිබේ. ''2015 වර්ෂයේ සිට සිළුමිණ රසඳුන අතිරේකයට ඔහු විසින් සැපයූ සමීප රූප තීරු ලිපි අතරින් තෝරාගත් සමුච්චයක් පමණක් මේ සංග්‍රහයට ඇතුළත්ය. මේ සමීප රූපාවලියෙන් අදාළ විෂය කෙරෙහි රචකයාගේ විචාරශීලී දෘෂ්ටිය මගින් තත්කාලීන කලා ලෝකයේ හා සමාජ සංස්කෘතික දේශපාලන සන්දර්භයේ හරස්කඩක් පාඨකයාට දැකගත හැකිය. මෙම තීරු ලිපි රචනා නිර්මාණාත්මක සන්නිවේදන ගුණයෙන් යුතුය.'' සාහිත්‍යය, සිනමාව, වේදිකාව, ටෙලිවිෂන් මාධ්‍ය, සංගීතය, සංස්කෘතිය, ජනමාධ්‍ය ආදී සෞන්දර්යාත්මක විෂය මතු නොව, සමාජයීය හා දේශපාලන සංසිද්ධීන් පිළිබඳව ද රචකයාගේ නිරීක්‍ෂණාක්‍ෂිය යොමු වූ තීරු ලිපි මාලාවක් සමීප රුප අතර වේ. ඒවා ඔහුටම අනන්‍ය නිර්මාණශීලී කාව්‍යාත්මක බසකින් ප‍්‍රතිනිර්මාණය වීම බුද්ධදාස ගලප්පත්තිගේ තීරු ලිපි රචනා කලාවෙහි කැපීපෙනෙන වෙසෙස් ගුණය වේ.''

තීරු ලිපි රචනා කර ඇත්තේ ඉන්ද්‍රචාප නම් ආරූඪ නාමයෙනි. ලියූ තීරු ලිපි අතර සිනමාවට සම්බන්ධ ලිපි ගණනාවකි. වැලිකතර දෙවැනි ඉනිම, හෝ ගානා පොකුණේ සමීප රූප 18ක්, නිළි රුජින මාලිනී, විමල් කුමාර් ද කොස්තා, බයිස්කෝප් ඉතිහාස කතා පොත, සම්මාන සහ අවමාන ඒ අතරින් ලිපි කිහිපයක් පමණි. 

සංගීත ක්ෂේත්‍රය නියෝජනය කරන මහැදුරුය. ඔහු කුලපතිය. ඔහු කලා සරසවියේ, සිහිල් සුළං රැල්ලක් සේ හද ගිම් නිවනා මිහිරි ස්වරය යන ලිපිද්වය සංගීත මිහිර මතු කිරීමට සමත් රචනා වේ. මේ අතරින් පළමුවැන්න මහාචාර්ය සනත් නන්දසිරි පිළිබඳව වූවක් වන අතර දෙවැනි ලිපිය ආචාර්ය වික්ටර් රත්නායකයන් ගැන ලියූවකි.

සොක්‍රටීස් නැතුවම බෑ, මනමේට 58යි මෙන්ම රාජිත දිසානායක පිළිබඳව කළ කතා බහ ද නාට්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන ලිපි දෙකක් පමණි. මහාචාර්ය විමල් දිසානායක ගැන මෙන්ම ආචාර්ය අමරදේව ගැන ද ඉන්ද්‍රචාප සිය පෑනෙන් රසවත් රචනා ලියයි. ඔහු කෘතියේ අවසන් ලිපිය සේ තෝරාගෙන ඇත්තේ මහාචාර්ය සුනිල් ආරියරත්න ජයවර්ධනපුර සරසවියෙන් ඉසිඹුලත් තේමාව සහිත ලිපියයි. එය ඉන්ද්‍රචාපට හැඟුම්බර අවස්ථාවකි (ඉන්ද්‍රචාප ද එම සරසරවියේම විද්‍යාර්ථියෙකි). මෙහි ඇතුළත් ලිපි 45ම විවිධ රසභාව කලතනා තේමා ඔස්සේ රචනා වීම කතුවරයාගේ ශූරත්වය හෙළි කරයි. 

 පාඨක