2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

විෂ්ණු වාසුගේ කාව්‍යාත්මක අම්මා

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 148

ඔබ කළ වරද මෙනෙහි කරන්නට, ඔබ කළ වරදින් මිදෙන්නට, ඔබට ජීවිතය අලුත් කර ගන්නට මනුෂ්‍යත්වයේ නාමයෙන් මම ඔබට සමාව දෙමි. නහී වේරේන වේරාණී යන බුදුවදන සිහිපත් කරවන මෙම ප්‍රකාශය එක්තරා ගැමි කාන්තාවක විසින් කරන ලද ප්‍රකාශයකි මෙරට පැවැති සිවිල් යුද්ධය උත්සන්න කාලයේ, තමන්ගේ ස්වාමිපුරුෂයාව පැහැරගෙන ගොස් දස වද දී මරාදැමූ එල්.ටී.ටී.ඊ සාමාජිකයාට විරුද්ධව වවුනියාව මහාධිකරණය තුළ විභාග වෙමින් පැවැති නඩුවේදී, 2014 අගෝස්තු 26 දින විනිශ්චයකාරවරයා අමතා තමන්ට වරද කළ අයට සමාව දී නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ ශ්‍රේෂ්ඨ මාතාවක වන පුංචිරාළගේ නන්දාවතී මහත්මිය විසිනි. 

යකාවැව, නිකවැව, විහාරහල්මිල්ලෑව වැනි ගම්මාන පිහිටා ඇත්තේ වවුනියාවේ සිට කිලෝමීටර 30 ගණනක් පමණ ඈතිනි. මේ ගම්මානවල අහිංසක වැසියෝ නිරන්තරයෙන්ම එල්.ටී.ටී.ඊ. ප්‍රචණ්ඩත්වයෙන් බැට කෑ පිරිසක් වූහ. 2006 ජුනි මාසයේ 15 දින හිමිදිරියේම යකාවැව ගම්මානයෙන් පිටත්වූ බස් රථයට කොටි සාමාජිකයෝ බෝම්බයක් ඇටෙවුවෝය. එකම ගමේ 69 දෙනකුට එම බෝම්බයෙන් දිවි අහිමි විය. මෙම සිදුවීමෙන් වසර 15ක් ගෙවෙන තැන විෂ්ණු වාසු නමැති ශ්‍රී ලාංකේය වාර්තා චිත්‍රපට නිර්මාණකරුවා එම ගම්මානය වෙත යන්නේ ඔවුන්ගේ කතාව යළි සිහිපත් කිරීමටය. ඔහුට හමුවුණු පුංචිරාළගේ නන්දාවතී මාතාවගේ කතාව සුවිශේෂී එකක් විය. විෂ්ණුවාසුගේ නවතම වාර්තා චිත්‍රපටය වන &අම්මා* නිර්මාණය වන්නේ නන්දාවතී මාතාව සහ ඇයගේ දරු තිදෙනා කේන්ද්‍රකර ගනිමිනි.

විනාඩි 30කට ආසන්න කාලයක් පුරා විහිද යන නන්දාවතී අම්මාගේ කතාව සාර්ථක වාර්තා චිත්‍රපටයක් ලෙස අප වෙත සමීප වන්නේ අධ්‍යක්ෂවරයාගේ නිර්මාණාත්මක හැකියාව ප්‍රකට කරමිනි. සිනමාපටයේ පසුබිමින් ගැයෙන යශෝධරාවතේ කවිපද තුළින් නන්දාවතී අම්මාගේ සිතෙහි පැනනැඟෙන හිමි භක්තිය තීව්‍ර කරන්නට විෂ්ණු සමත් වෙයි.

යකාවැව පාසලේ පස්වැනි පන්තිය දක්වා උගත් නන්දාවතී, 1982 රණසිංහගේ ප්‍රේමචන්ද්‍ර සමඟ විවාහ වුවාය. ඇගේ සැමියාගේ වෘත්තිය වූයේ ගොවිතැන හා කුලී වැඩය. දරු තිදෙනකුගේ මවක වූ ඇයගේ ජීවිතයට කණකොකා හැඬුවේ 1994 මාර්තු මාසයේ 20දාය. එදින කුඹුරට ගිය ප්‍රේමචන්ද්‍ර යළි කිසි දිනෙක නිවෙසට ආවේ නැත. ඔහු ගැන සොයා බැලූ නන්දාවතීට දැනගත හැකිවූයේ තම සැමියා අතුරුදන්ව ඇති බවය. එහෙත් ඔහුට වූයේ කුමක්දැයි කිසිවකු දැන සිටියේ නැත. ඔහුත් සමඟ ගමේ තවත් දෙදෙනකු එදින අතුරුදන්ව සිටියහ. කුඩා දරු තිදෙනකු සමඟ අසරණ වූ 30 හැවිරිදි නන්දාවතී තම සැමියාට සිදුවූයේ කුමක්දැයි සොයමින් හැඬූ කඳුළින් ගතකළාය.
සැමියාගේ වියෝවෙන් පසු තම මවුපියන් සමඟ කෙටි කලක් ජීවත් වුවද ඔවුනට බරක් වන්නට ඇය නොකැමති වූවාය. කුලියක් මලියක් කරමින් දරු තිදෙනාගේ කුස පිරවූ ඇය නිරාහාරව නිදි ගත් රාත්‍රින් අපමණ විය. දර ඉපලක් සේ වියළී ගිය ඇගේ ජීවිතය ඉතා කටුක විය. ඇය වැස්සට තෙමුණාය. අව්වට වේලුණාය යකාවැව බස් බෝම්බයත් සමඟ ඇයටත් දරු තිදෙනාටත් ජීවත් වන්නට සිදු වූයේ අනාථ කඳවුරකය. පසුව රජයෙන් ලද සුළු මුදලකින් තමා විසින්ම ගඩොල් කපා කාමර දෙකක කුඩා නිවසක් තනාගත් ඇය දරු තිදෙනා සමඟ එහි ජීවත් වූවාය.

ප්‍රේමචන්ද්‍රට සිදුවූයේ කුමක්දැයි අනාවරණ වූයේ ඔහු අතුරුදන්ව විසි වසරකට පසුවය. ඒ ඔහු මරාදැමූ කොටි ත්‍රස්තවාදියා අත්අඩංගුවට පත්වීමෙනි. ඔහුට එරෙහිව නඩු පවරා ඇති බවත් උසාවියට පැමිණ සාක්ෂි ලබා දෙන ලෙසටත් නන්දාවතී අම්මාට පොලිසියෙන් දැනුම්දීමක් ලැබිණි. එහෙත් තම සැමියා මරා දැමූවන්ට එරෙහිව නඩු කියුවද තම සැමියා යළි නොඑන බව ඇයගේත් දරුවන්ගේත් අදහස විය. මහාධිකරණයේදී ඇය සාක්ෂි කූඩුවේ සිටියදී විත්ති කූඩුවේ ඇගේ සැමියාගේ ඝාතකයා සිටගෙන සිටියේය. තම ජිවිතයම අගාධයට දැමූ පුද්ගලයාට වෛර කර තම සසර ගමන තවත් දගු කර ගැනීමට ඇයට අවශ්‍ය නොවීය. ඔහුට සමාව දෙන ලෙස ඇය විනිශ්චයකාරවරයාගෙන් ඉල්ලා සිටියාය. බුදු බණේ කියවෙන කර්මය විශ්වාස කරන නන්දාවතී අම්මා තමාට මෙවන් ඉරණමකට මුහුණ පාන්නට සිදුවූයේ පෙර ආත්මයක කළ අකුසලයක් නිසා යැයි සිතන්නීය.

වාර්තා චිත්‍රපටයක් වුවද  ඔහු යොදා ගන්නා ඇතැම් රෑපරාමු, උපමා, උපමේය සංකේත තුළින් ජීවිතය පිළිබඳ ගැඹුරු දහමක් ප්‍රකාශ වෙයි. නිර්මාණය තුළින් තම මතවාද ඉදිරිපත් නොකරන විෂ්ණු, නන්දාවතී අම්මාගේ හා ඇගේ දරුවන්ගේ හදවතේ දෝංකාරය අපට අසන්නට සලස්වයි. සිනමාපටය නරඹන ඕනෑම කෙනෙකුගේ නෙතට කඳුලක්  උනන්නට සමත් වන්නේ  මෙය ප්‍රබන්ධයක් නොව සත්‍ය සිදුවීමක් බැවිනි.  ගාන්ධිගේ දරුවෝ, බටර්ෆ්ලයි, හෑන්ඩ්ෆුල් ඔෆ් ලීව්ස්, ලව් ඉන් ද ඒජ් ඔෆ් කොරෝනා, ස්ලීප් වෙල්, වැනි වාර්තා චිත්‍රපට නිර්මාණය කළ විෂ්ණු වාසු ඒ හැම චිත්‍රපටයක් තුළින්ම මිනිස් ජීවිතයේ එක්තරා පැතිකඩක් විවරණය කරන්නට සමත් වූ අතර අම්මා චිත්‍රපටය අප හදවත් වඩාත් කම්පනය කළ නිර්මාණය යැයි මගේ හැඟීමයි.

චිත්‍රපටය පුරාම යටිපෙළක් සේ දිවයන්නේ  එසමයේ මායිම් ගම්මානවල වැසියන්ගේ ශෝකාන්තයයි. කොටි තර්ජන නිමා වුවද එම ගම්මාන අදටත් පවතින්නේ අඳුරේය. යූ ටියුබ් නාලිකාව හරහා දැන් මේ චිත්‍රපටය නැරබීමට පුළුවන්.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 02:00