2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා

පැන්ඩෝරාගේ පෙට්ටිය

 2021 ඔක්තෝබර් 09 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 125

හැංගි හැංගි වෙස් බැන්දත්, නටන්ඩ වෙන්නේ එළියේ යැයි කියමනක් ඇත. මේවා කට කහනවාට කියූ කතාද නොවේ. යනකොට ගෙනියැන්නැයි සිතා ගෙනා දේ, හොර පෙට්ටගම්වල,  නෝට්ටු මිටි ගොඩ ගසා හඳුන්කූරු අල්ලමින් සිටි සුරුට්ටු මුදලාලිගේ සිට ලොකු ලොකු රේන්දරාළලා ද, එලෝ ගියේ තඹේ අතේ නැතිවය. කණේ කරේ රත්තරන් කිලෝ ගණන් එල්ලාගෙන සිටි ළමාතැනීලාට, වලව්වේ හාමුලාට අන්තිමේට ඉතිරිවුණේ, එම්බාම්කාරයා නහයේ ඔබන පුළුන් ගුලි පමණි.

අද අපට මේ පසුබිම් කථනය කරන්නට සිතුණේ මේ දිනවල ලෝකය පුරා කතාබහ කෙරෙන පැන්ඩෝරා පත්‍රිකා නොහොත්, කළු සල්ලි සෙල්ලම් නොහොත් බ්ලැක් මනී ගේම්ස් නිසාය. සියල්ලන්ටම කලින්, කෙටියෙන් හෝ පැන්ඩෝරා පෙට්ටියේ කතාව කිව යුතුය. මෙය පැරණි ග්‍රීක ජනකතාවකි.

ගින්නට අධිපති දෙවියා වන හිෆෙයිස්ටස්, තමන්ගේ අධිපති දෙවියා වූ සියුස්ගේ අණ පරිදි ස්ත්‍රියක මවා ඇයට, පැන්ඩෝරා යැයි නම් තැබුවේය. ඉන්පසු ඇය අතට පෙට්ටියක් සහ  එහි යතුරද බාර දී මෙසේ කීවේය.
&ඔබ දැන් මෙයත් රුගෙන මනුෂ්‍ය ලෝකයට යා යුතුයි. කිසිම විටෙක මේ පෙට්ටිය විවෘත කරන්න එපා. ඔබ විවාහ වූ දිනෙක ඔය යතුර සැමියා අතට දෙන්න.

මිනිස් ලොවට ගොස් විවාහ වූ පැන්ඩෝරා සියුස් දෙවියාගේ නියෝගය අකුරටම ඉෂ්ට කළාය. ඇගේ සැමියා ඒ පෙට්ටියත් යතුරත් ගබඩා කාමරයක දැමුවේය. ඉන්පසු දෙදෙනාටම ඒ ගැන කල්පනා වූයේද නැත.
කලකට පසු සැමියට කිසියම් වැඩකට දුරබැහැර යාමට සිදුවිය. තනිකමින් කාන්සියෙන් සිටි පැන්ඩෝරාට තමා ගෙන ආ පෙට්ටිය මතක් විය. ඇය එය වෙත ගියාය. එවිටම පෙට්ටිය තුළින් හඬක් නැගුණි.
&අනේ අපිව එළියට ගන්න. අපිව බේරාගන්න.* අනුකම්පා සිතුණු පැන්ඩෝරා, සියුස් දෙවියාගේ නියමය අමතක කර යතුර ගෙන පෙට්ටිය ඇරියාය.

එසැණින් කෘමීන් රාශියක් පිටතට පැන පැන්ඩෝරාවද සපා කමින් පළා යන්නට වින. එතැන් සිට පැන්ඩෝරාගේ මනස වෙනස් වන්නට විය. කෝපය, ඊර්ෂ්‍යාව වැනි දුර්ගුණ ඈ තුළ පහළ වී සිතේ සැනසීම නැති විය.
ටික දිනකින් යළිත් පෙට්ටිය තුළින් හඬක් නැගුණි. පැන්ඩෝරා දෙවැනි වරටත් එය විවර කළාය. එවට පිටතට ආවේ දෙවඟනකි. ඇය පැන්ඩෝරාට මෙසේ කීවාය.
&සියුස් දෙවියා කෘමීන්ගේ වේශයෙන් මේ පෙට්ටිය තුළට දැමුවේ මිනිස් වර්ගයාට පීඩාවක් වන දේවල්. ලෙඩ දුක්, වෛරය, වසංගත, තණ්හාව, යුද්ධය වැනි දේවල්... මෙතැන් සිට ඒ සියල්ල ලෝකය පුරා පැතිරෙනු ඇති.
ලෝකයට කරදර ගෙනෙන පෙට්ටියට පැන්ඩෝරාගේ නම වැටුණේ ඔන්න ඔහොමය.

කළු සල්ලිකාර ලෝක නායකයන් 35 දෙනකුගේත්, බිලියනපතියන් සිය දෙනෙකුගේත් නම් සඳහන් වුණු &පැන්ඩෝරා පත්‍රිකාවන්ට,* ඒ නම යෙදුණේ ජාත්‍යන්තර විමර්ශන මාධ්‍යවේදීන්ගේ සමුළුවකදීය.
හදිස්සියකට ඩොලරයක් සපයා ගැනීමට නැති සිරිලංකාවේ කීප දෙනෙකුගේත් නම් ගම් ඒ පත්‍රිකාවට ගෑවී තිබීම එක් අතකට නම්බුවකි. සිරිලංකා වාසීන්ද, ලෝකයා හිතන තරමට හිඟන්නුන් නොවන බව එයින් ඔප්පුවන නිසාය.

මෙහි නරක පැත්තක්ද ඇත. බංග්ලාදේශය වැනි රටවල් සිරිලංකාව තමන් ගොනාට ඇන්දවූවා යැයි සිතා කුපිතව දුන් ලෝන් ආපසු ඉල්ලන්නට ඉඩ ඇති නිසාය. පත්‍රිකාවේ ඇති නම් ගම් හා මුදල් සංචිත දකින, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඇත්තන් පවා අන්ද මන්ද වීමට ඉඩ ඇත. සිරිලංකාව තුන්වැනි ලෝකයේ රටක් ලෙස පෙනී සිටිමින් දිළිඳු කබාය හැඳගෙන සිටින්නේ බොරුවට යැයි ඔවුන් සිතනු ඇත.

පැන්ඩෝරා ලැයිස්තුවේ සිටින්නේ දේශපාලන නායකයන්, ව්‍යාපාරිකයන් පමණක් නොවේ. සචින් තෙන්ඩුල්කාර්, ගායිකා ශකීරා, චිත්‍රපට නළු ජැකී ෂෙරෝෆ් ආදීහුද ඒ අතර වෙති. බලාගෙන යනකොට මේ කවුරුත් අපි හිතන තරම් හෝ අපට පෙන්වන තරම් සුදු චරිත නොවේ.

කුසගින්න, ඉඳුල් ටිකක් සොයමින් කුණු බාල්දි අවුස්සන ළමුන්ගෙන්, මිනිසුන්ගෙන් ඉන්දියාවට අඩුවක් නැති බව ජැකී ෂෙරෝෆ් හා ටෙන්ඩුල්කාර් නොදන්නවා නොවේ. කොළොම්බියාවේ පැල්පත්වල දුක් විඳින පීඩිතයන් ගැන, ලතින් ඇමෙරිකානු සංගීතයේ රැජිණ - ශාකිරා නොදන්නවා නොවේ. ඔවුන් මුදල් උපයන්නේ තම කුසලතාව නිසාය. එහෙත් එය පල දරන්නේ, ජනතාව නමැති මහා වෘක්ෂය මත නොවේද? එකී වෘක්ෂයට කෙළෙහිගුණ සැළකීමට ඔවුන්ට සිත් නොදේද? අනෙක් අතට, අවුරුදු සියයක්වත් ආයුෂ නොලබන මිනිසුන් මේ තරම් ධනස්කන්ධයක් සඟවා තබන්නේ කුමටද?

ජ.වි.පෙ. නායක අනුර කුමාර සහෝදරයා පවසන අන්දමට, ලෝකයේ කළු සල්ලි තිබෙන ඕනෑම තැනක සිරි ලංකාවේ දේශපාලකයන්ගේ තැන්පතුද තිබේ. එය එසේ නම්, මේ රටේ මිනිසුන්ට සල්ලි කොහෙන්ද?
ඉම්රාන් ඛාන්ද මුදල් ඉපැයූ ක්‍රිකට් ක්‍රීඩකයෙකි. ඔහු දැන් පකිස්තානයේ අගමැතිය. එහෙත් ඔහුගේ නම, කිසිදු කළු සල්ලි ලැයිස්තුවක නැතැයි මාධ්‍යවේදියෝම කියති.
කටකාර ඇමැතිවරයෙකුගෙන් ඒ පිළිබඳව විමසූ ඔහුගේ හිතවතකුට ලැබුණේ කදිම පිළිතුරකි. 

සල්ලි හම්බ නොකර දේශපාලනේ කරන්නෙ කොහොමද? ඉම්රාන්ට ඒක තේරෙයි ලබන මැතිවරණයෙදි.
අමෙරිකානු දේශපාලනඥයෙක් වූ ජෙසී එම්. අන්රෑ ප්‍රකාශ කළ අන්දමට දේශපාලනයේ මව්කිරි යනු මුදල්ය. (Money is the Mothers Milk of Politics)

පැන්ඩෝරා කතාවේ එන දෙවඟන, බලාපොරොත්තුවේ අධිපතිනියයි. ඇය මිනිසුන්ට ඉතිරි කළේ බලාපොරොත්තුය. දේශපාලකයන් ඇති තරම් මව්කිරි බොද්දී, ජනතාව බලාපොරොත්තු හිස තබාගෙන හුළං බොති. පැන්ඩෝරා පත්‍රිකා තුළින් කියැවෙන්නේ මේ තිත්ත ඇත්තය.

 කපිල කුමාර කාලිංග