2021 ජුලි 17 වන සෙනසුරාදා

ජාතික සත්වයා සහ සුනඛ භාෂාව

 2021 ජුලි 17 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 204

සිරි ලංකාවේ සිටින්නේ තමන් සිංහයකුගෙන් පැවත එන්නේ යැයි සිතන මනුෂ්‍ය ජාතියකි.

අපේ ජාතික කොඩියේ සිටින්නේද සිංහයෙකි. එහෙත්, සිංහරාජයේවත් සිංහයකු නම් දකින්නට නැත. අපේ වනාන්තරවල සිටින ලොකුම සත්වයා අලියාය. රට පටවන්නට තරම් අලි ගහණයක් අපට ඇත. අලි - මිනිස් ගැටුමක්ද නිර්මාණය වී තිබේ. එහෙත් පුදුමයකට මෙන්, සිරි ලංකාවේ ජාතික සත්වයා දඬුලේනාය.

මේ ජාතික සත්වයා, තමන්ගෙ වත්තට, මිදුලට එනවාට කිසි කෙනෙක් කැමති නැත. ඒකා, පල වැල, දළු කොළ පමණක් නොව, පොල් ඇට්ටියක්වත් ඉතුරැ කරන්නේ නැති හෙයිනි.

ඇත්ත ඇති සැටියෙන් කතා කරනවා නම්, මේ සිරි ලංකාවේ ජාතික සත්වයා වීමට සුදුසුම සතා බල්ලා යැයි සිතමි. බල්ලෙක් නැති ගෙදරක් නැති තරම්ය. මිනිස්සු බල්ලන්ටත්, බල්ලෝ මිනිසුන්ටත් ලැදිය.

මිනිසාගේ ඉතිහාසය හා සංස්කෘතිය දෙස බැලුවත්, බල්ලාද නැති තැනක් නැති තරම්ය.

දඩයම් යුගයේ සිට කෘෂිකාර්මික යුගය දක්වාද, ඉන් පසු තාක්ෂණික යුගය තෙක්ද බල්ලා මිනිසාට කළ සේවය ඉමහත්ය. එහෙත් එසේ වූ පලියට, මිනිසා, තවකකුට තම සමීප මිතුරකු හඳුන්වා දෙන විට, මෙයා මට බල්ලෙක් වගේ හිතවත් යැයි කියන්නේ නම් නැත.

මිනිසා, බල්ලා සමඟ කතා කරයි. එහෙත් බල්ලා මිනිසා සමඟ කතා කරන්නේ නැත. හේතුව මිනිසාට මිස, බල්ලාට භාෂාවක් නැතිවීමය. එහෙත් ඌට සංඥා භාෂාවක් ඇත. බල්ලා හිතවත්කම පාන්නේ වල්ගය වැනීමෙනි. කුසගිනි දැනුණු විට බුරයි. ආගන්තුකයකු දුටු විට, වෙනත් විදිහකට බුරයි. චූන් පාන් යන විට උඩු බුරලයි.

බල්ලා මෙන් බළලාද ගෘහස්ත සත්වයෙකි. එහෙත් බළලාට මීයන් ඇල්ලීම හැර වෙනත් දෙයක් කළ නොහැකි බැවින්, බල්ලාට තරම් තැනක් නැත.

හොඳ වර්ගයේ බල්ලන්ට මෙන්ම බලු පැටවුන්ටද මිලක් ඇත. බළලුන්ට එසේ නැත. උසස් පෙළේ (පන්තියේ) බලු පැටවුන් විකිණීම අමතර ආදායම් මාර්ගයකි. සාමාන්‍ය පන්තියේ බැල්ලියක පැටව් දැමීම කරදරයකි. උන් කාගේ හෝ ඇඟේ ගැසීමට සිදුවෙයි. බැරිම තැන, පන්සල් වත්තට හෝ පූජා කරන්නේ, නැති බැරි අපට, අලි ඇතුන් කොහේදැයි සිත හදාගනිමිනි.

මිනිසා සතු පහත් පුරැද්දක් ඇත. එනම් තමාට හිතවත් සතුන්ගේ නම්, වෙනත් පුද්ගලයන්ට බැණ වැදීම හෝ අපහාස කිරීමට යොදාගැනීමය. බලු වැඩ, හරක් වැඩ, ඌරැ වැඩ වැනි යෙදුම් භාෂාවට එක්වන්නේ ඒ අනුවය. ඊට අමතරව තමුසෙ මහ බල්ලෙක්, බූරැවෙක් වගේ කතා කරන්ඩ එපා, ඌරෙක් වගේ හැසිරෙන්ඩ එපා වැනි අපහාසාත්මක කතාද භාවිතයට ගැනුණි. ඒ අසරණ සතුන්, ඒ බවක් දනී නම්, මිනිසා සමඟ ඇති සියලු හිතවත්කම්, සබඳකම් වහාම ක්‍රියාත්මක වන පරිදි, නවතා දමනවාට සැකයක් නැත.
සතුන්ගේ නම් කියා බැණගැනීම්වලට පන්ති භේදයක්, ජාති භේදයක්, පක්ෂ භේදයක් නැත. මුළු මහත් රටකට, ජාතියකට ආදර්ශයක් විය යුතු, ලොකු ලොකු තැන්වලද, සතුන්ගේ නම් කියනු අසන්නට ලැබේ.

විනයක් නැති රටකට අනාගතයක්ද නැතැයි කියමනක් ඇත. එසේ නම් රට කරවන තැන්වල සිටින ඇත්තන් තුළ, විනය ආරක්ෂා විය යුතුය. එය එසේ නොවන්නේ නම්, ගිහි විනය පිළිබඳ කතිකාවතක් පවත්වා, නීති රීති මාලාවක් සම්පාදනය කරගත යුතුය.

එහිදී අංක එකට නියම කරගත යුත්තේ, සතුන්ගේ නම් කියමින්, මිනිසුන්ට පරිභව කිරීමෙන් වැළකී සිටීමය. කිසිවෙක් එසේ සතකු යොදාගන්නේ නම්, ඊට හේතු දැක්විය යුතුය. නිදර්ශන සැපයිය යුතුය. එසේ නොකළහොත්, සත්ව හිංසා හෝ සත්ව අයිතිවාසිකම් පනතක් යටතේ දඬුවම් කළ යුතුය.

දඬුවම් කාලයෙන් පසු නැවත සමාජයට මුදාහරින විට, ගෙල වටා, සමින් කළ කරපටියක් පැළඳවිය හැකිය. එවිට බලු කතා, ගොන් කතා කියූ උදවිය, අනෙක් මිනිසුන්ගෙන් තෝරා බේරාගත හැකිය.

සුන්දන්ගේ පාලන කාලයේ, උන් අපට ඇඟ බද්ද, ඉස්තෝප්පු බද්ද පමණක් නොව බලු බද්ද නම් වූ, අමන බද්දක්ද පැනවූහ. මෙකී බලු බද්ද ද, බලු කතා කියන උන් සඳහා නැවත පැනවිය හැකිය. සත පහක වැඩක් නොකර ලක්ෂ ගණනින් ලබන වැටුප්වලින්, එම බලු කතා බද්ද කපා, මහා භාණ්ඩාගාරයටම හැරවිය හැකිය.
හරැප, කුණුහරැප, හබ්බ, කුණු හබ්බ, නිකං කුණුහරැප හා තිත්ත කුණුහරැප ආදිය එක් කළ විට, එතැන උපදින්නේ අසභ්‍ය වදන් කෝෂයකි. ගොන්, බලු, වල් බූරැ කතාද ඊට එක් කළ විට (උප ග්‍රන්ථයක් වශයෙන්) අගනා අසභ්‍ය සාහිත්‍ය වංශයක් බිහි කළ හැකිය.

ඇතැම් අසභ්‍ය වචන, අසභ්‍ය නොවන්නේ යැයි කෙරැණු, භාෂාත්මක විවරණයන්ද, පහුගිය කාලේ දියවන්නාව පැත්තෙන් අසන්නට ලැබුණි. ඒවාද අටුවා-ටීකා ලෙස පළ කළ හැකිය.

අහසින් වැටෙනා එක් දිය බිඳක් හෝ මුහුදට යා නොදී රුකගත යුතු යැයි මහ පැරකුම්බාවන් කියූවාක් සේ, මහජන මුදලින් යැපෙන මහ සභාවල කියැවෙන හරැපයක්, බලු කතාවක් හෝ අපතේ යා නොදී, ග්‍රන්ථාරෑඪ කිරීම සේවයක් නොවන්නේද?
මහ සභා ගර්භයන්හිදී කියැවෙන හරැප හෝ සත්ව කතා සඳහා, වාර්ෂිකව සම්මානයන් පිරිනැමීමද කළ හැකිය. එබඳු සම්මාන සඳහා, සුනඛ භාෂා චක්‍රවර්ති, සූකර ශූරී, වෘෂභ ශිඛාමනී, අසැබි තිලක, අසභ්‍ය භූෂණ වැනි නාමයන් යොදාගත හැකිය.
සත්තුවත්තේ සිංහයාට කොරෝනා වැළඳුණේය යන ආරංචියෙන් පසු, ගෙදරදොර සිටින සුරතල් සතුන් ගැනද කාගෙත් අවධානය යොමුවුණි. ඉහළ පැටිකිරියේ බලු පැටවුන් විකිණීම ව්‍යාපාරයක් කරගත්, කාන්තාවක්ද ඉන් බියට පත්ව, තම නිවසේ ගේට්ටුවෙහි මෙබඳු දැන්වීමක් එල්ලුවාය.

Buy one – get one free

එක් දිනක් මැදිවියේ පුද්ගලයෙක්, එ නිවසට පැමිණ මෙසේ විමසීය.

නෝනා.. මෙහෙ බල්ලන්ට බෙහෙත් විදලද තියෙන්නෙ?

බල්ලන්ට තියා මටවත් තාම විදල නෑ. කාන්තාව කීවාය.

 කපිල කුමාර කාලිංග

 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00