2021 ජුලි 10 වන සෙනසුරාදා

ගලෙන් ගලට උඩට නැංගේ පුදුම බයකින් - හිමායා බණ්ඩාර

 2021 ජුලි 10 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 314

හිමායා.. මොනවද මේ දවස්වල අලුත් තොරතුරු?

රටේ පවතින කොරෝනා ප්‍රශ්නයත් එක්ක රංගන කටයුතු කිසිවක් මම බාරගත්තෙ නැහැ. නමුත් ඉදිරියේදි බලාපොරොත්තුවෙන් ඉන්නවා පුරුදු විදිහට මගේ කලා කටයුතුවල නිරත වෙන්න.

හිමායා.. ඔබ Travel කරන්න ආසා කරන කෙනෙක්ද?

මගේ ජීවිතේ මම ආසම කරන දෙයක් තමයි Travel කියන්නෙ. ඒ නිසා මම ඇවිදින්න ආසයි.

ඔබ කුඩා කාලයේ සිට Travel කරන කෙනෙක්ද?

පොඩි කාලේ මට ගෙදරින් ගොඩක් තහංචි වැටුණා. මම පාසලෙන් ගිය විනෝද චාරිකා ඇරෙන්න වෙන කොහෙවත් යන්න ලැබුණෙ නැහැ. මොකද මම පවුලේ බාලම ළමයා නිසා ගොඩක්ම ගේ අස්සටම කරලයි මාව හැදුවේ. නමුත් දැන් තමයි මම ඇත්තටම ඇවිදින්න ගත්තෙ. සමහර වෙලාවට මගේ යාළුවෝ පුදුම වෙනවා මම නොගියපු තැන් ගැන කියනකොට. අඩුම තරමේ අටමස්ථානයෙත් නොගියපු තැන් තියෙනවා. ඉතින් ඒක ලැජ්ජා වෙන්න කාරණයක් නෙවෙයි. මොකද මම කුඩා කාලයේ ඉඳන් ගේ ඇතුළෙම හැදුණු ළමයෙක් නිසා.

දැන් ඔබ විනෝදාංශයක් විදිහටද Travel කරන්නෙ?

මම විනෝදාංශයක් විදිහට නෙවෙයි Travel කරන්නෙ. නමුත් මම නොගිය තැන් සහ ඒ තැන්වල සුන්දරත්වය වගේම ජීවිතයට ලොකු වටිනාකමක් ලබාගැනීම සඳහා තමයි ඇවිදින එක කරන්නෙ. 

හිමායා.. ඔබ Travel කරපු තැන් අතරින් ඔබේ හිතට දැනිච්ච සහ ඔබ ආසා කරන තැනක් එහෙම තියෙනවද?

ඇත්තටම මම ගියපු තැන් අතරින් ලංකාව ඇතුළත මම ආසම කරන තැනක් තමයි සීගිරිය කියන්නෙ.

ඇයි ඔබ සීගිරි ගමනට එච්චරටම ආසා කරන්නෙ?

ඇයි කියලා මටත් තාම හරියටම තේරුම් ගන්න බැහැ. සීගිරිය ලංකාවේ තිබුණාට ඒක මට හරි අමුතුයි. ඒ අවට පරිසරයට සහ සීගිරි ගලත් එක්ක ඇති අහසට පවා මට පුදුම කැමැත්තක් තියෙන්නෙ. මම හිතන්නෙ ඒක මගේ ආධ්‍යාත්මයට දැනෙන හරි අමුතු හැඟීමක්. ඒ එන හැඟීම තනියම විඳින්න ඕනෙ දෙයක්. මම දෙපාරක් තුන් පාරක්ම සීගිරියට ගිහිල්ලා තියෙනවා. හැබැයි පළවෙනි පාරට සීගිරියට ගියපුවාම මට ඒ හැඟීම ලොකුවට දැනුණෙ නැහැ. නමුත් දෙවැනි පාර යනකොට තමයි මට පුදුම ආසාවක් ඇතිවුණේ.

සීගිරි ගිය ගමනේදි ඔබට සිදුවුණු අමතක නොවන සිදුවීම් මොනවද?

අපි පළවෙනි වතාවට සීගිරියට ගියේ 2019 වසරේදියි. ඒ ගිය පළවෙනි අවස්ථාවේ මට සිදුවුණු අමතක නොවන සිදුවීම තමයි සිංහ පාදයෙන් උඩට නගින අවස්ථාවේ ඇතිවුණු බය. මොකද මට කුඩා කාලයේ ඉඳන් උඩට නගින්න පුදුම බයක් තියෙන්නෙ. ඒ නිසා මම අදටත් ගොඩක් බයයි. හැබැයි කොහොම හරි දැන් වැටෙයි දැන් වැටෙයි කිය කියා බයෙන් ගල උඩටම නැග්ගා. අන්න ඒ සිදුවීමනම් මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. තවත් අමතක නොවන සිදුවීමක් තමයි අපි සීගිරියට ගිහිල්ලා එදාම හවස ත්‍රිකුණාමලයේ ගියා. ත්‍රිකුණාමලයේ ගිහිල්ලා පහුවදා අපි පාසිකුඩා යන්න හිටියේ. කොහොම හරි එදා මට අපේ ගෙදරින් දුරකථන ඇමතුමක් ආවා මගේ අක්කාගෙන්. කොළඹ බෝම්බ පිපිරිලා තියෙනවා. රෑපවාහිනිය දාලා බලන්න කියලා. ඊටපස්සෙ අපි අපේ ගමන නවත්තලා කොළඹ ආවා. ඒ එනකොට මුළු කොළඹටම ඇඳිරිනීතිය දාලා. ඒ සිදුවීම නිසා අපිට සීගිරි ගමන කවදාවත් අමතක වෙන්නෙ නැහැ.

හිමායා.. ඔබ Travel කරනකොට වැඩිපුර ඇවිදින්න කැමති කවුරුත් සමඟද?

මගේ පවුලේ අය සමඟ වගේම මගේ ළඟින් ඉන්න යාළුවෝ කිහිප දෙනෙක් ඉන්නවා. එයාලත් එක්ක තමයි මම ගොඩක් වෙලාවට Travel කරන්නෙ. මගේ ළඟින්ම ඉන්න යාළුවෝ ගැන කිව්වොත් චමරි අතපත්තු, සමන්ති, චමිලා එදිරිසූරිය, අමා කාංචනා, ඉනෝෂි ප්‍රනාන්දු. මේ කිහිපදෙනා සමඟ තමයි මම වැඩිපුර ඇවිදින්න ගිහිල්ලා තියෙන්නෙ.

සීගිරි වගේ ගමනක් යද්දි ඒ ගමන සැලසුම් කරන්නෙ කොහොමද?

අපේ නඩේ ගුරා වෙන්නෙ චමරි අතපත්තු. එයා තමයි ගොඩක් වෙලාවට සැලසුම් කරන්නෙ. හැබැයි එයා අපෙන් අහනවා අපි නතරවෙන තැන මේක ඔයාලා මොකද කියන්නෙ කියලා. හැබැයි කොහේ ගියත් නතරවෙන තැන මගෙන් අහලා තමයි එයා ඒ තැන තෝරාගන්නෙ. මොකද නතරවෙන තැනට ගොඩක් වෙලාවට ප්‍රශ්න දාන්නෙ මම. නමුත් අපි යන ගමන සම්පූර්ණයෙන් සැලසුම් කරන්නෙ චමරි.

ඔබ විදෙස් සංචාරත් ගොඩක් ගිය කෙනෙක්. ඒ අතරින් ඔබ ආසා කරන විදෙස් සංචාර ගැනත් කියමු?

මම ගිහිල්ලා තියෙන රටවල්වලින් මම ඇවිදින්න ආසා කරන රටක් තමයි ප්‍රංශය. මට එහෙම ආසා හිතුණෙ ස්වභාවික සුන්දරත්වය ලොකුවට දැක්කෙ ප්‍රංශයේදි. ඕස්ට්‍රේලියාව වගේ රටක මම ස්වභාවිකත්වය දැක්කෙ නැහැ. එයාලා කොන්ක්‍රීට් එක්ක දියුණු වෙච්ච රටක් කියලයි මට දැක්කාම හිතුණෙ. ඒ වගේම මම මනසින් ප්‍රිය කරන තවත් තැනක් තමයි දකුණු කොරියාවේ ජේජු දූපත. මම දැක්ක ලස්සනම දූපත තමයි ජේජු දූපත. ඒ දූපතේ තමයි ලංකාවේ කවුරුත් ආසා කරපු සුජාතා දියණිය කියන ජනප්‍රිය ටෙලිනාට්‍ය සිතුවම රූපගත කරන ගම්මානය පිහිටලා තියෙන්නෙ. අපි ඒ ළඟටම ගියා. නමුත් ඒ ටෙලි ගම්මානය අපිට දැකබලාගන්න වෙලාව මදි වුණා. නමුත් අපිට ගොඩක් තැන්වල ඇවිදින්න අවස්ථාව ලැබුණා. පළතුරු වතුවලට ගිහිල්ලා පළතුරු කඩාගෙන කෑවා. ඒ දූපත හැදිලා තියෙන්නේ ගිනි කන්දක් පිපිරිලා. ඒ නිසි දූපතේ පස ගොඩක් සාරවත්.

හිමායා.. ඔබ කවදාවත් නොගිය හැබැයි යන්න හීන දකින තැනක් තියෙනවද? ඇයි ඒ?

මම ආසා කරන රටක් තමයි මාලදිවයින. හේතුව තමයි මාලදිවයින වටේටම මුහුද තියෙන නිසා. හැබැයි මම මුහුදට බයයි. ඒ නිසා තමයි තාම ඒ ගමන ඇද ඇද ඉන්නෙ. නමුත් මේ ප්‍රශ්න සේරම ඉවර වුණු ගමන් මාලදිවයිනට යන්න තමයි හිතාගෙන ඉන්නෙ.

අවසාන වශයෙන් ඔබ Travel කරනවා කියන එක දකින්නෙ කොහොමද?

බොහොම පොඩි කාලයකට අපි මේ ලෝකයට එන්නෙ. සමහර වෙලාවට එහා පැත්ත හැරිලා මේ පැත්ත හැරෙද්දි අපේ ජීවිතය නැතිවෙන්න පුළුවන්. ඒ නිසා ජීවත් වන කෙටි කාලයේ ජීවිතය විඳින්න ඕනෙ. ලෝකය දකින්න ඕනෙ. ඒකට හොඳම දේ තමයි Travel කරනවා කියන එක.