2021 ජුලි 03 වන සෙනසුරාදා

ඔත්තේ සහ ඉරට්ටේ

 2021 ජුලි 03 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 199

රේන්දරාළගේ බල්ලා මැරුණේය. අවමංගල්ලෙට ආ සෙනඟින් වත්තම පිරුණේය. අහල ගං හතකවත් එහෙම අවමංගල්ලයක් තිබුණේ නැත. බල්ලාගේ ගුණකථන කිරීමට පවා උදවිය ඉදිරිපත් වූහ. එහෙත් මැක්කාගේ කතාවේදී මෙන් සිදුවූයේ, බල්ලාගෙන් පටන්ගෙන රේන්ද රාළගේ ගුණ වැනීමය. ඒ කතාව අසාගෙන සිටියෙකුට මිය පරලොව ගොස් ඇත්තේ රේන්දරාළගේ බල්ලාද, රේන්දරාළද යන්න පැටලීමටත් ඉඩ තිබුණි.

ටික කලකින් රේන්දරාළද අභාවප්‍රාප්ත වූයේය. අනේ, ඒ අවමංගල්ලෙට බල්ලෙක්වත් ආවේ නැත.

මට මේ බලු කතාව මතකෙට ආවේ අමෙරිකාවේ හිටපු ජනාධිපති බැරක් ඔබාමාගේ බල්ලාද මියගිය බව ටික දිනකට පෙර පුවත්පතක දැකීමෙනි. කොරෝනාවෙන් ලොවපුරා මිනිසුන් දස දහස් ගණනින් මියයද්දී ඔබාමාගේ බලු සුරතලාටද ලෝක ජනමාධ්‍ය මගින් ලොකු තැනක් ලබාදී තිබුණි. ඒ මාධ්‍ය සදාචාරයය.

ඔබාමාගේ බල්ලා තම හාම්පුතා ධවල මන්දිරයේ සිටි කාලයේ හැඳින්වුණේ &ෆර්ස්ට් ඩෝග්* (First Dog) යන ගෞරව නාමයෙනි. ඔබාමාගේ පවුල, ෆර්ස්ට් ලේඩිය. දුවලා, &ෆර්ස්ට් ඩෝටර්ස්*ලාය. පුතෙක් සිටියේ නම් ඔහු &ෆර්ස්ට් සන්*ය. ඒවා ඒ රටේ පිළිවෙලය. අවාසනාවකට මෙන්, ඔබාලා දැන් ජනාධිපති නොවන නිසා බල්ලා මැරුණේ &සෙකන්ඩ්* වෙලාය. දැන් බල්ලන්ගේ ලොක්කා, බයිඩන්ගේ බල්ලාය.

කෙසේ වෙතත් මෙය වරදවා වටහාගෙන හාම්පුතාට කලින් තමන් මිය යා යුතු යැයි කිසිම බල්ලෙක් කල්පනා කළ යුතු නැත.

කොරෝනාව අස්සේ බල්ලෝද මැරෙති. අලියෝද මැරෙති. පාතාලයෝද මැරෙති. සාමාන්‍ය මිනිස්සු ද මැරෙති. මේ සැම ලෝක ස්වභාවය යැයි සිතා සිත සනසා ගන්නවා මිස, මැරෙන්නට කලබල විය යුතු නැත. (ධවල මන්දිරේ සැප විඳපු ඔබාමාගේ බල්ලාත් මළා නම්, අපි ගැන අපේ බල්ලන් ගැන කවර කතාද?)

මගේ කල්පනාවේ හැටියට නම් (මා වියතෙකු නම් නොවේ. මට ඇත්තේ වියතක් තරම්වත් නොවන කුඩා මොළයක් බව &හී සරය* කියවන පාඨකයෝ දනිති) මේ අවධියේ ජීවත්විය යුත්තේ ගතකරන මොහොත තුළය. ඊළඟ මොහොතේ අප &පොසිටිව්* වෙනවාදැයි කිව නොහැකිය.

දැන් හැමෝම &පොසිටිව් තින්කින්*වලට බයය. ඒ ගැන දේශන පවත්වමින්ද, පොත්පත් ලියමින්ද හරිහම්බ කරගත් සමහර උදවිය දැන් &ෆුල් නෙගටිව්*ය. කිසිවෙකුට දොස් කිව නොහැකිය. මේ සියල්ල &කාලය මැවූ වෙනසක අරුමය*ය. (සින්දුවක කෑල්ලකි)

පසුගිය දිනවල පැනවූ සංචාරණ සීමා නිසා කාගෙ කාගේත් එදිනෙදා ගමන් බිමන්ද නැවතුණි. එක් කාටූනයක තිබූ අන්දමට සංචරණ සීමා යනු ඇඳිරි නීතියට සමාන වුවත් ඇඳිරි නීතියද නොවේ.

පසුගිය දිනවල දැමූ පොලිස් උපදෙස්වලට අනුව පාරට තොටට බැසීමට යම් කෙනෙකුට අවශ්‍ය නම් ඔහු &ඔත්තේ - ඉරට්ටේ* ඉලක්කම් දැන සිටිය යුතුය. මෙය තරමක් සංකීර්ණ කාරණයක් වන්නේ මේ රටේ ජනතාවගෙන් වැඩිදෙනා ගණන් &ෆේල්* උදවිය වන නිසාය. ඒ පිළිබඳ උපහාස කතාවක් ඔබට කීමට කැමැත්තෙමි.

සැම්සන්ගේ පුතා ඇම්ඩන් ප්‍රවෘත්ති ඇසීමෙන් පසු අම්මා වෙත දිව ගියේය. 

අම්මේ, ඔත්තේ, ඉරට්ටේ කියන්නේ මොනවද?

ඒ අසරණ ගැහැණිය උඩ බිම බැලුවාය.

මං දන්නෙ නෑ ඔය අණ්ඩර දෙමළ... තාත්තාගෙන් අහගන්ඩ...

ඇම්ඩන් තාත්තා ළඟටද ගියේය.

තාත්තේ, මොනවද ඔත්තේ, ඉරට්ටේ ගණන් කියන්නෙ?

බෝතලය අවසන් වීම නිසා &කෙසේ දමම්දෝ කුමක් කරම්දෝ* යි කල්පනා කරමින් සිටි ඒ අඩු ආදායම්ලාභී මනුෂ්‍යයාටද තද වුණේය.

මං කොහොමද යකෝ දන්නෙ. ගිහින් අහගං මාධ්‍ය ප්‍රකාශකගෙන්.

වෙනත් ඇම්ඩන්ලා මෙන් නොව මේ ඇම්ඩන් දෙමව්පියන්ට ඉතා කීකරු ළමයෙකි. ඔහු පියා දුන් උපදේශය අනුව වහාම ක්‍රියාත්මක වී මාධ්‍ය ප්‍රකාශකට දුරකතන ඇමතුමක් දුන්නේය.

සර්... වට් ඊස් දිස් ඔත්තේ ඇන්ඩ් ඉරට්ටේ නම්බර්ස්? 

මාධ්‍ය ප්‍රකාශකද හිරවුණේය.

පුතා... මටත් ඕක ටිකක් අවුල්. පොඩ්ඩක් ඉන්න, මං ලොක්කගෙන් අහල කියන්නං...

මාධ්‍ය ප්‍රකාශක තමන්ගේ ලොක්කාට කතා කළේය.

සර්.... ජනතාව අහනවා, ඔත්තේ ඉරට්ටේ කියන්නේ මොනවද කියලා?

ලොක්කාද ටිකක් කල්පනා කළේය.

මටත් ඕක කියල දුන්නේ, චීනෙන් ආපු ආරක්ෂක ඇමැති... මං මිනිහගෙන් අහල කියන්නං...

ලොක්කා, වහාම චීනයේ ආරක්ෂක ඇමතිට කතා කළේය. ප්‍රශ්නය ඇසුවේය. චීන ඇමැති කියන විදිහට චීන භාෂාවෙන් නම්, &ඔත්තේ - ඉරට්ටේ* යනු, පට්ට තිත්ත හරුප දෙකකි. ඒ රටේවත් දැන් ඒ අංජ බජල් වචන භාවිතා වන්නේ නැත.

ලොක්කා, ඒ බව මාධ්‍ය ප්‍රකාශකට දැන්වීය. මාධ්‍ය ප්‍රකාශක වහාම ඇම්ඩන්ට කතා කළේය.

පුතා.... එහෙම වචන දෙකක් නෑ.... ඒක ටයිපින් මිස්ටේක් එකක්.

මේ දිනවල කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුය.

කපිල කුමාර කාලිංග