ඉන්දියාවට 25% දක්වා තීරුබදුවලට මුහුණ දීමට සිදුවිය හැකි බව ඇමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා ඇත. ඇමෙරිකාව සමඟ මෙම සතියේ වෙළෙඳ ගිවිසුම අවසන් කිරීමට අපොහොසත් වුවහොත් ඉන්දියාවට 25% දක්වා ඉහළ තීරුබදුවලට මුහුණ දීමට සිදුවිය හැකි බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ඇමෙරිකාව අගෝස්තු 1 වැනිදා වන විට තීරුබදු නීතිය ක්‍රියාත්මක කිරීමට සූදානමින් සිටියි. ඉන්දියානු සහ ඇමෙරිකානු නිලධාරීන් පසුගිය මාස කිහිපය තුළ දෙරට අතර වෙළෙඳ ගිවිසුමක් පිළිබඳ සාකච්ඡා පැවැත්වුවද අවසන් එකඟතාවකට මෙතෙක් පැමිණ නැත. එමෙන්ම ජනපති ට්‍රම්ප් තවමත් ඉන්දියාවට තීරුබදු අනුපාතයක් නියම කරමින් ලිපියක් හෝ යවා නොමැත. නමුත් අගෝස්තු 01 වැනිදා සිට මෙම නව බදු අනුපාතය බලපැවැත්වෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුම හරහා නිවේදනය කර ඇත.
ඉන්දියාව ඇමෙරිකාවේ මිතුරකු වුවද, ඔවුන් විශාල තීරුබදු අනුපාතයක් පනවා ඇති බැවින් තම රට ඔවුන් සමඟ වසර ගණනාවක සිට සිදුකර ඇත්තේ සාපේක්ෂව ඉතා අඩු වෙළෙඳ ගනුදෙනු සංඛ්‍යාවක් බව ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ගිණුමේ දක්වා තිබේ. තවද ඉන්දියාව, රුසියාවේ විශාල වශයෙන් වෙළෙඳ ගනුදෙනුවල නිරත වීමද ඉන්දියාවට මෙලෙස දණ්ඩන තීරුබදු අනුපාතිකයක් පැනවීමට හේතු වී ඇති බව ට්‍රම්ප් ජනාධිපතිවරයා අවධාරණය කරයි.