2023 මාර්තු 26 වන ඉරිදා

පුටින් හිරේ වැටෙයිද?

 2023 මාර්තු 26 වන ඉරිදා, පෙ.ව. 06:00 107

රුසියානු නායකයා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ සම්බන්ධයෙන් වූ අධිකරණය වරෙන්තු නිකුත් කිරීමේ සිද්ධියක් පසුගියදා අන්තර්ජාතික පුවත් අතර මුල්තැනක් ගත්තේය. මෙහිදී කා හටත් සිහිපත් වූයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය මෙහෙයවීමෙන් 2004 දී සිර මැඳුරක මිය ගිය ඒකාධිපති රාජ්‍ය පාලකයකු වූ මිලොසොවික්ගේ සිද්ධියයි.

1990 දශකයේ මුල් භාගයේදී යුගෝස්ලාවියාවේ බිඳවැටීම සඳහා උල්පන්දම් දී 2001 දී හේග් නුවරදී විවිධ යුද අපරාධ චෝදනාවලට මුහුණ දුන් සහ අවසානයේ වසර කිහිපයකට පසු සිරගෙදරදී හෘදයාබාධයකින් මිය ගිය හිටපු සර්බියානු ජනාධිපති Slobodan Milosevic ගේ සිද්ධියේදී ඔහුගේ සමහර යුද අපරාධවලට ඔහුගේ සහචරයන් ද කොටුකර තිබුණි. ඉන් ප්‍රධාන සහචරයන් වූ බොස්නියානු සර්බියානු හමුදාපති ජෙනරාල් රුට්කෝ ම්ලැඩික් සහ එහි සර්බියානු ජාතිකවාදී නායක රඩෝවන් කරඩ්සික් යන දෙදෙනාම යුක්තියෙන් සැඟවීමට උත්සාහ කළහ.

බෙල්ග්‍රේඩ් අසල ඥාතියකුගේ ගොවිපොළක සැඟවී සිටි රුට්කෝ ම්ලැඩික්ව අල්ලා ගන්නා ලදී. රඩෝවන් කරඩ්සික් බෙල්ග්‍රේඩ්හිදී දැකගත හැකි වූයේ, ඔහුගේ පිරිසුදු රැවුල කපන ලද පෙනුම අතහැර දමා සම්පූර්ණ රුවුලක් වවාගත් අද්භූත ඇදහිලි සුව කරන්නකුගේ නව අනන්‍යතාවයක් පිටුපස සැඟවී සිටියදීය.

මේ දෙදෙනාම හේග්හි දී ජාත්‍යන්තර යුක්තියට මුහුණ දුන් අතර, දෙදෙනාම යුද අපරාධවලට වරදකරුවන්ව තවමත් සිරගතව සිටිති.

නමුත් මේ වන විටත් ICC යේ ඇසට වැලි ගසා පලා ගිය පුද්ගලයන් 15 දෙනකු සිටින  අතර, ඒ අතර සිටින අනෙක් එකම ජනාධිපතිවරයා වන්නේ හිටපු සුඩාන ජනාධිපති ඕමාර් අල් බෂීර්ය. දැනට වසර 13කට අධික කාලයක් සිය නිලය තුළ සහ ඉන් පිටත යන දෙඅංශයෙන්ම ඔහු යුක්තිය මගහරිමින් සිටියි. 

පුටින්ට එරෙහි වරෙන්තුව සෙසු ලෝකයා වෙත මේ අතීත උදාහරණ මතක් කර දුන්නද මෑතක සිට චීනය සමඟ වූ සිය හිතවාදී - මතවාදී සබඳතා වැඩිදියුණු කර ගැනීමත් සමඟ රුසියානු නායකයා බොහෝ දුරට ආරක්ෂා සහිත මට්ටමක රුඳීමට සමත්ව සිටියි.

2023 මාර්තු 17 වැනි දින ජාත්‍යන්තර අපරාධ අධිකරණය - ICC, ව්ලැඩිමීර් පුටින් සහ මරියා ලෙවෝවා-බෙලෝවා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලදී. රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති පුටින් ය. මරියා ලෙවෝවා-බෙලෝවා යනු ජනාධිපති කාර්යාලයේ ළමා අයිතිවාසිකම් පිළිබඳ කොමසාරිස්ය. මෙම දෙදෙනාටම චෝදනා එල්ල වී ඇත්තේ යුද අපරාධ ලෙසින් ළමයින් පිටුවහල් කිරීම සහ රටකින් රටකට මාරු කිරීම සම්බන්ධයෙනි. 

යුක්රේනය සම්බන්ධ වූ එහි මෙම පළමු වරෙන්තුවේ, ICC ය ඉල්ලා සිටියේ, නීති විරෝධී ලෙස ළමයින් පිටුවහල් කිරීම සහ යුක්රේන භූමියෙන් රුසියානු සමූහාණ්ඩුවට නීති විරෝධී ලෙස පුද්ගලයන් මාරු කිරීම සම්බන්ධයෙන් සැකපිට පුටින් අත්අඩංගුවට ගන්නා ලෙසයි. ICC ප්‍රධාන අභිචෝදකයා පවසන්නේ පුටින් අත්අඩංගුවට ගැනීමේ මේ වරෙන්තුව තවත් බොහෝ පරීක්ෂණවල පළමු පියවර බවයි.

තමන්ගේම වරෙන්තු බලාත්මක කිරීමට බලයක් නොමැති වුවද ICC, ළමා අයිතිවාසිකම් පිළිබඳ රුසියානු කොමසාරිස් Maria Alekseyevna Lvova-Belova අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් ද නිකුත් කර තිබුණි.

කලින් සඳහන් පරිදිම පුටින් සහ බෙලෝවා යන දෙදෙනා මිනිසුන්, විශේෂයෙන් ළමයින් නීති විරෝධී ලෙස පිටුවහල් කිරීම සහ ඔවුන් යුක්රේනයේ වාඩිලාගෙන සිටින ප්‍රදේශවලින් රුසියානු සමූහාණ්ඩුවට නීති විරෝධී ලෙස මාරු කිරීම යන යුද අපරාධවලට වගකිව යුතු බවට චෝදනා එල්ල වේ.

පුටින් මේ අපරාධ සඳහා ඍජුව සහ වෙනත් අය සමඟ හෝ ඒකාබද්ධව සිදු කිරීමෙන් තනි පුද්ගල වගකීම දරන බව විශ්වාස කිරීමට සාධාරණ හේතු දකින බව ICC කියයි.

මේ ICC අධිකරණයේ පාර්ශ්වකරුවකු නොවන රුසියාව කියා සිටියේ මෙම චෝදනා සහ එය ගෙන ඇති පියවර අර්ථ විරහිත බවයි. පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී තම අසල්වැසියා වන යුක්රේනය වෙත පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කළ දා සිට එහි හමුදා කුරිරුකම් සිදු කර ඇති බවට එල්ල වන චෝදනා මොස්කව් මෙලෙසටම  යළි යළිත් ප්‍රතික්ෂේප කර ඇත.

2002 දී ICC පිහිටුවන ලද්දේ එහි සාමාජික රාජ්‍යයන් හට සිය රට තුළ තමන් විසින්ම එසේ කිරීමට අකැමැති හෝ නොහැකි වූ විට යුද අපරාධ, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ, ජන සංහාර සහ ආක්‍රමණශීලී අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමටය. මෙහිදී සාමාජික රටවල පුරවැසියන් විසින් හෝ වෙනත් ක්‍රියාකාරීන් විසින් සාමාජික රටවල භූමිය තුළ සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරිය හැකිය.

මෙම විනිශ්චය සභාව නෙදර්ලන්තයේ හේග් නුවර පිහිටා ඇති අතර, ප්‍රමුඛ සැකකරුවන් සම්බන්ධයෙන් ඉහළ පෙළේ පරීක්ෂණ මෙහෙයවයි. එහි සාමාජික රටවල් ගණන 123 කි. 2023 සඳහා එහි අයවැය යුරෝ මිලියන 170ක් (ඩොලර් මිලියන 180) පමණ වේ. මේ  අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් වීම සමඟින් පුටින් හෝ ලෙවෝවා-බෙලෝවා  සිය රටවල් වෙත පැමිණියහොත් අත්අඩංගුවට ගැනීමට සාමාජික රටවල් බැඳී සිටී. කෙසේ වෙතත්, ICC හට අත්අඩංගුවට ගැනීම් බලාත්මක කිරීමට තමන්ගේම වූ හෝ  වෙනත් නිල ක්‍රමයක් හෝ නොමැත.

අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු න්‍යායාත්මකව අවසාන නඩු විභාගයක් සඳහා වන පළමු පියවර සනිටුහන් කරයි. එසේ වුවද වත්මන් තත්ත්වයන් යටතේ, රුසියානු ජනාධිපතිවරයා අල්ලා ගැනීම සහ අත්අඩංගුවට ගැනීම සිතාගත නොහැකි තරම්ය.
එවැන්නක් සිදු වුවත්, ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් වරදකරුවන් කිරීම අසීරු බව මීට පෙර ICC නඩුවලින් පෙන්නුම් කර ඇත. වසර 20කට වැඩි කාලයක් තුළ උසාවිය විසින් මූලික අපරාධ සඳහා දඬුවම් පහක් පමණක් නිකුත් කර ඇති අතර, ඒ කිසිවක් ඉහළ නිලධාරින්  සඳහා නොවීය.

නමුත් ජාත්‍යන්තර අපරාධකාරී පුද්ගලයන් සම්බන්ධයෙන් ICC විමර්ශන එකම විකල්පය නොවේ. යුක්රේනයේම උසාවිවලදීද යුද අපරාධවලට නඩු පැවරිය හැකිය. මේ ගැන රටවල් ගණනාවක්ම තමන්ගේම පරීක්ෂණ පවත්වයි.
රුසියානු ආක්‍රමණය, ආක්‍රමණශීලී අපරාධයක් ලෙස සලකා නඩු පැවරීම සඳහා නව විනිශ්චය සභාවක් නිර්මාණය කිරීමට ද මේ වනවිට සැලසුම් කර ඇත. නීතිමය බාධා නිසා ICC ට එවැනි චෝදනාවක් ගෙන ඒමට හැකියාවක් නැත.

I සුගත්