2022 නොවැම්බර් 20 වන ඉරිදා

ට්‍රම්ප් තුන්වැනි වරටත් ජනාධිපති වරණයට

 2022 නොවැම්බර් 20 වන ඉරිදා, පෙ.ව. 06:00 77

අමෙරිකා පාර්ලිමේන්තුවේ බලය රිපබ්ලිකන්වරුන්ට හිතකර ලෙස දෝලනය වෙද්දි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් 3 වැනි වරටත් 2024 දී ජනාධිපතිවරණයට එන බව ප්‍රකාශ කිරීමත් සමඟ අමෙරිකාව පුරා මහත් උණුසුම් තත්ත්වයක් මතුව ඇත.

ට්‍රම්ප් රට තුළ මෙන්ම පිටරටද මහත් ආන්දෝලනයකට හේතු වූ චරිතයකි. 

මෙවර ඇමෙරිකානු මධ්‍ය වාර මැතිවරණය තුළින් රිපබ්ලිකන්වරුනට සභාව පාලනය කිරීමට හැකියාව ලැබීමත් සමඟ ජනාධිපතිගේ පුත් හන්ටර් බයිඩන්ගේ විදේශ ව්‍යාපාරික ගනුදෙනු ඇතුළුව ප්‍රතිවාදීන් විසින් කරන ලද වැරදි ක්‍රියා පිළිබඳව කොංග්‍රස් විමර්ශන ආරම්භ කිරීමට ඔවුන්ට ඉඩ සැලසී ඇත.

නමුත් සෙනෙට් සභාවේ වැඩි බලය නොමැති රිපබ්ලිකානුවන්ට ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ උදව් නොමැතිව තමන්ගේම නීති සම්පාදනය කිරීමට නොහැකි වනු ඇත. එපමණක් නොව, කොංග්‍රසය විසින් අනුමත කරන ලද පනත් කෙටුම්පත් වුවද නිශේධනය කිරීමට ජනාධිපතිවරයාට හැකිය. මෙම ප්‍රතිඵලයත් සමඟ ජනාධිපති  බයිඩන් හට ඔහුගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යාමට නම් ඒකපාර්ශ්වික විධායක ක්‍රියාමාර්ග මත විශ්වාසය තැබීමට සිදුවනු ඇත. මෙය බයිඩන්ගේ ජනප්‍රියතාව පහළ දමන්නකි. නමුත් ඒ නිසාම එය ට්‍රම්ප්ගේ ජනප්‍රියතාව ඉහළ දැමීමට හේතුවක් නොවන බව විචාරක මතය වී තිබේ.

මැතිවරණ ප්‍රතිඵල පෙන්වා දී ඇත්තේ නව තරැණ පරපුර හෙවත් Z පරම්පරාවේ (Gen Z) කණ්ඩායම් රිපබ්ලිකානුවන් බලාපොරොත්තුව සිටි මහා රතු රැල්ල වෙනත් අතකට හැරවීමට දැඩි බලපෑමක් කර ඇති බවය. තරුණ ඡන්දයේ මේ තීරණාත්මක දායකත්වය ජනාධිපති ජෝ බයිඩන් ප්‍රසිද්ධියේ අගය කරන්නට යෙදුණි. තරුණ පරපුරේ 63% ක දායකත්වය ඩිමොක්‍රටික් පක්ෂය සමඟ වන බව සමීක්ෂණ සනාථ කර ඇත. මෙවර මැතිවරණය තුළින් 1990 දශකයේ මැද භාගයේ සිට 2000 ගණන්වල මුල් භාගය අතර උපත ලැබූ අය නියෝජනය කරන Z පරම්පරාවේ (Gen Z) කණ්ඩායම නියෝජනය කරන අපේක්ෂකයෙක්ද මුල් වතාවට කොංග්‍රසයට තේරී පත්ව සිටියි. ඔහු ෆ්ලොරිඩාවේ පළාතකින් ඉදිරිපත් වූ 26 හැවිරිදි මැක්ස්වෙල් ඇලෙහෙන්ඩ්‍රෝ ෆ්‍රොස්ට් ය.